මධ්‍යම ප්‍රමාණයේ බඳුන්වලට ඕකිඩ් පැළ මාරු කරමු

අගෝස්තු 4, 2021

ඕකිඩ් එහෙමත් නැතිනම් උඩවැඩියා යනු මල් ලෝකයේ ආඩම්බරකාරියකි. ඉතින් හැඩකාර මේ මල් කුමරිය ඔබේ ගෙමිදුලට අපූරු චමත්කාරයක් රැගෙන එන අතරම ඔබේ අතමිට සරුකර දෙන්නට ද සැදී පැහැදී සිටින්නීය.

 

ඒ සඳහා ක්‍රමානුකූල මඟ පෙන්වීමක් ලබාදෙන මේ විශේෂාංගය ඔස්සේ කුඩා ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පැළයක් දැල් පෝච්චියක සිටුවා රැකබලාගන්නා ආකාරය අප ඔබට කියාදුන්නා. මාස 08ක් වැනි කාලයක් මේ කුඩා පැළ දැල් බඳුන් තුළ තැබිය හැකි අතර අනතුරුව ඒවා තරමක් විශාල පෝච්චිවලට මාරු කළ යුතු වේ.

මෙලෙස පැළ මාරු කිරීම තරමක් සීරුවට කළයුතු අතර එය සිදුකරනා ආකාරය සේම අනතුරුව ඒ පැළ නඩත්තු කරන අයුරු අද අපි සොයා බලමු.

 

මධ්‍යම ප්‍රමාණයේ පෝච්චි

සාමාන්‍යයෙන් මාස 08ක් පමණ ගතවනවිට කුඩා දැල් පෝච්චිවල වැඩෙන්නට ඕකිඩ් පැළවලට ඉඩකඩ මදි බව ඔබට හැඟෙනු ඇත. එවිට මධ්‍යම ප්‍රමාණයේ දැල් පෝච්චිවලට හෝ මැටි පෝච්චිවලට මේ පැළ මාරු කිරීම කළ යුතුය. මෙහිදී අපේ අවධානය යොමු කළයුතු කාරණය වන්නේ තෝරාගන්නා එම බඳුන්වල මුහුණත එහෙමත් නැතිනම් බඳුන් කටෙහි විෂ්කම්භය අඟල් 05ක් හෝ 06ක් පමණ විය යුතු වීමයි. එමෙන්ම මේ බඳුන්වල ගැඹුරද එම ප්‍රමාණයට ආසන්නව තිබීමත් සුදුසුය.

 

වගා මාධ්‍යය

දැල් පෝච්චිවලින් පැළ ගැලවීමට පෙර ඔබ තෝරාගත් බඳුන්වලට වගා මාධ්‍යය පුරවා ගැනීමට වගබලාගන්න. එහිදී පළමුවෙන්ම බඳුන් පත්ලට අඟල් 3/4ක් පමණ විශාල උළුකැට කැබැලි තට්ටුවක් අසුරන්න. අනතුරුව එම ප්‍රමාණයටම කඩාගත් අඟුරු කැබැලි තට්ටුවක් ද දැමිය යුතු වේ.

 

පැළ මාරු කිරීම

දැන් වගා මාධ්‍යය සකසා ගෙන අවසන්. ඉන්පසුව ඔබ කළ යුත්තේ දැල් පෝච්චිවල සිටුවා ඇති කුඩා ඕකිඩ් පැළවල මුල්වලට හානියක් නොවන පරිදි (අවම හානියක් වන පරිද්දෙන්) පරෙස්සමට ගලවා ගැනීමයි. එහිදී කතුරකින් දැල් පෝචිචිය කපා ඉවත් කිරීම වඩාත් සුදුසුය. අනතුරුව එම පැළයේ මුල් පමණක් පෝච්චිය තුළ සිටින සේ පරෙස්සමට පැළය තැබිය යුතුයි. එහිදී පැළයේ පැරැණිම අංකුරය පෝචිචියේ ගැට්ට අසළට වන්නටත්, අලුතින් දලු ලෑ අංකුරය පෝච්චියේ මැද කොටසට වන්නට තබන්නටත් වගබලාගන්න.

ඉන්පසුව ඕකිඩ් පැළයේ මුල් පමණක් වැසෙන සේ අඟල් 1/2 උළුකැට කැබලි සහ එම ප්‍රමාණයේ අඟුරු කැබලි සහිත වගා මිශ්‍රණයෙන් බඳුන පුරවා ගන්න. මෙහිදී පැළය පෙරළී නොයෑමට පෝච්චිය තුළ සිහින් කෝටු කැබැල්ලක් සිටුවා පැළය එහි ගැට ගසන්න.

මේ ආකාරයට සිටුවා ගත් ඕකිඩ් පැළවල නව අංකුරය නැගෙනහිර දිශාව දෙසට සිටින සේ හරවා රාක්කය මත තබන්න. මෙලෙස බඳුන් රාක්කගත කිරීමේදී පෝචිචි දෙකක් අතර පරතරය අඟල් 06ක් පමණ වියයුතු වේ. එමෙන්ම සෙවණ දැල 50% දක්වා වෙනස් කළයුතු වේ.

 

නඩත්තුව

සෑම දවසකම උදය වරුවේ මෙම පැළවලට ජලය යොදන්න. ඉතා වියළි කාලගුණයක් පවතින අවස්ථාවක දී නම් සවස් කාලයේදී ද ජලය සැපයිය යුතු වේ. එමෙන්ම පොහොර යෙදීම කළ යුත්තේ උදය වරුවේ දී පමණකි. මෙලෙස පොහොර සපයන දිනවල දී උදය කාලයේ ජලය දැමීම අවශ්‍ය නොවේ.

මධ්‍යම ප්‍රමාණයේ බඳුන්වලට මාරු කළ මේ ඕකිඩ් පැළ දැන් තරමක් වර්ධනය වී ඇති. අනතුරුව ඇත්තේ එහි වැඩි වර්ධනය උදෙසා ක්‍රමානුකුලව පොහොර සැපයීමයි. පැළ කුඩා අවධියේ දී සැපයූ පොහොර ඒ සඳහා ප්‍රමාණවත් නොවන අතර ගසෙහි වර්ධනයට සේම මල් හටගැනීමට ද මෙහිදී පොහොර අවශ්‍ය කෙරේ.

අපි ඒ පිළිබඳ ලබන සතියේ දී වැඩි විස්තර සහිතවම දැන ගනිමු.

 

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ