දරුවා ඉගෙනීමට දුර්වල ඇයි?

පෙබරවාරි 20, 2019

මාපියන්ගේ ලෝකය දරුවන්ය. ඒ නිසාම හැම මාපියෙක්ම සිතන්නේ තම දරුවන් රජුන් කරන්නටය. ඒ වෙනුවෙන් ඇති මඟ නිවැරැදි අධ්‍යාපනයක් දරුවාට ලබා දීමයි.

එහෙත් මාපින් ගන්නා වෙහෙස පිළිබඳ නොසිතන ඇතම් දරුවන් අධ්‍යාපනය කෙරෙහි දක්වන්නේ මැළිබවකි.

ඒ අතර විවිධ හේතූන් නිසා ද අධ්‍යාපනයට අකැමැති දරුවෝ වෙති. මේ නිසාම ඔබේ දරුවා අධ්‍යාපනය කෙරෙහි මැළිබවක් දක්වන්නේ ඇයි යන්න හඳුනාගැනීමට මඟ පසුගිය කලාපයෙන් අපි පහදා දුන්නෙමු. මේ එහි ඉතිරි කොටසයි.

ඩිස්ලෙක්සියාවෙන් පීඩා විඳින දරුවන් යළි යළි කියවීමේ දී, ලිවීමේ දී වචන, අකුරු වැරැද්දීම් සිදු කරයි. නිතරම උඩ, යට, වම, දකුණ මාරු කරගනී. අකුරු ඉලක්කම් උඩු යටිකුරු වී පෙනෙයි. වේලාව නිවැරැදිව පැවසීම මෙවන් දරුවකුට ඉතා දුෂ්කරය. ගණිතයට දක්වන්නේ අඩු දුෂ්කරතාවකි. වාක්‍ය ලිවීමේ දී විරාම ලකුණු, නැවතීමේ ලකුණු නිසි ලෙස යෙදවීමට හැකියාවක් නැත. පිළිවෙළට යමක් මතක තබාගැනීම දුෂ්කරය. දවස්, සති, මාස, අකුරු, අංක, චක්කර පිළිවෙළට මතක තබා ගැනීම අසීරු දෙයකි. අවධානය පවත්වාගෙන යාමද දුෂ්කර වේ. තමන්ගේ වැඩ තමන්ටම කිරීම අසීරු වේ. ඇඳුමක බොත්තම් දැමීම, සපත්තු ලේස් ගැට ගැසීම වැනි සාමාන්‍ය සුළු ක්‍රියාවන් පවා මේ දරුවන්ට දුෂ්කරය.

වචන තතනමින් බොහෝ වේලාවක් ගෙන පොත් කියවීම නිසා සිසුන් අතරේ දුර්වලයකු වෙයි. අකුරු අඩුවෙන් කියවීම, එක වචනය දෙතුන්වර කියවීම, ඡේද අත්හැර කියවීම, එකම ඡේදය නැවත නැවත කියවීම, වැරැදි අයුරින් උච්චාරණය කිරීම, තිබෙන වචනය නැතිව වෙනත් වචන පැවසීම, අවසාන අකුරේ සිට මුලට කියවීම, යතුර, කතුර වැනි සමාන වචන පටලවා ගැනීම, කියවීමේ දී ඔවුන්ගෙන් දක්නට ලැබෙන දුබලතාය.

ලිවීමේදී ද අකුරු පටලවා ලිවීම, වැරැදි පැත්තට අකුරු ලිවීම, අකුරුවල වම, දකුණ මාරුකර ලිවීම, අකුරු අඩුකර හෝ එකතුකර ලිවීම, වැනි අඩුපාඩු සිදුවිය හැකියි. මෙවන් දරුවන් කම්මැළියන්, මෝඩයන් ලෙස හැඳන්වීම නුසුදුසුය. දඬුවම් දීමද අයුක්ති සහගතය. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අධ්‍යාපනය එපා වීමයි. විශේෂ අධ්‍යාපන ක්‍රමවලින් ‘ ඩිස්ලෙක්සියා’ දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කළ හැකියි.

තම දරුවා මෙවැනි තත්ත්වයකින් පීඩා විඳීම මාපියන් ගැටලුවක් කරගත යුතු නැත. ගැලීලියෝ ගැලීලි, ඇල්බට් අයින්ස්ටයින්, පියරේ කියුරි, ඇලෙක්සැන්ඩර් ග්‍රෙහෑම් බෙල්, මයිකල් ෆැරඩේ වැනි විද්‍යාඥයන් ලියනාඩෝ ඩා වින්චි වැනි චිත්‍ර ශිල්පීන්, සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ, සිනමා අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග්, ලේඛක ලුවිස් කැරොල්, සංගීතඥ ජෝන් ලෙනන්, ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් වැන්නන් පවා කුඩා වියේදී ඩිස්ලෙක්සියා තත්ත්වයෙන් පීඩා විඳ තිබේ.

 

2019/02/20 තරුණි බලන්න.