නිකටෙන් කියාපාන ජීවිතයේ හොඳ නරක

අගෝස්තු 4, 2021

 

කාන්තාව මෙලොව බිහිවූ විස්මිතම නිර්මාණයයි. උතුම් මව් පදවිය ලබන්නට හැක්කේ කාන්තාවකට පමණයි. ඒ වගේම රක්ත වර්ණ රුධිරය කිරි බවට හැරවෙන්නේ ඇගේ අපමණ දරු සෙනෙහස නිසාමයි. ඒ නිසාම කාන්තාව මේ ලොවේ වටිනාම වස්තුව යැයි කීවද වරදක් නැත. මෙලොව ජීවය බිහිකරන්නට හැකියාව ඇති කාන්තාව ඒ සඳහා සොබා දහම විසින් අපූර්ව ආකර්ශණීය වස්තුවක් සේ නිර්මාණය කරන්නට පෙළඹී ඇත්තේ ඒ නිසා විය හැකිය. වරක් දුටු පමණින් යළිත් වරක් හැරී බලන්න සිතෙන්නේ ඇය පංච කල්‍යාණයෙන් යුතු විටය. එහෙත් කාන්තාවකගේ එක් එක් අංගයන් කෙරෙහි සිත බැඳුණු පිරිමි ඕනෑ තරම් සිටිති.

 

පංච කල්‍යාණියක වුවත් ඇගේ ගතිගුණ යහපත් නැතිනම්, කරුණාවන්ත බවක් නැතිනම් ඇය සැබැවින්ම ලස්සන යැයි පැවසිය හැකි නොවේ. ඒ නිසාම යුවතියකගේ රුවට සිත බැඳෙන්නට පෙර ඇය කෙබඳු ගතිගුණ ඇත්තියක්දැයි දැනගැනීම වටී. පුරාණ සෘෂිවරුන් පවසා ඇති දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවකගේ සිරුරේ භාෂාව හඳුනා ගැනීමෙන් ඇය කෙබඳු තැනැත්තියක්දැයි දැන ගත හැකිය.

අප කෙනකු දෙස බැලූ සැණින් අපේ නෙත ගැටෙන්නේ මුහුණය. සිනාවෙන් පිරුණු මුහුණකින් යුතුව කෙනෙකු දුටු විට අපගේ සිත ද පහන් වන්නේ ඒ නිසාය. මුහුණ සිතේ ඇති බොහෝ දේ හෙළි කරන කැඩපත යැයි කියන්නේ ද ඒ නිසාය.

අද අප දේහ ලක්ෂණ විද්‍යාවෙන් හෙළි කර ගන්නට යන්නේ නිකටේ සැඟවුණු රහස් ගැනය.

කෙනකුගේ රුවක් තව එකකුගේ හැඩ රුවකට සන්සන්දනය කළ නොහැකියි. ඒ එකිනෙකාට වෙන්වූ ආවේණික හැඩතල රුවෙහි පිහිටා ඇති බැවිනි. ඔබේ රුවේ රහස් හරි අපූරුවට 'නිකට' මඟින් ද කිව හැකියි.

* කෝමලව වටව වූ නිකට විවිධ භවබෝග සම්පත් ලැබීම පෙන්වන අතර වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට ජන්ම භාග්‍යය උදාකරන බව කිව හැකියි.

* නිකට මැද වළ ගැසී ඇත්නම් දුක් දෝමනස්සයන්ට මැදි වේ. නිතර මානසිකව ඇද වැටෙන සුලුය. එවැනි කෙනෙක් තරමක කාමුක ගති ඇත්තියක් ද විය හැකිය.

* කිසියම් කාන්තාවකට පිහිටා ඇත්තේ වඩා දිග් වූ නිකටක් නම් ඇගේ ජීවිතයේ අවුල් වියවුල් ඇතිකරයි. සම්පත් හීන වේ.

* සිහින්ව මුහුණට ලස්සනක් ගෙනෙන ලෙස නිකට අඟල් දෙකක් පමණ වේ නම් යාන වාහන සැප සම්පත්වලින් අඩුවක් නොවේ. දියුණුවන ජීවිතයක් හිමිය. ඉවසිලිවන්ත බවින් යුතුව තම ජිවිතයේ වැඩ කටයුතු කර ගන්නා කෙනකු වන ඇය කරුණාවන්ත සිත ඇත්තියක් වන අතර අන්‍යයන්ට උදව් උපකාර කරයි.

* යමකුගේ නිකට පැතලි නියනක හැඩයක් නම් එතරම් වාසනාවන්ත නොවෙයි. මෙවැනි අය තරමක් උඩඟු ගතිගුණවලින් යුක්ත වන අතර අහංකාරකමින් ද අඩුවක් නැත. යුග දිවිය අවුල් සහිතයි. වහා කෝපයට පත්වන නිසා බොහෝවිට යුග දිවිය අවුල් සහිත විය හැකිය. එබැවින් එවැනි නිකටක් හිමි අ‍ෙයක් හා ඇසුර බොහොම කල්පනාකාරි වන්න.

* ඉතා කුඩාවට වටව පිරුණු නිකටක් හිමි නම් රාජ්‍ය සම්මාන හිමිවන්නට අවස්ථාව තිබේ. රාජ්‍ය තනතුරු දරන්නකු වේ. සැප සම්පත් හිමිවන භාග්‍යමත් යුග දිවියක් ගෙවන්නට වාසනාව ඉබේම පෑදේ.

* යම් අයකුට උල් නිකටක් හිමි නම් ඇය හෝ ඔහු හරිම ඉක්මණින් කෝපයට පත් වේ. පවුලේ සමඟිය සාමය නැති වේ. එබැවින් එවැන්නකු හා ගනුදෙනුවේදී ඔබ බුද්ධිමත් වන්න. අවබෝධයෙන් කටයුතු කරන්න. දේහ ලක්ෂණ මඟින් අපි සොයා යන්නේ එවැනි ගුණ අගුණ චරිත ලක්ෂණ දැන අවබෝධයෙන් ජීවත්වීම උදෙසායි.

* නිකට මත පැලුම් හෝ ඉරි සහිත රෝම ගැවසී නම් අභාග්‍ය සම්පන්න බවක් පෙනේ. විවාහයේ දී ප්‍රසන්නකම අඩුවේ. දරු සම්පත් හීනයි.

* කොකු හැඩයක් පිහිටියේ නම් තර්ක විතර්ක කරන්නෙකි. නීතිමය අංශයට දක්ෂ කථිකත්වයට හිමිකම් ඇත්තෙකි.

* යම් කිසි කාන්තාවකට ඝනවූ රෝමයන් පිහිටි නිකටක් හිමි නම් එය ඇයට බෙහෙවින්ම අසුබයි. යුගදිවිය තුළ නීරස බව උත්සන්න වේ. සැමියාගෙන් ලැබෙන දේපොළ, සැප සම්පත්වල අඩුවක් ඇති වේ. ජීවිතයේ විවිධ කරදරවලට මුහුණ පෑමට සිදුවන්නේය.

මෙහි කියැවුන යම් අසුබ ලකුණක් ඔබට පිහිටියේ නම් දුක්විය යුතු නොවෙයි. තමන්ගේ නැණ නුවණින් අවබෝධයෙන් දැන කටයුතු කරන්න. යහපත උදාකර ගත හැකියි.

 

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල