දරුවන් වගාවට හුරු පුරුදු කිරීමේ වැදගත්කම

නොවැම්බර් 11, 2020

‘ගෙවත්ත’ යන හුරුපුරුදු වචනයට පසුගිය වකවානුවේදී සමාජය තුළ තිබුණේ පුදුම උනන්දුවක්. එතරම් උනන්දුවක් මිනිස්සුන්ට ඇති වුණේ කෝවිඩ් 19 වසංගතය හමුවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයක සේයා මතුවෙත්දීය.

බොහොම පැරැණි වචනයක් වූ ‘ගෙවත්ත’ විටින්විට ඉස්මතු වන්නේය....එහෙත් ජනතා අවධානය උදුරාගත් අවස්ථා ගණනාවකට සරිලන පරිදි ගෙවත්ත දියුණුවූයේ නම් නැත. කාගේ කාගේත් අවාසනාවට ස්ථාවරව කලක් පවතින්නේ නැතිව පැමිණි සැණින් පාහේ ගෙවත්තේ සෞභාග්‍යය අතුරුදන් වන්නේය.

1954 වැනි ඈත අතීතයක දී ගෙවත්ත යනු කුමක්දැයි හැඳීන්වීමට එක්තරා ලේඛකයකු ලියාතිබූ අර්ථ දැක්වීමකි මේ.

“පෞද්ගලික අයිතියක් තිබෙන, බහු වාර්ෂික හා වාර්ෂික වගාවන්ගෙන් සමන්විත, වාසස්ථානය අවට ඇති කුඩා බිම් කොටසක්” වශයෙන් එදා ගෙවත්ත හඳුන්වාදී තිබුණි. අද වනවිට නම් මෙය ද සංස්කරණයට හසුවිය යුතු අර්ථ දැක්වීමකි. මහල් නිවාසවාසීන් වෙනුවෙන් ද ගෙවත්තක් හඳුන්වාදීමට පවා අද අප උත්සාහ දරමින් සිටින්නෙමු. එය දර්ශීයව වගාබිමක් සේ තිරස්ව පැතිරුණ එකක් නොව බොහෝ විට සිරස් අවකාශය අත්කර ගන්නා, ආධාරකමත සැලසුම් සහගතව අසුරන ලද බඳුන් පැළවලින් සමන්විත ගෙවත්තකි.

කෘෂිකර්ම බලධාරීන් ගෙවතු දසලක්ෂයක් බිහිකිරීමේ වැඩසටහනට අත්තිවාරම් දැමුවේ වසංගත තර්ජනයක් තිබියදී නොවේ. එසේ නමුත් සමාජය තුළින් හදිසියේ මතු වූ ගෙවතු උනන්දුව හරහා තම අරමුණ කළමනාකරණය කරගැනීමට ද ඔවුන් අසමත් වූ බවක් පෙනෙන්නට තිබුණි. ගෙවතු දසලක්ෂයක් වෙනුවෙන් බෙදාහරින්නට සැලසුම්කර ගත් බීජ තොගය උණු කැවුම් මෙන් අවසන් වී යාම ඊට හේතුවයි.

ගොවිතැනට හුරුපරුදු නොවු පිරිස

කෙසේ වෙතත් මේ වනවිට සාම්ප්‍රදායිකව එළවළු වවන ගොවිබිම් හැරුණු විට ගෙවතුවල ද සැලකිය යුතු බෝග ගහනයක් ස්ථාපනය වී තිබේ. මේවා සිටුවන්නට සහභාගීවූයේ ගොවිතැන හුරුපුරුදු පිරිසක් නොවීම, ගෙවත්තේ ඵදායීතාව කෙරෙහි බලපා හැකි ප්‍රධාන සාධකයකි. පස පෙරලා බීජයක් එහි සැඟවීම සඳහා විශේෂ පළපුරුද්දක් හෝ දැනීමක් අවශ්‍ය නොවේ. රට වසාදමා, ඇඳීරි නීතිය පනවා තිබියදී, දෙන්නා දෙමහල්ලන් පමණක් නොව පාසල් යා නොහැකිව නිවෙසට සිරවී සිටි, කිසිදු ගොවිතැන් අත්දැකීමක් නැති දරුවෝ පවා වගා ස්ථාපනයට සහභාගී වුහ. මේ වනවිට ඔවුන්ගේ ශ්‍රමය පල දරමින් තිබේ. බොහෝ ගෙවතුවල අස්වැන්න ද ලැබෙමින් තිබේ.

පළිබෝධ හානි වගාවකට පැමිණීම ස්වභාවිකය. වාණිජ වගාවකදීවුවත්, ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදයන් හරහා මොවුන් පලවාහැරීමට කටයුතු කිරීම අපගේ නිර්දේශයයි.

මෙහිදී ගොවියා සතු සාම්ප්‍රදායික දැනුම, දේශීයව සාදාගත හැකි පළිබෝධනාශක භාවිතය, අවට පරිසරයෙන් පළිබෝධකයාට එල්ලවෙන ප්‍රතිරෝධය ඉහළ දැමීමේ ක්‍රමවේදයන් අනුගමනය වැනි උපක්‍රම භාවිතා කෙරෙන අතර, වසංගත තත්වයකට වාණිජ වගාව මුහුණ දෙන්නේ නම් අවසාන වශයෙන් කෘෂිරසායනික සංයෝගයන් ද නිශ්චිත මාත්‍රාවට අනුව භාවිතා කිරීම නිර්දේශ කෙරේ. කෙසේ වෙතත් ගෙවතු වගාවකදී නම් අප කෘත්‍රීම වස විස දියරයන් යොදාගනිමින් පළිබෝධ මර්දනය කළයුතු නොවේ.

මේ දිනවල ගෙවතු වගාවන් හි තිබෙන බොහොමයක් කෘමි ආසාදනයන්ට භාවිතා කළ හැකි ප්‍රතිකර්මයකි කොහොඹ නිස්සාරකය.පණුවන්, දළඹුවන් වැනි සතුන්ට විෂ සහිතව ක්‍රියා කිරීමෙන් එම සතුන් මෙහිදී මැරීයන අතර, අනෙකුත් පියාසර කෘමීන් බොහොමයක් විකර්ෂණය කරනු ලබයි.

මීට අමතරව කොහොඹ නිස්සාරකය මගින් පිටි පුස්රෝගය (පිටි මකුණා) වැනි දිලීර රෝගයන් පවා මර්දනය කරන අතර, ශාකයේ ප්‍රතිශක්තිය ද ඉහළ දමනු ලැබේ.

කෘමි උවදුර සඳහා කොහොඹ ප්‍රතිකාරකය

කොහොඹ ප්‍රතිකාරය සඳහා අවශ්‍ය වන්නේ අලුත් කොහොඹ ඇට ග්‍රෑම් 30-35 ක් තරමේ ප්‍රමාණයකි.

කුඩා වංගෙඩියක් වැන්නක ආධාරයෙන් කොහොඹ ඇට ටික කුඩුකර, ජලය ස්වල්පයක් ද දමා පැය 12 ක පමණ කාලයක් තිස්සේ පොඟවනු ලැබේ.

අනතුරුව මිශ්‍රණය හොඳීන් කලතා, රොඩු කොටස් පෙරා ඉවත් කරමින් දියරය පමණක් වෙන්කර ගනු ලැබේ.

එයට දියර සබන් බිංදුවක් දෙකක් එකතු කරනවා නම් වඩාත් හොඳය.

මන්ඩි කොටස් පහළට එකතු නොවී, ද්‍රාවනය ඒකාකාරීව පවත්වා ගැනීමට එම සබන් බිඳ ප්‍රමාණවත්ය.

2020/11/11 තරුණි පුවත්පත බලන්න

 

උපදෙස්

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය

ගන්නොරුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.