තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූලි 13, බ්‍රහස්පතින්දා 11:33

රස වෑහෙන පෝෂණීය කෑම බීම විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
රස පිරුණු බත් වර්ග සුප් සහ බීම වර්ග සමඟ අතුරුපස     අප මෙලොව උපන්නේ කන්නට බොන්නට පමණක්ම නො වන බව සැබෑවකි. නමුදු ජීවත් වීමටත්, එදිනෙදා දහසකුත් එකක් කටයුතු ඉටුකර ගන්නටත් අප නිරෝගී විය යුතුය. ජව සම්පන්න විය යුතුය. එහෙයින්ම කෑම සහ බීම අපේ දිවියේ ප්‍රධාන අංගයකි.

 

කනවා, බොනවා කියා හැමදාමත් එකම දේ කන්නට ද බැරිය. එසේ වුවහොත් කෑම නීරස වී ආහාර රුචිය බිඳ වැටේ. මේ හේතුව නිසාම අපේ සෞඛ්‍ය සම්පන්න බව වියැකී යා හැකියි. එහෙත් එය එසේ නො වන්නට කටට රසට කෑමට රුචි වඩන ලෙස පෝෂණ ගුණාංග සපිරිව කෑමබීම සකසා ගන්නා දැනුමෙන් ඔබව පොහොසත් ළඳක් කරන්නට ‘තරුණී’ නිරතුරු සූදානම්. පිටු දාසයක් පුරාවට දිගහැරෙන ‘රස’ ඒ වෙනුවෙන් ඔබට පිදෙනා අනගි තිළිණයයි.

දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට කදිම, පෝෂණ ගුණය පිරුණු පහසුවෙන් සකසාගත හැකි උදෑසන ආහාර, රස පිරුණු සුප්, උදෑසනට, දහවලට මෙන්ම රාත්‍රියට ගැළපෙන රස පිරුණු වෙජිටේරියන් බත් වර්ග, නිදහසේ රස විඳින්නට රසැති පාන සහ අතුරුපස ආදී සූපවේදයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් කරන රස ගුණ සපිරි කෑම, බීම වෙනුවෙන් මෙවර අතිරේකය වෙන් වේ. මෙහි දැක්වෙන බොහොමයක් කෑම දූ දරුවන්ට පාසල් දිවා ආහාරය ලෙසින් ගෙනයන්නට ද කදිමයි. එපමණක් නොව රැකියාවක නියුතු ඔබේ උදෑසන හා දිවා ආහාරය සඳහාත් මේවා ගැළපේ. එසේ නම් ‘රස’ ළඟ තබාගෙන මේ කෑම බීම සකසා පවුලේ අයත් සමඟ සිරි සේ රස විඳින්න.

 උදෑසනට පෝෂණීය ආහාර

 ශක්තිය වඩන කඩල පිටි රොටි

 ප්‍රෝටීන්, පිෂ්ටය, කෙඳි ආදී පෝෂක රැසක් අඩංගු කඩල උදෑසන ආහාරයට වඩාත් සුදුසුයි. ඒත් ඉතිං හැමදාමත් නිකම්ම කඩල තම්බලා කන්නත් බැහැනේ. ඒ හින්දා රස වෙනසකට වගේම පෝෂණීය වෙනසකටත් එක්ක කඩල රොටි සකසා ගත්තොත් නරකද? ඇඟට ශක්තිය දෙන කඩල රොටි මේ විදිහට හදමු.

 අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි කෝප්ප 1 ක්

පාන් පිටි කෝප්ප 1 ක්

රතුලූනු ග්‍රෑම් 70 ක්

අමු මිරිස් කරල් 2 ක්

ළපටි ගෝවා කොළ 1 ක්

රතු බෙල්පෙපර් කොටසක්

කැමැති වර්ගයකින් තෙල්

මේස හැඳි 2 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

එස අනුව ලුණු

අවශ්‍ය පමණ වතුර

 සාදන ක්‍රමය

ලූනු, අමු මිරිස්, ගෝවා සහ බෙල්පෙපර් සෝදා සිහින්ව කපාගන්න. එය බඳුනකට දමා වතුර හා ලුණු හැර අනෙක් ද්‍රව්‍ය ද එයටම දමන්න. රස අනුව ලුණු එකතු කරන්න. වතුර ටික ටික එක්කරමින් මිශ්‍රණය කලවම් කරමින් අනාගන්න. අතේ නො ඇලෙන පදමට එනතෙක් අනා පසුව කොටස් වෙන්කර බෝල සාදා ගන්න. සාදාගත් බෝල තුනීකර තෙල් ගා ගත් තැටියක් මත තබා දෙපැත්ත පුලුස්සා ගන්න.


 පැණි සමඟ කන්න කෙසෙල් පෑන් කේක්

විටමින් සපිරි කෙසෙල් ලොකු කුඩා වුරුත් කැමැති පලතුරක්. නිකම්ම පලතුරක් විදිහට කන කෙසෙල් වෙනස් ආකාරවලටත් රස බලන්න පුළුවනි. දරුවන් ආශාකරන විදිහට කෙසෙල් පෑන් කේක් අපි මෙහෙම හදමු.

  

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු කෙසෙල් ගෙඩි 1 ක්

(ගෙඩි පොඩි නම් 2 ක් ගන්න)

බිත්තර 1 ක්

පාන් පිටි කෝප්ප 1 ක්

රුලං කෝප්ප 1/2 ක්

බටර් ග්‍රෑම් 50 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2 ක්

සීනි මේස හැඳි 2 ක්

කිරි කෝප්ප 1/2 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

 සාදන ක්‍රමය

කෙසෙල් බඳුනකට දමා ගෑරුප්පුවකින් පොඩිකර ගන්න. බිත්තරය ගසාගන්න. පිටි, රුලං, කුරුඳු කුඩු, සාදික්කා කුඩු, බේකිං පවුඩර් එකට එකතු කරන්න. දැන් පොඩිකරගත් කෙසෙල්, සාදාගත් පිටි මිශ්‍රණය, ගසාගත් බිත්තරය, බටර් සහ කිරි එකතුකර කලවම් කරගන්න. ඔබ ගන්නා කෙසෙල් ප්‍රමාණය අනුව කිරි ප්‍රමාණය අඩු වැඩි කරගත හැකියි. පෑන් කේක් මිශ්‍රණයේ ඝනකම අනුව කිරි අවශ්‍ය යැයි හැඟේ නම් තව එකතු කරන්න. නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා ඒ මතට සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් වත්කරන්න. එය රවුම් ආකාරයට විහිදුවා ගන්න. දෙපැත්ත රන්වන් පාට වනතුරු පුලුස්සා පිටතට ගන්න.

එලෙස මිශ්‍රණය නිමාවන තෙක් පෑන් කේක් සකසා ගන්න. සෑදූ උණු උණු පෑන් කේක් පැණි සහ කෙසෙල් පෙති සමඟින් පිළිගන්වන්න.


  ක්‍රීම් චීස් මිශ්‍ර රුලං පෑන් කේක්

පොඩිත්තන්ට  කෑම කවා ගන්න එක අම්මලාට යුද්ධයක් වගේනේ.

ඒත් ආදරණීය අම්මා වූ ඔබට විවිධත්වයක් ඇතුව

පෝෂණයත් සහිතව කෑම හදන්න පුළුවන් නම් පුංචි දරුවෝ ආශාවෙන් කෑම කාවි. පෝෂණ ගුණය පිරුණු මේ රුලං පෑන් කේක් එකක් පුංචි දරුවෝ බොහොම ආශාවෙන් රස විඳීවි.

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කොප්ප 1 1/2 ක්

ක්‍රීම් චීස් මේස හැඳි 2 ක්

සීනි මේස හැඳි 2 ක්

බිත්තර 1 ක්

කිරි කෝප්ප 1 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

 

සාදන ක්‍රමය

රුලං, සීනි, බේකිං පවුඩර්, ක්‍රීම් චීස්, බිත්තරය කඩා එකට දමා හොඳින් කලවම් කරගන්න.

එයට කිරි ටික ටික එකතු කරමින් පෑන් කේක් බැටර් එක සාදාගන්න. නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා පෑන් කේක් මිශ්‍රණයෙන් ටික ටික වත්කර අඩු ගින්දරේ පෑන් කේක් සාදාගන්න.

මෙය ස්ට්‍රෝබෙරි සෝස්, චොකලට් සෝස් හෝ පලතුරු සමඟින් දරුවන් කැමැති විදිහට පිළිගන්වන්න.

ස්ට්‍රෝබෙරි සෝස් හදමු

ස්ට්‍රෝබෙරි ගෙඩි 5 ක් පමණ කුඩා කොටස්වලට කපාගන්න. එයට සීනි මේස හැඳි එකක් හා වතුර අඬු කෝප්ප කාලක් ද එකතුකර උණුකරගන්න. ඉන්පසු ළිපෙන් පිටතට ගෙන නිවෙන්ටන තබා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

මෙය පිළිගැන්වීමට ඔබට තිබෙන පලතුරු භාවිත කරන්න. එමෙන්ම පෑන් කේක් සෑදීමට ක්‍රීම් චීස් අවශ්‍යම නොවේ.


 කිරි රසයට කන්න බඩ ඉරිඟු තෝසෙ

 තම්බපු බඩ ඉරිඟුවල රස මතක් කරන කොටත් කටට කෙළ උනනවා නේද? සමට සහ ඇස්වලට හිතකර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් බඩ ඉරිඟු යොදා තෝසෙ වැනි රසවත් කෑමක් සාදාගන්නා ආකාරයයි මේ.

හැබැයි මේ සඳහා යොදා ගන්නේ බඩ ඉරිඟු පිටියි.

 අවශ්‍ය ද්‍රව්‍ය

බඩ ඉරිඟු පිටි කෝප්ප 1 ක් (කෝන් පිටි)

පාන් පිටි කෝප්ප 1 ක්

බිත්තර 1 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

අමු මිරිස් කරල් දෙකක්

බෙල්පෙපර් 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

 රස අනුව ලුණු

කිරි කෝප්ප 1 ක් (ෆ්‍රෙෂ් මිල්ක්)

 සාදන ක්‍රමය

ලූනු, අමු මිරිස් සහ බෙල්පෙපර් සිහින්ව කපාගන්න. එය බඳුනකට දමන්න. පිටි, කෝන් පිටි (බඩ ඉරිඟු පිටි), ලුණු, ගම්මිරිස් කුඩු සහ බිත්තර කඩා දමා කලවම් කරගන්න. එම මිශ්‍රණයට කිරි ටික ටික එකතුකර හොඳින් කලවම් කරගන්න. මෙහි පෙනුම තෝසෙ මිශ්‍රණයේ පෙනුමට සමානයි. ඝනකමත් නැහැ. තුනීත් නැහැ.

දැන් නොන්ස්ටික් පෑන් එකක් හෝ තැටියක් ළිප තබා රත්කර තෙල් ගා ඒ මතට තෝසෙ මිශ්‍රණයෙන් හැන්දක් වත්කරන්න. එය රවුමට විහිදුවන්න. ගින්දර වැඩිකර යන්තම් රන්වන් පැහැවනතුරු දෙපැත්ත මාරුකර පුලුස්සා ගන්න.


  පාන් සමඟ කන්න තම්බපු අල සලාදයක්

 විටමින් සපිරි අර්තාපල් කෑම වේලට හොඳම පෝෂක හිතවතෙක්. විවිධ රසට විවිධ ක්‍රමයට අර්තාපල්වලින් රසවත් කෑම හදන්නත් පුළුවන්. අල සලාදය ඒ කෑම අතරින් හරිම සුවිශේෂීයි. උදෑසනට පාන් කන අය වැඩියිනේ.

එහෙම පාන් තෝරාගන්නා අයට පෝෂණ ගුණය වැඩිකරගන්න අර්තාපල් සලාද සමඟ පාන් කන්න පුළුවන්. පොඩිත්තන්ට මේ සලාදය බොහොම රසවත් කෑමත් වේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු අර්තාපල් ගෙඩි 2 ක්

බිත්තර 3 ක්

පොඩි තක්කාලි ගෙඩි 1 ක්

සලාද කොළ දෙකක්

සාමාන්‍ය ප්‍රමාණයේ ලූනු ගෙඩි 1 ක්

ලූනු ගස් කිහිපයක්

මෙයෝනෙස් සෝස් මේස හැඳි 3 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

තියෙනවා නම් විතරක් ඔලිව් ගෙඩි කිහිපයක්

 සාදන ක්‍රමය

අර්තාපල් තම්බා පොතුහැර පොඩිකරගන්න. බිත්තර තම්බා පොතු හැරගන්න. සැරසීමට පෙති දෙක තුනක් කපා ගෙන වෙනම තබන්න. ඉතිරි බිත්තර පොඩි කොටස්වලට කපාගන්න.

ලූනු, ලූනු ගස්, සලාද කොළ. කළු ඔලිව් ගෙඩි පොඩි කොටස්වලට කපාගන්න. දැන් මෙම සියලුම ද්‍රව්‍ය බඳුනකට දමා ලුණු, මෙයෝනෙස් සෝස්, ගම්මිරිස් කුඩු දමා හොඳින් කලවම්කර බිත්තර පෙති තබා සරසා පිළිගන්වන්න.


  බේකන් එකතුකර සෑදූ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ටෝස්ට්

 හැමදාමත් එකම විදිහට පාන් කන ඔබට තවත් පෝෂණීය වෙනසකි මේ.

බටර්, බිත්තර, කිරි, බේකන් මෙන්ම බෙල් පෙපර්, ලූනු කොළ ආදී පෝෂණ ගුණයෙන් සපිරි ද්‍රව්‍ය එක්කර සාදාගන්නා මේ ෆ්‍රෙන්ච් බේකන් ටෝස්ට් උදෑසන ආහාර වේලට නැවුම් වෙනසක් ගෙන දේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

බේකන් ග්‍රෑම් 150 ක් (කුඩා

කොටස්වලට කපාගත්)

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

ලූනු කොළ ස්වල්පයක්

බෙල් පෙපර් කොටසක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

කුඩා ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් 2 ක් (ඔබට ඇති පාන් වර්ගයක් ගන්න)

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

බටර් තේ හැඳි 1 ක්

 සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා තෙල් දමන්න. තෙල් රත්වීගෙන එන විට බේකන් කැබලි එකතුකර ටික වේලාවක් බැදගන්න. එයට ලියාගත් ලූනු, ලූනු කොළ, බෙල් පෙපර්, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස් එකතුකර ස්වල්ප වේලාවක් හැඳිගාමින් බැදගන්න. ළිප නිවා එය පසෙකින් තබන්න.

දැන් කිරි, බිත්තර, කුරුඳු කුඩු, ලුණු එක්කර හොඳින් ගසාගන්න. එයට කපාගත් පාන් කොටස් එකතුකරන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතු කරන්න. බටර් දියවීගෙන එන විට පොඟවාගත් පාන් පෙති ඒ මත අතුරන්න. එක් පැත්තක් රන්වන් පාට වීගෙන එන විට අනිත් පැත්ත හරවන්න. එම පැත්තත් රන්වන් පාට වූ විට පිටතට ගන්න. පිටතට ගත් පාන් පෙති පිඟානක් මත අතුරන්න. ඒ මත සාදාගත් බේකන් මිශ්‍රණය අතුරා පිළිගන්වන්න.

මෙහි බේකන් වෙනුවට කටු රහිත චිකන් කුඩා කොටස්වලට කපා එකතුකරගත හැකියි.


 රස ඉතිරෙන සේවරි ටෝස්ට්

 ප්‍රෝටීන් සපිරි කිරි, බිත්තර පුංචි දරුවන්ගේ ආහාර අතර වරදින්නේම නැහැ. මේ දේවල් එකතුකර පාන් රසවත් කරන්නත් පුළුවනි. රස ඉතිරෙන සේවරි ටෝස්ට් එවැනි කෑමකි. බලන්න. ඔබටත් මේ විදිහට සේවරි ටෝසට් සාදාගන්න පුළුවන් ද කියලා.

 අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

පාන් පෙති 4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

බටර් තේ හැඳි 1 ක්

ලූනු ගස්වල කොළ කිහිපයක්

රතු බෙල්පෙපර් කොටසක්

චීස් පවුඩර් මේස හැඳි 2 ක්

 සාදන ක්‍රමය

ලූනු කොළ සහ බෙල්පෙපර් සිහින්ව කපාගන්න. කිරි, බිත්තර, කුරුඳු කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු බඳුනකට දමා ගසාගන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතුකරන්න. බටර් දියවීගෙන එන විට සාදාගත් බිත්තර මිශ්‍රණයේ පාන් පෙති බහා පෑන් එක මත තබන්න. එම පාන්පෙත්තේ උඩ පැත්තට කපාගත් ලූනු කොළ, බෙල්පෙපර් දමා ඒ මත චිස් කුඩු අතුරන්න. පාන් පෙත්තේ යට පැත්ත රන්වන් පාට වීගෙන එන විට අනෙක් පැත්ත හරවන්න. චීස් දියවෙන නිසා අනෙක් පැත්ත හරවද්දී එළවළු වැටෙන්නේ නැහැ. ඒවා පාන් පෙති මත රැඳී පවතිනවා. මේ විදිහට හදන සේවරි ටෝස්ට්වලට දරුවන් කැමැති වෙනත් එළවළු එක්කර ගන්න පුළුවන්.


  පොඩිත්තෝ ආසම කරන ෆ්‍රෙන්ච් ටෝස්ට්

 පුංචි දරුවන් ටෝස්ට් වර්ග රස විඳින්න බොහොම කැමැතියි. රස පිරුණු පෝෂණ ගුණයත් සහිත ටෝස්ට් වර්ග අතර ෆ්‍රෙන්ච් ටෝස්ට් අංක එකට ඉන්නවා.

 එහෙමනම් පොඩිත්තන්ට රස කෑම හදන්න හිතන අම්මලාට මෙන්න මේ විදිහට රසම රස ෆ්‍රෙන්ච් ටෝස්ට් සාදාගන්න පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 2 ක්

කිරි කෝප්ප 1 ක්

පාන් පෙති 4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

රස අනුව ලුණු

බටර් තේ හැඳි 1 ක්

 සාදන ක්‍රමය

කිරි, බිත්තර, කුරුඳු කුඩු, ලුණු එකතුකර ගසාගන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතුකරන්න. බටර් රත්වීගෙන එන විට පාන් පෙති සාදාගත් බිත්තර මිශ්‍රණයේ බහා පෑන් එක මත තබන්න. එක් පැත්තක් රන්වන් පාට වී ගෙන එන විට අනෙක් පැත්ත හරවන්න. ඉන්පසු දරුවන් කැමැති විදිහට කුඩා කොටස්වලට කපා පිළිගන්වන්න.

මේ ටෝස්ට් කැබලි නිකම් කන්න පුළුවන්. ඒත් ඔබ කැමැති නම් පැණි, නුතෙල්ලා හෝ පලතුරු ක්‍රීම් චීස් සමඟ දරුවන්ට පිළිගන්වන්න.

  


පෝෂණය පිරුණු ස්ක්‍රම්බල් එග් සැලඩ්

සැලඩ් කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන කෑමක්. බිත්තරත් පෝෂණ ගබඩාවක්. එහෙම නම් එග් ස්ක්‍රම්බල් සැලඩ් කියන්නේ උදෑසනට ශක්තිජනක සැලඩ් එකක්.

බත්, පාන් ආදිය සමඟ රස විඳින්න මෙය කදිම එකතුවක් වේවි. තක්කාලි නිසා කෑම රුචියත් වඩවනවා. පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ගුණදායකයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4 ක්

සලාද කොළ 4 ක්

තක්කාලි ගෙඩි 1 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

ලෙමන් යුෂ තේ හැඳි 1/2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා ඔලිව් තෙල් දමා රත්කර ගන්න. එයට බිත්තරය කඩා දමන්න. බිත්තර තැම්බීගෙන එද්දී ගෑරුප්පුවකින් එහාට මෙහාට කරමින් කැබලිවලට කඩාගන්න. පසුව ළිපෙන් පිටතට ගන්න. සලාද කොළ, තක්කාලි, ලොකු ලූනු සිහින්ව ලියා බඳුනකට දමන්න. එයට ස්ක්‍රම්බල් කළ බිත්තර කැබලි, ලෙමන් යුෂ, ගම්මිරිස් කුඩු හා රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම්කර පිළිගන්වන්න.


 

 

සෙලෙනියම් පිරුණු හතු ඔම්ලට් හතු

බොහොම රසවත් කෑමක්. ඒ වගේම සෙලෙනියන් ඇතුළු ඛනිජ ලවණත් බොහොමයක් අඩංගුයි.

බොහෝ දෙනෙක් උෂ්ණ කෑමක් කියලා සැලකුවත් කටට රස දෙන සිරුරට ගුණ දෙන හතුවලට කැමැති පිරිස වැඩියි. ඒ අයට වෙනස්ම රසයකට හතු ඔම්ලට් මෙලෙස සාදා රස බලන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හතු ග්‍රෑම් 150 ක්

බිත්තර 3 ක්

ලූනු ගස් 1 ක් (ලූනු ගෙඩියත් සමඟ)

බෙල්පෙපර් කොටසක්

පාස්ලි හෝ කොත්තමල්ලි

කොළ කිහිපයක්

කිරි මේස හැඳි 2 ක්

චීස් පවුඩර් මේස හැඳි 2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

ලුණු රස අනුව

ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

බටර් තේ හැඳි 1 ක්

කෑලි මිරිස් තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

බිත්තර, කිරි, චීස් පවුඩර්, ලුණු, ගම්මිරිස් කුඩු එකට එකතුකර හොඳින් ගසාගන්න. හතු කුඩා කැබලිවලට කපාගන්න. ලූනු, ලූනු කොළ, බෙල් පෙපර් කුඩා කොටස්වලට කපාගන්න. දැන් පෑන් එකක් ළිප තබා ඔලිව් තෙල් එකතුකර හතු බැදගන්න. හතු බැදීගෙන එන විට ලූනු, ලූනු කොළ, බෙල්පෙපර්, කෑලි මිරිස් රස අනුව ලුණු එකතුකරගන්න.

ඔලිව් තෙලෙන් මේ සියල්ල තැම්බුණු පසු වෙනත් බඳුනකට අයින්කර ගන්න.

දැන් එම පෑන් එකටම බටර් ස්වල්පය එකතුකර රත්වීගෙන එද්දී කිරි, චීස්, බිත්තර මිශ්‍රණය එක්කරන්න. ටික වේලාවක් ගිය පසු සාදාගත් හතු මිශ්‍රණය ඒ මත අතුරන්න. දැන් පියනකින් වසා මඳ ගින්දරේ ඔම්ලට් එක සාදාගන්න.

ඉදිරිපත් කිරීම සහ ඡායාරූප

ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනි ගුරුසිංහ

729 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 13, බ්‍රහස්පතින්දා 11:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න