දරුවන්ගේ හඬට කන්දෙමු..

ජනවාරි 23, 2019

‘බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ

බාලිකා ලොව මැලවෙන දා

මුළු ලොවට ම රෑ වෙනවා..’

දැරියක් මලක් නම් ඒ මල ආදරයෙන් රැක බලා ගත යුතුය. නැතහොත් සිදු වන්නේ මල් නැති ලොව පැවැත්මක් නැතිවන ආකාරයට ම අපේ ලොව ද වියැකී යාමයි. මේ සත්‍යය අප තේරුම් ගත යුතු වුවත් බොහෝ වැඩිහිටියන් හැසිරෙන්නේ මේ මල් ලොව සත්‍යය තේරුම් ගත නොහැකි වූවන් ලෙසිනි.

මේ නිසාම තරුණ පරපුර රැක ගැනීම උදෙසා සැදුණු ජාතික මිහිලිය සේවා පදනම ක්‍රියාත්මක වී සිටියි. ශ්‍රී ලාංකීය වනිතා පරපුරේ අභිමානය හා අනාගත සුරක්ෂිත බවට එරෙහි වන සමාජ උවදුරු හඳුනා ගැනීමෙන් හා ඒවායින් වැළකීමට මඟපෙන්වන ස්වේච්ඡා සංවිධානයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ඒ අනුව වෙනස්වන ලෝකය හමුවේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ කලාව අපේ දූදරුවන්ට පහදා දීම, සංවර්ධනයේ මුවාවෙන් ගලා එන අශිෂ්ට සමාජ - සංස්කෘතික හා දේශපාලන ප්‍රවාහ කල් ඇතිව හඳුනා ගැනීම, දරුවන් ගොදුරු කරගන්නා හානිදායක සමාජ බලවේගයන් නැවැත්වීමට ශක්තිමත් හා බලසම්පන්න පවුරක් ලෙස ක්‍රියාකිරීම අරමුණු අතර වේ. තව දුරටත් ශිෂ්ට සමාජයක පුරවැසියන් ලෙස කාන්තාවගේ සහ දරුවන්ගේ අභිමානය හා සුරක්ෂිත බව උදෙසා හඬ නැගීම, කාන්තා ශක්තිය ඒකරාශී කිරීම මඟින් කාන්තාවගේ අභිමානය හා යහපැවැත්ම යළි තහවුරු කරගැනීම සඳහා පෙනී සිටීම ද අරමුණු අතර වේ.

තවත් අරමුණු රාශියක් ඔස්සේ ගොඩනැගුණු මේ මිහිලිය පදනම මූලික අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා විවිධාකාර වූ ව්‍යාපෘති ගණනාවක් යොදා ගැනීමට කටයුතු කරයි.

මෙම පදනම මූලිකවම ගොඩනැගී ඇත්තේ රජයේ ආයතනවල විධායක ශ්‍රේණියේ සේවයකොට විශ්‍රාම ගිය කාන්තාවන් හා විශ්‍රාමික විදුහල්පතිනියන්, ආචාර්ය වරියන් ආදීන්ගෙනි. සමාජයට මෙතුවක් සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකර විශ්‍රාම ගිය ද තවදුරටත් සමාජය වෙනුවෙන් තම වගකීම ඉටුකිරීම උදෙසා මෙම පිරිස ඒකරාශී වීම සුවිශේෂත්වයකි.

 

2019/01/23 තරුණි බලන්න