තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූලි 10, සඳුදා 13:25

එල්ලා වැටෙන උදරයට දැන් විසඳුමක් ඇත

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
උදරය මහත්වීම, නෙරා ඒම, එල්ලා වැටීම හේතු කොටගෙන සිරුරේ හැඩය අවලස්සන වීම කාන්තාවන්ට මහත් ගැටලුවක්. බඩ අඩු කරගන්නේ කොහොමද? අද මෙම ප්‍රශ්නය කාන්තාවන් අතර බහුලවීම සහ කෙසේ හෝ බඩ අඩු කරගෙන ඇඟ හැඩකර ගැනීමේ අවශ්‍යතාවය නිසා එම ප්‍රතිකර්මයන් පසුපස යාමට පෙලඹී සිටින කාන්තාවන් ද බොහෝයි.

 

ඇතැම් අය මෙය තම මඩිය තරකර ගැනීමේ හොඳම මාර්ගයක් බවට පත්කරගෙන තිබෙන බව ද අමුතුවෙන් කිවයුතු නොවේ. මේවනවිට වෙළෙඳපොළේ බඩ අඩුකර ඇඟ හැඩ කරන බව සඳහන් නිෂ්පාදනයන් ද දිනෙන් දින වැඩිවෙමින් පවතී.

සැබැවින්ම ඒ ආකාරයෙන් පවසන ඖෂධ හෝ ආලේපන මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනවාද? එසේත් නැත්නම් සිදුවන්නේ කාන්තාවන් මුලා කිරීමක් පමණක්ද?

ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික දිසානායක මහතායි.

උදරය ඉදිරියට නෙරා ඒම, මහත් වීම හෝ එල්ලා වැටීම වැනි තත්ත්වයන්ට පත් වූ පසු කළ යුත්තේ එයට හේතුව සොයා බලා සාර්ථක විසඳුම් කර යාමයි. එක් එක් අයට මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපා ඇති හේතූන් විවිධාකාර විය හැකියි.

මේ හේතූන් නොදැන සුදුසු යැයි අනුමත කළ නොහැකි මේ සඳහා ඇති යම් යම් ඖෂධ හෝ අලේපන භාවිත කිරීමට යාමෙන් නැති ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙන බව කිව යුතුයි. මෙවන් දේ බොහෝ විට ප්‍රතිඵල රහිත තත්ත්වයේ පවතින ඒවායි. එම නිසා කාන්තාවන් මේ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්.

උදරයේ අනවශ්‍ය තෙල් ඉවත්කරන ඉන්ජෙක්ෂන් එකක් කෙරෙහි දැන් කාන්තාවන් නැඹුරු වී සිටිනවා නේද? මෙය ඒ සඳහා සාර්ථක විසඳුමක් ද?

කොහෙත්ම නෑ. මෙය ඉතාමත් නරක ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් බව පැවසිය යුතුයි. මේ නිසා උදරයේ තැන් තැන්වල වළවල් ආකාරයෙන් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම එය වකුගඩු සහ අක්මාවට අහිතකර බලපෑම් ගෙන දිය හැකියි. උදරයේ තෙල් දියවීමට කියා ඉන්ජෙක්ෂන් ගැසීම නිසා ආසාදන තත්ත්වයන්ට මුහුණ පා සිටින අය මෙන්ම එම නිසා හානිකර අත්දැකීම් ලත් අයත් අපට හමු වී ඇති අවස්ථා බොහොමයි.

කාන්තාවන්ගේ බඩ ඉදිරියට නෙරා එම සහ එල්ලා වැටීම අද බහුලව දැකිය හැකි තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මෙයට හේතුව කුමක්ද?

ප්‍රධානම දේ තමයි පාලනයකින් තොරව උදරයේ නෙරා ඒමට සහ එල්ලා වැටීමට හේතුවන ආකාරයේ තෙල් අධික ආහාර ගැනීම. අනෙක් කරුණ අද කාන්තාවන් ව්‍යායාම කිරීමට දක්වන මැළි බව. තවත් කරුණක් වන්නේ හෝමෝනවල වෙනස්කම් නිසා ඇතිවන බලපෑමයි. මෙහිදී උදරය නෙරා ඒම සහ එල්ලා වැටීම කියන්නේ එක් තත්ත්වයක් නොවෙයි. මෙය ආකාර දෙකක් වශයෙන් දක්වන්නට පුළුවන්. දරුවන් ලැබුණු පසු උදරයේ මාංස පේශීන් ඈත්වීම ලිහිිල් වීම නිසා උදරයේ එල්ලා වැටීමක් සිදුවන්නට පුළුවන්. මෙහිදී වෛද්‍ය උපදෙස් මත ව්‍යායාමවල නියැළීම, බඩ වෙළීම ආදිය නිසා එම තත්ත්වය වළක්වා ගන්නට හැකියාව තිබෙනවා.

ඒ ආකාරයෙන් උදරය නෙරා ඒම, එල්ල වැටීම වළක්වා ගත නොහැකි නම් සිරුරේ හැඩය පවත්වා ගත හැකි වෙනත් ක්‍රමයක් තිබෙනවාද?

ඔව්, මේ සඳහා දැන් ඉතාමත් සාර්ථක අයුරින් ආරක්ෂාකාරී ලෙස සිදු කරන නවීන වෛද්‍ය ප්‍රතිකර්ම තිබෙනවා. Tummy Tuck වශයෙන් හඳුන්වන්නේ ඉන් එක් ක්‍රමයක්. උදරයේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය ඉවත් කරන Liposuction සහ Abdominoplasty  තවත් ක්‍රම කීපයක්. දරුවන් ලැබුණු පසු ඇතිවන උදරයේ එල්ලා වැටීම වළක්වාලීමට Tummy Tuck යොදා ගන්නා අවස්්ථා බහුලයි.

උදරය නෙරා ඒමත් සහ එල්ලා වැටීමත් ඇති කාන්තාවන් මේ අතරින් වඩාත් සුදුසු ක්‍රමය කුමක් ද යන්න තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයායි. ඒ හැරෙන්නට ප්ලාස්ටික් සැත්කමක් මඟින් උදරයේ නෙරා ඒම සහ සමෙහි එල්ලා වැටුණු කොටස ඉවත්කර සිරුරේ හැඩය නැවත ලබාදෙන ආකාරයෙන් සකස් කිරීමක් කරනු ලබනවා. මෙය සිදු කෙරෙන්නේ ඉතාමත් ආරක්ෂාකාරී ආකාරයටයි. කිසිදු ලෙසකින් මෙහි හානිකර බවක් නැත. අනවශ්‍ය ආකාරයෙන් උදරයේ තෙල් තැන්පත් වීම නිසා එහි නෙරා ඒමක් සිදුවන බව දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය සහ නිසි ව්‍යායාම අනුගමනය කරන්න. මේ සඳහා ඖෂධ ගන්නේ නම් එය වෛද්‍යවරයාගේ අනුමැතිය මත පමණක් ගැනීමට සැලකිලිමත් වීම වැදගත්. මේ සඳහා හිතුමතේ ගනු ලබන ඖෂධ නිසා යම් යම් හානිකර බලපෑම් ඇති විය හැකියි.

උදරයේ මහත්වීමට සහ නෙරා ඒමට ඒ ආකාරයෙන් ප්‍රතිකර්ම යෙදිය හැකි වුවත් උදරයේ එල්ලා වැටීම එසේ වළක්වාලීම හෝ යථා තත්ත්වයට පත් කිරීමක් කළ නොහැකිය. එයට විසඳුම නම් එල්ලා වැටුණු සම ප්ලාස්ටික් සැත්කමක් මඟින් ඉවත්කර උදරය යථා තත්ත්වයට පත්කර එහි මාංස පේශීින් ශක්තිමත් කිරීමයි.

 

උපදෙස් - ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය

විශේෂඥ ධම්මික දිසානායක

Santa dora hospital

බත්තරමුල්ල

509 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 10, සඳුදා 13:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න