තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:40

මවු කිරි දීමෙන් අනවශ්‍ය දරු උපත් 98% ක්ම වළකිනවා

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
අපේ දරුවට ගොන් කිරි නෙවෙයි දුන්නෙ” පිටි කිරි දීලා හදපු දරුවෙක් සමඟ තම දරුවා දබරකර ගත් විට අම්මා කෙනෙක් කිව්වෙ හරිම ආඩම්බරයකින්. කිසිම දරුවකු සමච්චලයට ලක් කිරිම හොඳ නැතත් මවු කිරි දිම නම් අම්මා කෙනකුට හැබෑවටම ආඩම්බර විය හැකි කරුණක්.

 

නව මසක් කුසේ දරා ගෙන සිටි දරුවාට මවු දෙතනේ එරෙන කිරි නොමැතිව වෙනත් ක්ෂිරපායී සතකුගේ කිරිදීම මවකට හැබෑවටම ලැජ්ජාවෙන් බිම බලා ගැනීමට හේතුවන කාරණයක්. ලෝකයේ කලියුග කාලයේ සිදුවන සිදුවීමකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක කිසිම ක්ෂීරපායි සත්ත්ව මවක් තම පැටියාට වෙනත් සතකුගේ කිරි දෙන්නේ නැහැ. ඒ අඹ ගහේ පොල් ගෙඩි සෑදෙන්නේ නැහැ වාගේ තම පැටියාට වෙනත් සතකුගේ කිරි ගැළපෙන්නේ නැහැ. ගස් ගල් පෙරලන්න තරම් ශක්තියක්, සීගිරිය වැනි නිර්මාණ කිරීමට නුවණක් පැරැණි ශ්‍රී ලාංකිකයන්ට ලැබුණේ මස හයක්, අවුරුද්දක්, දෙකක් නොව ඇතැම් විට අවුරුදු හත, අටක්ම මවු කිරි පානය කළ නිසයි.

මවු කිරි නිසා සිඟිත්තාට ඉපදී මුල් මාස තුනේ සියයට සියයක්ම ශක්තිය ලැබෙනවා. දෙවැනි මාස තුනේ අවශ්‍ය ශක්තියෙන් සියයට පනහක් ලැබෙනවා. දරුවා දෙවැනි උපන් දිනය සමරද්දීත් මවු කිරිවලින් සැලකිය යුතු තරම් හොඳ ශක්තියක් ලැබෙනවා. පර්යේෂණවලින් සොයා ගෙන ඇති අන්දමට දරුවාට දෙවැනි අවුරුද්දේ දී මවුකිරිවලින් ලැබෙන ශක්තිය සියයට තිස්තුනක් තරම් විශාල ප්‍රතිශතයක්.

මෙතරම් බලයක් දරුවාට ලැබෙන්නේ කිසිදු නිෂ්පාදනයකින් ලබාගත නොහැකි පෝෂණ ගබඩාවක් මවුකිරිවල තියෙන නිසයි. ලෝකයේ වෙනත් කිසිදු පානයක ජීව සංඝටක අඩංගු නැහැ. මවුකිරිවල එන්සයිම, සුදු රුධිරාණු, ඇමයිනෝ අම්ල යන සියල්ල අඩංගුයි. මේද, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් ඒ, සී, ඩී, බී-12, මැග්නීසියම්, පොටෑසියම්, ප්‍රෝටීන්, සීනි, ජලය, ලවණ, මේදය, කොලෙස්ටරෝල් මිනිස් දරුවකුට අවශ්‍ය තරමින් අඩුත් නැතිව වැඩිත් නැතිව අඩංගුයි.

ක්ෂීරපායි වුවත් සත්ත්ව වර්ගයා අනුව කිරිවල සංයුතිය වෙනස් වෙනවා. සීල් මත්ස්‍ය මවකගෙන් සීල් පැටියෙක් කිරි බොන්නේ දින හතරකට වරකි. සීල් බබාලා රවුම් තෙල් ගොඩක් බව සීල් මත්ස්‍ය පැටවුන් දැක ඇති කෙනකුට අමුතුවෙන් කිවයුතු නැහැ. සීල් මවගේ කිරිවල තෙල් අධිකව ඇත්තේ දරුවා මහත්වීමට අවශ්‍ය නිසයි. අපේ මිනිස් පැටවකුට සීල් කිරි දුන්නොත් තරබාරුවීමත් වළකනු බැහැ.

වසු පැටියා ඉපදුණු ගමන් නැඟිටිනවා. ඉක්මනින්ම වැඩෙනවා. ඒත් මිනිස් දරුවකුට ඇවිදින්න වසරක්වත් ගත වෙනවා.

වසු පැටියා සීඝ්‍රයෙන් වැඩෙන නිසා එළදෙනගේ කිරිවල අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුයි. මවුකිරි කෝප්පයක ප්‍රෝටීන ග්‍රෑම් 2.5 ක් අඩංගුයි. එහෙත් එළකිරි කෝප්පයක ප්‍රෝටීන ග්‍රෑම් 8 ක් අඩංගුයි. දරුවාගේ වකුගඩුවලට මේ ප්‍රෝටීන් ප්‍රමාණය දැරීමට නොහැකියි. එලෙසම හරකාගේ මොළය එතරම් හොඳින් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මොළය වැඩීමට අවශ්‍ය පෝෂක එළකිරිවල ඇත්තේ ඉතා අඩුවෙන්. දරුවාගේ ඉගෙනීමේ හැකියාව වැඩිකරන පෝෂක ඇත්තේ මවුකිරිවලම පමණයි. පළමු දින දහසේදී මොළය සීඝ්‍රයෙන් වැඩෙනවා. ඒ නිසා මොළය වැඩෙන සංයෝග ගන්නා ආහාරපානවල අඩංගු විය යුතුයි. නොමිලයේම මොළය වඩන පෝෂක ලබා ගැනීමට ඇති හොඳම හා එකම මාර්ගය මවුකිරියි.

දරුවකු ශිෂ්‍යත්වය අසමත්විම, සා. පෙළ, උසස් පෙළ කඩඉම් ජය නොගැනීමට හේතුව අන් කිසිවක් නොව කුඩා වියේදී අඩුම වශයෙන් වසරක් පුරාවත් මවුකිරි නොලැබීම බව පර්යේෂකයන් නොබියව පවසනවා.

එළකිරි දීමෙන් වැඩි වන්නේ දරුවාගේ ඉගෙනුම් හැකියාව නොවෙයි. බර වැඩ කිරීමට ඇති හැකියාවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුගත කිරිම්වලට අනුව වසරකට ළදරුවන් මිලියන 1.5 ක් අකාලයේ මිය යන්නේ මවුකිරි නොලැබීම නිසයි. මවුකිරිවලින් දරුවාගේ අන්ත්‍ර නිරෝගීව තැබීමට අවශ්‍ය බැක්ටීරියා බඩවැල්වල වර්ධනය වෙනවා. ඒ නිසා ඩයරියා, පාචනය තත්ත්වයන්ට දරුවා ගොදුරු වන්නේ අඩුවෙන්. පිටිකිරිවලින් එක්වන්නේ අහිතකර උදරාබාධ වැඩි කරන බැක්ටීරියා. ඒ නිසා උදරාබාධ ද වැඩියි.

ඇදුම, පීනස, ස්වසන රෝග, අසාත්මිකතාවල තත්ත්වයත් එසේමයි. පිටිකිරි පානය කළ දරුවා සදාකාලිකවම රෝගියෙක්.

මවුකිරි දීමෙන් පළමු වසර දෙකේදී දරුවාගේ ශ්වසන ආබාධ සියයට හැත්තෑ දෙකකින් ද, පාචනය වැනි උදරාබාධ සියයට හැට හතරකින් ද කන් කැක්කුම වැනි ආබාධ සියයට පනහකින් ද අඩුකරගත හැකියි. එපමණක් නොව ළමා වියේදී වැලඳෙන පිළිකා ද මවුකිරි බොන දරුවන්ට අඩුයි. කිරි ඉරීමේ ක්‍රියාවලියේදී දරුවාගේ හනු හොඳින් ක්‍රියාකාරී වී නිරෝගීව වර්ධනය වෙයි. ලස්සන දත් දෙපළකට හිමිකම් කීමටත් මේ අයට පුළුවන්.

මන්දපෝෂණයට වගේම ස්ථුලතාවටත් මවුකිරි විසඳුමක්. මවුකිරි පානයෙන් ස්ථුලතාව සියයට විසි හයකින් අඩු වෙනවා. දැවැන්ත ගැටලුවක් වී තිබෙන ළමා වියේ දියවැඩියා අවදානම සියයට තිස් නවයකින් අඩුකර ගැනීමට මවුකිරි උපකාරී වෙනවා.

මවකට ද මෙයින් ලැබෙන වාසි සුළුපටු නැහැ. මවුකිරි දීම හොඳ උපත් පාලන ක්‍රමයක්. මෙමඟින් අනවශ්‍ය දරු උපත් සියයට 98 ක්ම වළක්වා ගන්න පුළුවන්.

මවක් පියයුරු, ගර්භාෂ, ඩිම්බකෝෂ පිළිකාවලට ගොදුරුවීමට තිබෙන ඉඩකඩ ද අඩුයි. ඒ වාගේම දරුවාට කිරිදීම නිසා මවට මංගල දිනයේ තිබූ හැඩකාර සිරුරට යළි හිමිකම් කීමට ලැබෙනවා. අස්ථි සවිමත්, රුධිරයේ හොඳින් යකඩ අඩංගු නිරෝගී කාන්තාවක් විමට කැමැති ඕනෑම මවක් කළ යුත්තේ මවුකිරි දීමයි.

 

 

පිටිකිරි දීමෙන් දරුවාට ඇතිවන අනිටු විපාක

* ඇදුම

* අසාත්මිකතා

* කනේ ආසාදන

* යකඩ ඌනතාව (නීරක්තිය)

* ආහාර දිරවීමේ අපහසුතා

* නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ ආබාධ

* ළමා වියේ පිළිකා

* දන්තාබාධ හා දන්ත විකෘති

* පරිසරයේ විස ශරීරගත වීම

* අධික රුධිර පීඩනය

* හෘද රෝග

 මවට ඇතිවන අවදානම

* දියවැඩියාව

* අධික බර, ස්ථුලතාව

* අස්ථි දුර්වලවීම (ඔස්ටියෝපොරෝසිස්)

* පියයුරු, ඩිම්බකෝෂ,ගර්භාෂ පිළිකා

* අධි රුධිර පීඩනය හා හෘදයාබාධ

 

ද සොයිසා කාන්තා රෝහලේ නවජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නිෂානි ලූකස්

විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල්

1030 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න