ගෙයි ගින්දර පිටට දුන්නොත් වෙන දේ දන්නවා ද ?

අගෝස්තු 4, 2021

 

පුංචි පුංචි ආදරණීය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවළක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන්ගේ බහින්බස් වීම් අසුන්දර ලෙසින් දික් ගස්සවාගෙන, දික්කසාදය දක්වා ගෙන යනවා. දෙදෙනකු එකිනෙකාව නොරිස්සමින් ජීවත් වීම තරම් මානසික පීඩාවක් තවත් නැහැ. එවැනි ගැටලු ඔබටත් ඇති. ලියන්න ඔබේ ගැටලුව තරුණීට.

අප ඔබට ඒ සඳහා කළ යුතු නිවැරැදි දේ කියා දෙන්නෙමු.

අපේ ලිපිනය,

 

කියන්න බැරි දේ ලියන්න

තරුණී- ලේක් හවුස්

කොළඹ 10

 

ප්‍රශ්නය

31 හැවිරිදි මා විවාහ වී වසර දෙකකි. අප විවාහ වූයේ වසර තුනක ප්‍රේම සබඳතාවයකිනි. සැමියා තරමක් සැර පරුෂ අයෙක්. ඔහු කිසිදු වැඩක් පිළිවෙළකට කරන අයෙක් නොවෙයි. වැරැද්දක් පෙන්වා දුන් විට මා හට බැන වදී. මාගේ මිතුරියන් ඉදිරියේදී ද මා අපහසුතාවයට ලක්වන සේ හැසිරෙයි. ඔහු නිසා මා නිතරම කනස්සල්ලෙන් සිටින්නේ.

ඔහුගේ මේ හැසිරීම ගැන මාගේ ළඟම මිතුරියකට පැවසුවේ ඇගෙන් උපදෙසක් ගැනීමෙන් අරමුණින්. නමුත් ඇය මා පැවසූ සියල්ල ඇගේ සැමියාට පවසා ඇත. මාගේ සැමියා ඔහුගේ මිතුරෙකි. ඒ මාර්ගයෙන් මා පැවසූ සියල්ල මාගේ සැමියා දැනගෙන තිබේ. දැන් ඔහු මට සලකන්නේ හතුරෙකුට වගෙයි. මාව නොරිස්සයි. දුටුවත් නොදුටුවා සේ සිටියි. එක විටම කේන්ති ගෙන මා හට බැන වදියි. දැන් මා පෙරට වඩා ගැටලුවකට මුහුණ පා ඇත. මා මාගේ මිතුරියට සැමියා ගැන පවසා වරදක් කළා සේ හැගෙයි. මා දැන් කළ යුත්තේ කුමක් ද ?

මතුගම - සාගරිකා

පිළිතුර

 

සාගරිකා. ඔබ සඳහන් කර ඇති ගැටලුව තවත් බොහෝ බිරියන්ට තිබෙනවා. ඒ නිසා ඒ හැමටම ගැළපෙන ලෙස පිළිතුරු දෙන්නම්. ඔබත් යහළුවන් එක්ක එකතු වුණාම තොරතෝංචියක් නැතුව කියවන කෙනෙක් ද? එහෙනම් ඔබටත් ඔබේ විවාහ ජීවිතයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඔබේ සැමියා ගැන අනවශ්‍ය ලෙස අන් අය සමඟ පැවසීමෙන් ඔබේ විවාහ ජීවිතයේ විවිධ ගැටලු ඇති විය හැකිය. මේ කරුණු ගැන සැලකිලිමත් වුවහොත් ඔබේ විවාහ ජීවිතයේ ගැටලු අඩු කරගන්න පුළුවන් වේවි.

 

ඔහු බිය වන දේවල්

 

සාමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට බය හිතෙන දේවල් පිළිබඳ අන් අය සමඟ පැවසීමට මැලි කමක් නොදක්වයි. එහෙත් පිරිමින් එසේ නොවේ. පිරිමින් එය තමන්ගේ දුර්වලකමක් ලෙස සලකයි. ඔබේ සැමියා අකුණු ගැසීම, විශාල බල්ලන් හා මකුළුවන් ආදී මේ දේවල්වලට බියක් දක්වන්නේ නම් ඒ පිළිබඳ අන් අයට පැවසීම සුදුසු නැත. විශේෂයෙන්ම ඔහු මේ දේවල් ඔබට පවසන්නේ ඔබ පිළිබඳ විශ්වාසයෙනි. අන් අය සමඟ ඒවා පැවසීමෙන් ඔබ එම විශ්වාසය කඩ කරයි. දෙදෙනකු අතර විශ්වාසය බිඳී යාමට මෙය ප්‍රධාන හේතුවකි. එනිසා ඔබ අන් අය සමඟ සැමියා පිළිබඳ යමක් පැවසීමට පෙර එය ඔහුට කෙසේ බලපාන්නේද යන්න සිතා බලන්න.

 

ඔබගේ සැමියාගේ බාහිර ස්වරූපය

ඕපාදූප කියවමින් පුද්ගලයන්ව විහිළුවට ලක් කරමින් රසවත් දෑ හුවමාරු කරගැනීම ඇතැම් කාන්තාවන්ගේ පුරුද්දක්. ඒත් ඔබේ සැමියාගේ සිරුරේ ප්‍රමාණය, බාහිර ස්වරූපය හා හැසිරීම ආදිය ගැන කියවීම නම් එතරම් නුවණට හුරු නැහැ. කාත්තාවන් ඔවුන්ගේ පෙනුම පිළිබඳ බොහෝ සැලකිලිමත් වෙනවා. ඉතින් හිතල බලන්න ඔබේ සැමියා යහළුවන්ට කීවොත් ඔබ මහත් වෙලා, එහෙම නැත්නම් ඔබ ගොඩක් වයසට ගිහිල්ල කියලා ඔබ කැමැති නැහැ නේද?

ඒ නිසා ඔබත් යහළුවන් සමඟ සැමියා පිළිබඳ කතාකරන විට ධනාත්මකව කථා කිරීමට පුරුදු වන්න.

 

ඔහුගේ කරදරකාරී හැසිරීම්

 

ඔබේ සැමියාගේත් යම් කරදරකාරී පුරුදු තියෙනව ද? සපත්තු, ඇඳුම් ගලවා තැන තැන දැමීම ඔබට රුස්සන්නේ නැති ද? මේ පුරුදු ඔහුට ආවේ ඔහුගේ පවුලේ අයගෙන් යැයි සිතමින් පවුලේ අය සමඟ ද කේන්තියෙන් ඇති. ඒත් මේ දේවල් යහළුවන් සමඟ පැවසුවා කියලනම් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එයින් සිදු වන්නේ ඔබේ පවුලේ ප්‍රශ්න අනෙක් අය දැනගැනීම පමණයි. ඒ නිසා මේ දේවල් ගැන අනෙක් අය සමඟ කථා කරනකොට සීමාවක් තියාගෙන කතා කරන එක වඩා හොඳයි. ඔබේ සැමියා සමඟ කතා කිරීමටත් පෙර යහළුවන් සමඟ මේ දේවල් පැවසීම ඔහු උරණ වීමට ද හේතුවකි. එනිසා මෙවැනි දේ යහළුවන් සමඟ කතා කිරීමේදී සීමවන් තබා ගැනීමටත් ප්‍රවේසම් වන්න.

 

ඔහුගේ අඩු ආදායම් හෝ වැඩවල අසාර්ථක බව

ඔබේ සැමියා රැකියාවේ එතරම් සාර්ථක නැති බව හෝ ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති බව හෝ ඔහුට උසස්වීම් නොලැබෙන බව හෝ ඔබේ යහළුවන් සමඟ පැවසීම ඔබේ සැමියාගේ පමණක් නොවේ ඔබේ මුළු පවුලේම ප්‍රතිරූපයට හානිදායක වේ. එනිසා මෙවැනි අවස්ථාවල ඔබ ඔහුගේ නොහැකියාව ගැන ප්‍රචාරය කිරීමට වඩා ඔහුට සහය වීම ඉතා වැදගත් වේ. සැමියා රැකියාවක් සොයානවා නම් එය ධනාත්මක ලෙස යහළුවන්ට පවසන්න. ඔහු නව අවස්ථාවන් කරා යෑම සඳහා නව රැකියාවක් සොයන බව පවසන්න. එයින් ඔහු ඔබ පිළිබඳව ද පැහැදෙන අතර ඔබේ බැඳීම ද ශක්තිමත් වේ.

 

ඔහුගේ නොහැකියාවන්

 

ඔබේ සැමියත් නිවෙසේ අලුත්වැඩියාවක් කරද්දී වැඩේ දෙක කරනවද? එහෙම නැත්නම් තමන්ගේ වැඩක්වත් හරියට කර ගන්නේ නැද්ද? ඒත් මේ දේවල් ඔබේ යහළුවන් දැනගත යුතු නැහැ. අපේ සමාජයේ තියෙන මතයක් තමයි පිරිමියෙක් වුණාම ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. එය ප්‍රායෝගියක දෙයක් නොවෙයි. ඔබේ සැමියාගේ එවැනි නොහැකියාවන් ගැන අන් අයට පැවසීමෙන් ඔහුගේ පෞරුෂත්වයට හානි කරනවා.

 

ඔහුගේ අඩුපාඩු ඔහුටම කියන්න

ඔබේ සැමියා තරමක් හිතුවක්කාර කෙනෙක් ද? ඔහු සමඟ එකඟතාවයකට ඒම අපහසු ද? ඔහු පවුලේ දේවල් පිළිබඳ සොයා බලනවා අඩු ද? එහෙනම් මේ දේවල් පළමුවෙන්ම සැමියා සමඟ සාකච්ඡා කරන්න. එයින් මේ ගැටලු විසඳාගත හැකියි.

යහළුවන් සමඟ පැවසීමෙන් සිදුවන්නේ ඔබ ඔවුන්ගේ සිනහවට ලක් වීම පමණයි. ඔබේ මිතුරන් පිළිබඳ සැමියාගේ ඇතැම් අදහස් ඔවුනට පැවසීම ඔවුන් ඔහුට අකැමැති වීමට හේතුවක් වේ. එමෙන්ම මේ දේවල් ඔවුනට පැවසීමෙන් ඔවුන් ඔබ අතරට පැමිණ ගැටලු විසදීමට උත්සහ දරයි. එයින් ඔබගේ ප්‍රශ්නය තවත් වැඩි වේ. ඔබේ ඥාතියකු හෝ මිතුරකු පිළිබඳ සැමියා වැරැදි අදහසක් දරන්නේ නම් ඔහු සමඟ කතා කොට නිවැරැදි කරන්න. එවිට ඔබේ සැමියාත් ඔබේ යහළුවන් ඇතුළු සියලු දෙනාගේ ආදරයට පත් වන පුද්ගලයකු වේවි.

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ