තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 01, අඟහරුවාදා 14:31

හදන්න පහසු රසයෙන් ඉහළ පෝෂණීය කෑම

ලිව්වේ  වින්ධ්‍යා පාදුක්කගේ
අගයන්න
(0 මනාප)
කටට රසට දිව පිනායන ආහාරවල රස බලන්න අපි හැමෝම කැමැතියි. එවැනි රසවත්ව සකසාගත හැකි ආහාර වට්ටෝරු පෙළක් ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් සාදාගත හැකි ආකාරය අප ඔබට ඉදිරිපත් කරන්නේ ඒ නිසයි.

 

කවදත් කාබනික ආහාර නිෂ්පාදන ඉදිරිපත් කරන Ma’s food ආයතනයේ සූපවේදිනී සේරා ඩී. අල්විස් ඒ වෙනුවෙන්ම සූදානම් කළ මේ ආහාර වට්ටෝරු ඔබේ අතිනුත් සකසා බලන්න, ඒවා කෙතරම් රසවත් ද කියා.

  රස පිරුණු ග්‍රිල්ඩ් ඉරිඟු

අවශ්‍ය ද්‍රව්‍ය

ඉරිඟු කරල් 04 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

බටර් මේස හැඳි 02 ක්

තලාගත් සුදුලූනු තේ හැඳි 1/2 ක්

සූදුරු කුඩු තේ හැඳි 1/2 ක්

  සාදාගන්නා ආකාරය

ඉරිඟු හැර ඉහත සඳහන් සියලුම ද්‍රව්‍යයන් පිරිසුදු බෝල් එකකට දමා හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් ඉරිඟු හොඳින් ශුද්ධ කර ග්‍රිල් කරගතහැකි පරිදි සකස් කළ දැල මතින් තබන්න.

ඉරිඟු මෘදු වී පිසෙන තෙක් විනාඩි 30 ක් පමණ සාදාගත් මිශ්‍රණය ගාන අතරතුරදීම හොඳින් පුලුස්සා ගන්න. (ග්‍රිල් කර ගන්න)

-----------------------------------------------------------------------------

පෝෂණය පිරි ඉරිඟු සහ කව්පි සැලඩ්

 අවශ්‍ය ද්‍රව්‍ය

විනාකිරි තේ හැඳි 03 ක්

චිලි ගාලික් සෝස් තේ හැඳි 03 ක් (මෙය සුපිරි

වෙළෙඳසල්වලින් ඔබට මිලදී ගත හැකියි.)

මැංගො හොට් පොට් තේ හැඳි 02 ක් (මෙය ද සුපිරි වෙළෙඳසල්වලින් ඔබට මිලදී ගත හැකියි)

සූදුරු කුඩු තේ හැඳි 1/2 ක්

සෝදා වතුර ඉවත්කරගත් කව්පි ග්‍රෑම් 400 ක්

ග්‍රිල් කරගත් ලොකු ඉරි¼ගු කරල් 02 ක්

කොටු කපාගත් රතු බෙල් පෙපර් එකක්

කොටු කපාගත් තක්කාලි ගෙඩි 03 ක්

කොටු කපාගත් ලොකු ලූනු ගෙඩි 01 ක්

කපාගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්

පදමට ලුණු

 සාදාගන්නා ආකාරය

විනාකිරි, සෝස්, සූදුරු කුඩු සහ ලුණුු එකට මිශ්‍රකර පසෙකින් තබන්න.

එයටම කොත්තමල්ලි කොළ හැර අන් සියලුම ද්‍රව්‍යන් එක්කර හොඳින් කලවම් කරන්න.

දැන් පිරිසුදු වියළි බෝල් එකකට මෙය අලංකාරව අතුරා කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න .

-----------------------------------------------------------------------------

 වෙනස්ම ක්‍රමයකට ලෙමන් සහ කජු බත්

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් මේස හැන්දක්

සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්

තළාගත් සුදුලූනු තේ හැන්දක්

කහ කඩු තේ හැඳි 1/4 ක්

චිකන් ස්ටොක් තේ හැන්දක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

බාස්මතී හාල් ග්‍රෑම් 400 ක්

අවශ්‍ය ප්‍රමාණයට වතුර

රෝස්ට් කරගත් කජු ග්‍රෑම් 50 ක්

ලෙමන් ගෙඩි 02 ක යුෂ

 සාදාගන්නා ආකාරය

රයිස් කුකරයට බටර් දමා රත් කරගන්න. එයට ලූනු දමා රන්වන් පැහැ වන තෙක් තෙම්පරාදුකර ගන්න.

එයට සුදුලූනු, කහ, චිකන් ස්ටොක් සහ මිරිස් කුඩු එක්කර සුවඳ එනතෙක් තෙම්පරාදු කරගන්න.

දැන් සෝදා ගරාගත් හාල් මිශ්‍රකර අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කරන්න.

හාල් පිසුණු පසු ලෙමන් යුෂ සහ කජු හොඳින් මිශ්‍රකර පිළිගන්වන්න.

 

-----------------------------------------------------------------------------

ලීක්ස් මිශ්‍ර බිත්තර ෆ්‍රයිඩ් රයිස්

 අවශ්‍ය ද්‍රව්‍ය

පිසගත් සහල් කෝප්ප 03 ක්

බිත්තර 04 ක්

පෙති කපාගත් ලීක්ස් කෝප්ප 1/4 ක්

ලූනු මේස හැඳි 03 ක්

අමු මිරිස් කරල් 02 ක්

ගිතෙල් මේස හැඳි 01 ක්

පදමට ලුණු සහ ගම්මිරිස්

 

සාදාගන්නා ආකාරය

තාච්චියක් ළිප තබා එයට ගිතෙල් දමා රත් කරගන්න.

තෙල් රත්වන විට එයට ලූනු, ලීක්ස් සහ අමුමිරිස් දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

දැන් වෙනම දීසියක් ගෙන එයට බිත්තරය කඩාදමා ගම්මිරිස් ද එක්කර හොඳින් ගසාගන්න.

එය තෙම්පරාදුවට එක් කරන්න.

දැන් එයටම පිසගත් බත ද එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් මෙය බෝල් එකකට දමා උණුවෙන්ම පිළිගන්වන්න.

-----------------------------------------------------------------------------

රස වෑහෙන කැරට් සහ දොඩම්  මිශ්‍ර පිලව්

 අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල් මේස හැඳි 02 ක්

සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්

සිහින්ව කපාගත් කැරට් අලයක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2 ක්

බාස්මතී හාල් කෝප්පයක්

කුකුළු මස් තම්බාගත් වතුර තේ හැන්දක්

අවශ්‍ය ප්‍රමාණයට වතුර

සුල්තානා කෝප්ප කාලක්

ගාගත් දොඩම් පොතු තේ හැඳි 02 ක්

පොතු හැරගත් ආමන්ඩ් කෝප්ප කාලක්

රස අනුව ලුණු

 

සාදාගන්නා ආකාරය

රයිස් කුකරය හෝ තරමක් විශාල පෑන් එකකට තෙල් දමා රත්කර ගන්න.

එයට ලූනු, කැරට් සහ කුරුඳු කුඩු දමා විනාඩි 03 ක් පමණ තෙම්පරාදු කරගන්න.

එයටම සෝදා වතුර බේරාගත් සහල් ද, වතුර සමඟ මිශ්‍රකරගත් චිකන් ස්ටොක්, දොඩම් පොතු සහ සුල්තානා එක්කර විනාඩියක් පමණ පිසගන්න.

ඒ අතරතුරදී ආමන්ඩ් ටෝස්ට් කරගන්න.

පිසුණු බතට රස අනුව ලුණු හා ආමන්ඩ් එක්කර පිළිගන්වන්න.

-----------------------------------------------------------------------------

බිරියානි කන්න බීට්රූට් රයිතා

 අවශ්‍ය ද්‍රව්‍ය

බීට්රූට් ග්‍රෑම් 150 ක්

යෝගට් කෝප්පයක්

කඩුකරගත් සූදුරු තේ හැඳි 1/2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

මින්චි කොළ 4 ක්

රස අනුව ලුණු

 සාදාගන්නා ආකාරය

බීට්රූට් පොතු හැර තම්බාගන්න.

තම්බාගත් බීට්රූට් කුඩා කැබලිවලට කපාගන්න.

දැන් මෙයට මිරිස් කුඩු, සූදුරු කුඩු සහ යෝගට් දමා හොඳින් මිශ්‍රකර ගන්න.

සුදුසු භාජනයට දමා මිංචි කොළවලින් සරසා පිළිගන්වන්න.

 බිරියානි සමග මෙම බිට්රූට් රයිතා ඉතා රසවත්ය.

267 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 14:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න