කාලසටහනකට වැඩ කිරීමෙන් නිවාඩුකාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු

අප්‍රේල් 22, 2020

කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය චීනයේ වූහාන් නගරයෙන් පටන්ගෙන මුළු ලොව පුරා පැතිරයන්නට ගතවූයේ ඉතාම කෙටි කාලයකි. එම ප්‍රවේගකාරී දරුණු වෛරසය ආක්‍රමණය කිරීමෙන් අප රටේත් සියලු ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරීත්වය අඩපණ වී මුළු රටම අකර්මණ්‍ය වී ඇත. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවූ හානියත් සුළුපටු නොවේ.

පාසල්, පන්ති, උසස් අධ්‍යාපන ආයතන ආදී සියල්ල මේ ව්‍යසනය ආරම්භයේදීම වසාදැමීමට ගත් තීරණය කෙතරම් අගනේදැයි වැටහෙන්නේ මෙහි ශීඝ්‍ර ව්‍යාප්තිය දෙස බැලීමෙනි.

රටේ අනාගතය ඵලදායී කිරීමට කැපවී සිටින දූපුතුන් අද නිවෙස්වලටම කොටුවී සිටී. මෙය හදිසි තත්ත්වයක් නිසා සැලසුම්සහගත අයුරින් ක්‍රියාත්මක වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පවා නොහැකි වීමෙන් දරුවන් විශාල අපහසුතාවකට පත්ව ඇති බව පැහැදිලිය.එම හානිය අවම කිරීමේ අරමුණින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ පාඩම් මාලා ප්‍රචාරය කිරීම යම්තාක් දුරකට දරුවන්ට සහනයක් වී ඇතුවාට සැකයක් නැත. එසේ වුවද මුළු දවස පුරාම නිවෙසටම කොටුවී සිටින දරුවන්ගේ අපතේ යන කාලය ප්‍රයෝජනවත් අයුරින් කළමනාකරණය කරගැනීමේ වැදගත්කම වන්නේ ඉදිරි විභාග කටයුතු සැලසුමේ වෙනසක් නොවීම නිසාවෙනි.

කාලසටහනකට අනුව දවසේ කාලය වෙන්කර ගැනීමෙන් රූපවාහිනියට, ඉන්ටනෙට් එකට, ෆේස්බුක්, ගේම්ස් ආදියට නිකරුණේ වැයවන කාලයත් ප්‍රයෝජයට ගතහැකි බව දරුවන් වටහාගත යුතුය.

මේ සංක්‍රාන්ති සමය අවසන පාසල වෙත එන දරුවාගේ දැනුමේ හා අධ්‍යයනයේ හිඩැසක් නොතැබීමට අප ගන්නා උත්සාහයකි මේ.

ඔබ සාදාගන්නා කාලසටහනෙන් වැඩි ඵලයක් ලබාගැනීමට මෙම කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම වඩා වැදගත් වේවි.

 

අදාළ විෂයයන් තෝරාගැනීමේදී

 

මෙහිදී විෂයයන් සියල්ලම හෝ ප්‍රධාන විෂයයන් කිහිපය පමණක් යොදා ගතයුතු වන්නේ ඔබගේ අවශ්‍යතාවය මතයි. විශේෂයෙන්ම සැලකිය යුතු කරුණ වන්නේ මනස ප්‍රබෝධමත්ව අවදියෙන් සිටින අලුයම් කාලය, උදේවරුව මෙන්ම රාත්‍රී 8 පමණ වන තෙක් සවස් කාලය පාඩම් කර මතකයේ තබාගන්නා සිංහල, බුද්ධාගම, සමාජ අධ්‍යයනය වැනි විෂයයන් සඳහා යොදා ගැනීමයි.

* ආහාර වේලකින් පසුව මෙන්ම රාත්‍රී 8 න් පසු කාලය ඇස් වෙහෙසනවාට වඩා මනස වෙහෙසන ගණිතය , ඉංග්‍රීසි, විදයාව වැනි විෂයයන් සඳහා යොදාගැනීම වඩාත් සුදුසුය.

* විශේෂයෙන්ම එක ළඟ යොදාගන්නා විෂයන් දෙක එකම ආකාරයේ ඒවා නොවීමත් වැදගත් වේ. මන්ද ඒකාකාරීවීම මතකයේ තැන්පත්වීමට බාධාවකි.

* එසේම එක විෂයක් සඳහා විනාඩි 40 ක් වැනි කාලයක් යොදාගැනීම වැදගත්වන්නේ ඊට වඩා කොතරම් පාඩම් කළත් මනස ඒවා නිරවුල්ව තැන්පත් කිරීමට දක්වන මැළිකම හේතුවෙනි.

* එසේම විෂයන් දෙකක් අතරට විනාඩි 10 ක පමණ විවේකී කාලයක් දෙන්න. එය ඊළඟ විෂය සඳහා මනස සූදානම් වීමට උද්‍යෝගයකි.

* දරුවාට අපහසු විෂයයන් සඳහා වැඩි කාලයක් වෙන්කර කිරීමටත් වගබලාගන්න.

* වෙහෙසකාරී විෂයකට පසුව සංගීතය වැනි සෞන්දර් යාත්මක විෂයයක් යොදන්න.

* ඔබ විවේකය සඳහා වෙන්කර ගන්නා කාලයත් බොහෝ වැදගත් වේ. මන්ද මෙතෙක් නිදහසේ මනසේ තැන්පත් කරගත් වටිනා විෂයය කරුණු අවුල් කරන මනස පීඩාවට පත්කරන දේ කෙරෙහි එම කාලය යොදා නොගැනීමට වගබලා ගන්න.

මියුරු සංගීතයකට සවන් දීම ප්‍රියකරන ගීතයක් මිමිණීම, මාළු ටැංකියක් දෙස බලාසිටීම, ජල තටාකයක් හෝ ගලා හැලෙන දිය දහරක් දෙස බලාසිටීම, ගෙවත්තේ ඇවිදිමින් ගහකොළ, කුරුල්ලන් හා මොහොතක් ගැවසීම ආදිය සඳහා යොදාගත හැකියි. සුළු මොහොතක් දරුවා ප්‍රියකරන ක්‍රීඩාවක යෙදීමේ ද වරදක් නොවේ.

* මෙම කාලසටහන සැකසීමේදී පෙළ පොත් ආශ්‍රිත පාඩම් මාලා මෙන්ම අභ්‍යාස, ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමද ඇතුළත් කිරීම වඩාත් ඵලදායී වේ. ඒකාකාරී පාඩම් රටාවෙන් මිදීමට එය කදිම මඟකි.

* පාඩම් කරන අතරතුර කාලපරිච්ඦදෙයෙන් පොඩි කාලයක් ඒ අශ්‍රිත කෙටිසටහන් සඳහා යොදාගැනීමටත් අමතක නොකරන්න. එය දරුවා පාඩම් කළ කොටස පසු කලෙක ඉතා ඉක්මනින් අධ්‍යයනය කරගැනීමට ආයෝජනයකි.

විභාග සමයට මෙහි වටිනාකම කියා නිමකළ නොහැකි බව ඔබටම වැටහේවි.

 

පාඩම් කිරීමට යොදාගන්නා ස්ථානයත් වැදගත්

* කාලසටහන කොතරම් හොඳීන් කළමනාකරණය කරගත්තත් දරුවා පාඩම් කිරීමට යොදාගන්නා ස්ථානය ශබ්දබද්දවලින් යුතු වේ නම් හෝ මනස ඒකාකාරීව තබාගත නොහැකි තැනක් නම් එයද නිශ්ඵල වෑයමකි.

*රූපවාහිනිය අසල හෝ අනෙක් සාමාජිකයන් කතාබහේ යෙදෙන තැනක් වීමද දරුවාගේ මතක තැන්පතුවට අවහිරයකි.

* හොඳීන් එළිය වැටෙන, වාතාශ්‍රය හොඳීන් ගැවසෙන නිදහස් ස්ථානයක් වීම නම් ඔබ කැපකරන, වෙහෙසවන කාලයට මනා සාධාරණයක් ඉටු කරාවි.

ආදරණීය දරුවනේ, මවුවරුනේ කොවිඩ් වසංගතයෙන් අප රට සහමුලින්ම මුදාගන්නා තෙක් ඔබ නිවෙසේ ගතකරන මේ කාලවකවානුව උපරිම ඵලදායී කරගන්න.

අප ගතකරන කාර්යබහුල ජීවන රටාව තුළ පෙර කිසිදාක නොලැබුණු සොබාදහමේ මේ මානසික නිවාඩුවෙන් උපරිම ඵලයක් නෙළාගන්න උත්සුක වන්න . එය ඔබේ මෙන්ම මේ මොහොතේ රටේත් අවශ්‍යතාවකි.

 

උපදෙස් - ප්‍රවීණ විද්‍යා උපදේශක හා ලේඛක

වසන්ත විරාජ්