තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 01, අඟහරුවාදා 08:58

ගැහැනියකගේ ශක්තිය ඉවසීම සහ උපේක්ෂාවයි

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
නිරන්තරවම මඳ සිනහවක් රැඳි ඇගේ මුහුණේ කිසිම කිසිවිටෙක තරහවක් දිස් වූ බවක් නම් මට මතක නැත. දුටු තැන බෙල්ල ඇලකර සිනාසෙන ඕ පත්තර මහගෙදර ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනියයි.

 

පොඩ්ඩ බැරිවෙනකොට තරහ යන, අසාධාරණය ඉදිරියේ අවි අමෝරා නැගී සිටින අපේ ඇත්තන් අතර ඇය තම නිවුණු ශාන්තබව කෙලෙස රඳවා ගන්නේදැයි පුදුම සහගතය.

සැබැවින් ඈ ඉවසීම, උපේක්ෂාව, දරාගැනීම ජන්ම දායාදයක් ලෙස දෝත දරා උපදින්නට ඇත. නැතිනම් මේසා ජයග්‍රහණ ඇය ඉදිරියේ ලියැවෙන්නට පත්තර මහගෙදර දී නම් ඉඩක් ලැබෙන්නේ නැත.

සියවසකට එපිට ඉතිහාසයකට උරුමකම් කියන ජාතික සිංහල පුවත්පතක මුල් පුටුව එසේ මෙසේ තනතුරක් නොවේ. එය එතරම්ම ගරු ගාම්භීරය. එදා මාධ්‍ය ලෝකයේ විසූ පතාක යෝධයන් ජීවය දුන් දිනමිණ පුවත් පතේ කර්තෘ ධූරයට පත් ඕ මෙරට දිනපතා ජාතික සිංහල පුවත්පතක කර්තෘ පදවිය ලැබූ පළමු කාන්තාව වෙමින් වාර්තා පොතට එක් විය.

1977 වසරෙන් ඇරැඹි ලේක්හවුස් ආගමනය දිනමිණේ උප කර්තෘ, උප ප්‍රධාන උප කර්තෘ, සම කර්තෘ ලෙසින් පැමිණ 2015 වසරේ දී ප්‍රධාන කර්තෘ දක්වා ආ ගමන කිසිසේත්ම ලෙහෙසි පහසු නොවූවකි. මේ නිසාම ශ්‍රී ලංකා කාන්තා කළමනාකාරිත්ව ආයතනය ලාංකේය දිරිය කතුන් අගයමින් පිරිනමන ටොප් ෆිෆ්ටි රන් සම්මානයට මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් හිමිකම් කීවේ ඇයයි. සම්මානනීය වූ ඇය දිනමිණ ප්‍රධාන කර්තෘ මෙන්ම ලේක් හවුස් සියලු සිංහල ප්‍රකාශන ප්‍රධාන කර්තෘ ලෙස පැමිණි ගමන් මඟ පිළිබඳත් ඇගේ ජීවිතය පිළිබඳත් කෙරුණු කතාබහයි මේ.

ඔබේ ජීවන දර්ශනය මොනවගේද? ඔබ අනුගමනය කරන චරිතයක් තියෙනවද? පුංචි කාලෙ ඉඳලා මෙහෙම කෙනෙක් වෙනවා කියලා හිතුවාද?

මම කිසිම දවසක හිතුවෙ නැහැ මෙතැනට එයි කියලා. ඉස්කෝලෙ ගියා ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ පාස් වුණාම හිතුවා උසස් පෙළ කරන්න ඕනෙ කියලා. උසස් පෙළ සමත් වුණාට පස්සෙ හිතුවා විශ්වවිද්‍යාලයට යන්න ඕනෙ කියලා. අවුරුදු තුනක කැම්පස් ජීවිතේ දි හිතුවෙත් නැහැ කවුද වෙන්නෙ කියලා. මම කළේ මොකක්ද ඒ දේ හරියට කළා. උසස් අධ්‍යාපනය ඉවරවුණාට පස්සෙ මොන ක්ෂේත්‍රයකට යනවද කියලා හිතුවේ නැහැ. සුදුසුකම් මත නෙවෙයි ලැබෙන රැකියාවක් භාරගන්න තමයි හිතුවේ. ඒ භාරගත්ත රැකියාව 100% ක්ම උසස් අයුරින් ඉටුකළා. අන්න ඒ දර්ශනය තමයි මාව මෙතැනට රැගෙන ආවෙ.

ඒ හින්දා මම කිසිම කෙනෙක්ව අනුගමනය කළේ නැහැ. මටම ආවේණික වූ ක්‍රමයකට තමයි පියවරින් පියවර මේ ගමන ආවෙ. ලැබෙන හැමදේම සතුටින් භාරගත්තා. ඒක දුකක් වුණත් මං උපේක්ෂාවෙන්ම විඳගත්තා. කොහොමටත් මං සැර පරුෂ චරිතයක් නෙමෙයි. ඉවසීම කියන දේ පුංචි කාලෙ ඉඳලාම මගේ පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. මගේ අම්මා තාත්තාගෙන් වෙන්න ඇති ඒ පන්නරය මට ලැබුණේ.

අධ්‍යාපනය ලබන කාලෙ දි වුණත් විවිධ ප්‍රශ්න මතුවෙනවා. එතැනදීත් මගේ දර්ශනය වුණේ ඉවසීම. අපි හැමදේම ඉවසන්න ඕනෙ. ප්‍රශ්න ගැටලු පැන නැගුණාම ඒවාට අභියෝග කරගෙන ඉදිරියට යන්න ඕනෙ කියන තැන නෙමෙයි හිටියේ. ඉවසා හිඳීමෙන්ම දවසක වඩාත් හොඳම දේ ලැබෙයි කියලා හිතුවා.

මාධ්‍යවේදිනියක් කියන්නේ වෙලාවක් අවේලාවක් ගැන හිතන්න බැරි චරිතයක්. ඔබ බිරියක්, මවක්, ගෘහණියක්. විශේෂයෙන්ම කාන්තාවක්. මාධ්‍යවේදිනියක ලෙස මේ චරිතවලට ඔබේ දායකත්වය කොහොමද?

මට මගේ පවුලෙ අය විශේෂ සවියක් වුණා. මගේ සැමියාත් ලේක් හවුස් ආයතනයේමයි සේවය කළේ. ඒ හින්දා රාත්‍රියට යන්න තියෙන ගැටලුවලට ඔහුගෙන් ලැබුණු සහය අමිලයි. දරුවෝ පුංචි කාලෙ නිරන්තරවම ඒ අයත් සමඟ රැඳෙන්න බැරි වුණා. ඒත් අම්මා කෙනෙක් කියන චරිතය මං අමතක කළේ නැහැ. එයාලගෙ කෑමබීම, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනය ආදී හැමදෙයක් ගැනම සොයා බැලුවා. ඒත් ඇත්තටම ඔවුන් සමඟ රැඳුණු කාලය අඩුයි. ඒ පිළිබඳ පුංචි දුකක් නම් තාමත් මගේ හිතේ තියෙනවා. හැබැයි මගේ දරුවෝ මගේ රාජකාරිය ගැන වැටහීමකින් හිටියේ. සමහර දවස්වල මම උදේට ගෙදරින් එනකොටත් ඒ අය නිදි. රාත්‍රියට ගෙදරට යනකොටත් ඒ අය නිදි.

අද මගේ දුව එයාගෙ දරුවො සමඟ රැඳෙන කාලය දැක්කම මං මගේ දුව සමඟ රැඳුණු කාලය බොහොම අඩුයි කියලයි හිතෙන්නේ. ගෘහණියක් බිරියක් විදිහටත් මට හැකි උපරිමයෙන්ම මගේ කාර්යයන් ඉටුකළා. එහෙම නැත්නම් මේ තරම් දුරක් මාධ්‍ය වෘත්තියේ නියැළෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැනේ.

ඔබ දිනපතා ජාතික සිංහල පුවත්පතක ප්‍රථම කතුවරිය. මේ ගැන කොහොමද හිතෙන්නේ. මේ තනතුර ඔබට අභියෝගයක් නොවේද?

ඇත්තටම මට මං ගැන නිහතමානි අභිමානයක් දැනෙනවා. ඒත් ඒ අභිමානයෙන් හිස උදුම්මවාගත් චරිතයක් වෙන්න නම් මට කිසිම මොහොතක ඕනෙ වුණේ නැහැ. මං තාමත් එදා දිනමිණේ හිටියපුෂ්පා රොවෙල්ම තමයි.

තනතුර ගැන කියනවා නම් ඇත්තටම මේක අභියෝගයක්. පුරුෂාධිපත්‍ය තියෙන රටක ගැහැනියකට පත්තරයක් කරන්න පුළුවන් ද කියන මතයෙ ඉන්න පිරිස වැඩියි. කාලයක් පාඨක ආදරය නොඅඩුවම හිමිකරගෙන ඉඳලා කලකදී මහජනතාව වෙතින් දුරස් කළ පුවත්පතක් නැවත යථා තත්ත්වයට ගෙන ඒම සුළුපටු දෙයක් නෙමෙයි. එදා තිබුණෙ ජාතික පුවත්පත් දෙක තුනයි. අද හත අටකටත් වැඩියේ තියෙනවානේ. ඉතින් මේ තරගකාරී වෙළෙඳ ලෝකයේ පාඨකයාට සමීප වෙන එක බොහොම දුෂ්කර කටයුත්තක්. ඒත් දැන් දිනමිණ කියන්නෙ සමබර පුවත්පතක්. පාසල් යන දූ දරුවන්ට, රැකියා කරන, නොකරන අයට, ගෘහණියන්ට, සිනමා ආදී කලාවන්ගේ නිරතවන්නන්ට, ආචාර්ය මහාචාර්යවරුනට පවා කියවා දැනුමක් ලද හැකි විශ්ව කෝෂයක් වගේ පත්තරයක්.

මාධ්‍ය ජීවිතේ හැමදාමත් මං රැඳුණේ දිනමිණ එක්කයි. දිනමිණේ හැම විශේෂාංගයක් ගැනම හොඳ වැටහීමක් තියෙනවා. ඒ හින්දා මේ කර්තෘධූරය මට කොහෙත්ම අභියෝගයක් වුණේ නැහැ.

දිනමිණට ලැබෙන පාඨක ප්‍රතිචාර කොහොමද ?

ඇත්තෙන්ම කියන්න සතුටුයි අද මට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරමයි. සමහරු දුරකථන ඇමතුම් දෙනවා. ලිපි එවන අයත් ඉන්නවා. පසුගිය දිනවල දිනමිණට ඇගැයුම් සම්මානත් ලැබුණා.

මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් පසුගියදා ඔබ රන් සම්මානයකට පාත්‍ර වුණා. සම්මානයක් ලැබීම වටිනාකමක් එකතු වීමක්ද? නැතිනම් වැඩකට නැති දෙයක්ද?

 

අපි හැමෝම ඇගැයුම් ලබන්න කැමැතියි. අවංකවම යම් සේවයක් වෙලා තියෙනවා නම් ඒකට ඇගැයීමක් ලැබුණම දැනෙන්නේ සතුටක්. ඒ හින්දා සම්මානය ලැබීම සතුටක්. ඒක වැඩකට ඇති දෙයක්. ඒ මොකද තමන්ගේ සේවය ඇගැයෙන කොට ඒ සේවය තව තවත් හොඳට ඉටු කිරීමට ඒක අනුබලයක් සපයනවා. හරියටම කියනවා නම් අභිප්‍රේරණය වීමක් සිදුවෙනවා. හැබැයි ඉතිං මේක මේ මහා ලොකු අඬබෙර ගහලා ප්‍රසිද්ධ කරගන්න දෙයක් නෙමෙයි. මම උපේක්ෂාවෙන්ම ඒ සතුටත් භාරගත්තා.

ඔබ දැන් ආදරණීය ආච්චි අම්මා කෙනෙක්. කොහොමද මුණුබුරු මිනිබිරි බැඳීම?

දැන් මට මුණුපුරු මිණිබිරියෝ හත් දෙනෙක්ම ඉන්නවා. හැමවෙලේම ඒ අයත් සමඟ රැඳෙන්න බැරි වුණත් විවේකයක් ලැබෙන හැම මොහොතකම මම ඒ ආදරය විඳගන්නවා. ඇත්තෙන්ම මේ දරුවෝ එක්ක ඉන්නකොට ජීවිතේ මොනතරම් සැහැල්ලු ද සුන්දර ද? ඇත්තටම කිව්වොත් කාලෙ ගතවෙනවා දැනෙන්නෙවත් නැහැ. මම එයාලට ආදරය කරනවා වාගේම එයාලත් මට ආදරෙයි. මාධ්‍ය දිවියෙන් සමුගත් කාලෙකදී මගේ ජීවිතය මේ අය අතරෙම ගෙවිලා යයි.

නූතන තාක්ෂණයත් සමග පුවත්පත් තරුණ පරපුරෙන් ඈත්වෙලා යනවා. මේක ඉදිරියේදී පුවත්පත්වලට අභියෝගයක් නොවේවිද?

තාක්ෂණය මොනතරම් දියුණු වුණත් මුද්‍රිත මාධ්‍ය කියන්නේ ඕනෑම දෙයක් සුරැකිව රැකගෙන නැවත නැවත පහසුවෙන්ම බැලිය හැකි දෙයක්. එහෙම බැලුවාම මුද්‍රිත මාධ්‍යයේ වටිනාකම වැඩියි. තාක්ෂණයත් සමඟ දරුවන් යන බව ඇත්තයි. ඒත් වැඩිහිටියන් ලෙස අපි ඔවුන්ටත් ගැළපෙන ලෙස මුද්‍රිත මාධ්‍ය හසුරුවන්න ඕනෙ. එතකොට ඒ අයත් රැඳී ඉන්නවා. එහෙම නොවුණාම තමයි ඔවුන් පුවත්පත්වලින් ඈත්වෙන්නේ. තාක්ෂණයත් සමඟ එන අභියෝගවලට මුහුණ දෙන්නත් මාධ්‍ය හසුරුවන අය දැනගෙන ඉන්න ඕනෙ.ඒ වගේම අපේ වැඩිහිටියොත් දරුවන් කුඩාකාලෙදීම පත්තර අතට දීලා කියවන පුරුද්ද අතිකරන්න ඕනෙ. පුංචි කාලෙ ඉඳලා කියවන පුරුද්ද ඇතිකරගත්ත දරුවන් වෙතින් පුවත්පත් රැකෙනවා මිසක් ගිලිහී යන්නේ නැහැ.

මේ ආ දුරත් සමඟ දැන් ඔබ ජීවිතේ දිහා ආපසු හැරිලා බැලුවාම මොනවද හිතෙන්නේ? ඉටු නොවුණු දේ තියෙනවද? ඉටු කරගන්න හිතන දේ තියෙනවද?

ජීවිතයේ දිහා ආපසු හැරිලා බැලුවාම ආ ගමන ගැන අපරිමිත සතුටක් දැනෙනවා. මේ තරම් දුරක් ආ ගමන ගැන පුදුමත් හිතෙනවා. ඇත්තටම ඉවසීමත්, උපේක්ෂාවත් නොතිබෙන්නට මේ තරම් දුරක් එන්න බැහැ. ඒ හින්දා ගැහැනියක් සතුව ඉවසීම උපේක්ෂාව කියන දෙක තියෙන්නට ඕනෑම ලක්ෂණ විදිහටයි මම දකින්නේ. බිරියක් විදිහට මගේ පවුල් දිවිය 100% ක් සාර්ථකයි. මගේ දරුවෝ හොඳට හැදුණා. ඒ අයගේ ජීවිතත් සාර්ථකයි. අම්මා කෙනෙක් ලෙසත් දැනෙන්නේ අපමණ සතුටක්.

මාධ්‍ය ජීවිතයේ ඉහළම තනතුරක ඉන්නවා. ටිකෙන් ටික ආපු මේ ගමන මෙතැනට මාව රැගෙන ආවා. මේ මාධ්‍ය ජීවිතේ තවත් ඉටුකරගන්න දෙයක් නැහැ. එතැනදීත් මම 100% ක් සාර්ථකයි.ඉතින් දෙවියන් විසින් දුන් මේ ජීවිතේ අද මම හැම පැත්තෙන්ම සතුටුවන කාන්තාවක්. ඒ හින්දා මොහොතක් නැවතිලා ආපසු අතීතය මතක්කරගෙන යනකොට මිහිරි මතක වගේම අමිහිරි මතකත් තියෙනවා. ඒත් ඒ හැමදේම අද මට සතුටක් ගෙනදෙනවා. එහෙම බැලුවාම මම තවත් මොනවා ප්‍රාර්ථනා කරන්න ද? ප්‍රාර්ථනයක් නැතුවම මෙතැනට ආවා. අදත් හෙටත් එහෙමම ගෙවිලා යාවි. ඒ හින්දා ඉදිරිය ගැන නම් මට කියන්නට දෙයක් නැහැ. ලැබෙන හැමදේම උපේක්ෂාවෙන් විඳගන්නවා පමණයි.

පත්තර මහගෙදර ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදිනිය, මාධ්‍ය නංගිලාට මල්ලිලාට ලොකු අක්කා වූ පුෂ්පා සුලෝචනා රොවෙල් නම් වූ ඇයට තවත් චිරාත් කාලයක් මාධ්‍ය ලෝකයේ රැඳෙන්නට හැකිවේවායි අපි මෙලෙස ප්‍රාර්ථනා කරමු.

 

ඡායාරූප - රුවන් ද සිල්වා

1073 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 08:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න