ආරක්ෂිත දෑත් සේදුමකට iFlow Touchless Faucet

ඔක්තෝබර් 21, 2020

ආරක්ෂිත දෑත් සේදීමකට වගේම ජලය ඉතිරිකර දෙන ගැජටයක් ගැනයි මේ කියන්න යන්නේ. iFlow Touchless Faucet ගැජටය මුළුතැන්ගෙයි ජල කරාමය වෙනුවට භාවිත කළ හැකියි.

එහිදී දෑත්, පිඟන් සහ ආහාර සේදීමේ දී කරාමය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. දෑත් සේදීමේ දී මේ ජල කරාමයේ හසුරුව ස්පර්ශ කිරීමට අවශ්‍ය නොවන නිසා ඔබේ පවුලේ සෞඛ්‍ය ආරක්ෂාකර බැක්‍ටීරියා සහ වෛරස් සම්ප්‍රේෂණයට ගොදුරු වීමේ ඉඩකඩ අඩු කරයි. කෝවිඩ් ව්‍යසනයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් නිවෙසක තිබිය යුතුම උපකරණයක් බවට මෙය පත්ව ඇත.

iFlow  කුඩා පරිමාණයේ කුඩා ජල පද්ධතියක් තුළ ඉදිකර ඇති අතර එයත් සම්පූර්ණයෙන්ම බලයෙන් ක්‍රියාත්මක වන්නේ ජල ප්‍රවාහයෙනි.

සංවේදකය මඟින් ක්‍රියා කරන මේ කරාමය අසලට දෑත් ගෙන යාමෙන් ජලය ගලා යෑම සිදුවන අතර දෑත් ඉවතට ගන්නා විට ජලය ගලා යෑම ස්වයංක්‍රීයව නවතී. ජලය පරිමාව නිවැරැදිව පාලනය කිරීමේ හැකියාව ද අයිෆ්ලෝට තිබේ.

අයිෆ්ලෝ හරහා එන ජල උෂ්ණත්වය, භාවිත කළ ජල ප්‍රමාණය ආදී තොරතුරු ද දැන ගත හැකියි. එලෙස එහි ඇති ස්මාර්ට් සංදර්ශකය ඔබ භාවිත කරන ජලය පිළිබඳ සෑම දෙයක්ම ඔබට කියයි. මෙය ඔබේ නාන කාමරයේ සහ මුළුතැන්ගෙයෙහි ඇති බොහෝ ජල කරාම සඳහා ස්ථාපනය කිරීමට හා ගැළපීමට ඉතා පහසුය.

ඔබට අවශ්‍ය වන්නේ ජල කරාම කොටස ඉවත්කර නළය මත iFlow  ගැජටය සවි කිරීමට පමණි. ගැජටය නළයට සම්බන්ධ කොට ඉස්කුරුප්පු කිරීමෙන් එය සකසා ගත හැකියි. එවිට ඔබට iFlow  විසින් සපයන සනීපාරක්ෂක තාක්ෂණය භුක්ති විඳීය හැකියි.

හයිඩ්‍රෝ තාක්ෂණය සහිත කුඩා පරිමාණයේ ජල පද්ධතියක් සහිත මෙහි බැටරිය ආරෝපණය කිරීම සඳහා කේබලය යොදාගත හැකියි.

ස්මාර්ට් ඩිස්ප්ලේ සහිත නිසා පාවිච්චිය ඉතා පහසුය.

iFlow  යනු අපතේ යන, කාන්දු වන ජලය සඳහා ඵලදායී විසඳුමක් සපයන ස්මාර්ට් ගෘහ උපාංගයකි. මෙමඟින් ඔබ ඔබේ දෑත් සෝදාගත් වහාම අපිරිසුදු කිරීම ගැන තවදුරටත් කරදර විමට අවශ්‍ය නොවේ. දෑත් කරාමය අසලට ළං කරන විටම ඔබට ජලය අවශ්‍ය බව iFlow  දනී. ඒ නිසා හැන්ඩ්ල්ස් හෝ බොත්තම් ගැන ඔබට දැන් අමතක කළ හැකිය.

සාමාන්‍ය ජල කරාමයකට වඩා 40%ක් පමණ ජලය ඉතිරි කර දීමට මෙය සමත්‍ ය. සාමාන්‍යෙන් ගෘහණියන් පිඟන්, ආහාර බඳුන් හෝ වෙනත් ඕනෑම දෙයක් පිරිසුදු කරන විට සබන් යොදා අතුල්ලමින් පිරිසුදු කරන අතරතුරත් ජල කරාමය විවෘතව තබයි.

නමුත් iFlow  ගැජටයේ සංවේදක හරහා එම කාලයේදී ජලය ගැලීම ස්වයංක්‍රීයව නවතාලයි. ඒ වගේම ඔබට තරමක් විශාල බඳුනකට, බේසමකට ජලය පුරවා ගැනීමට අවශ්‍ය වූ විටෙක ජලය පිරෙන තෙක් බලා සිටීමට හෝ එය පිරි ඉතිරී ජලය නාස්ති වීමට ඉඩ දීමට තව දුරටත් අවශ්‍ය නොවේ.

ජලය කොපමණ වෙලාවක් ලබා ගැනීමට අවශ්‍ය ද යන්න මෙහි දර්ශකයට ඇතුළත්කර ඔබට වෙනත් කාර්යයක නිරත විය හැකියි. මෙය නිවෙසක පමණක් නොව ආයතනවලට ද හොඳීන්ම ගැළපෙන උපකරණයකි.

අන්තර්ජාලය ඇසුරිනි

සටහන - විදුමිණි දිසාකරුණා