තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:11

දියුණු වෙන්න හිතන ඔබ වෙනුවෙන්මයි

ලිව්වේ  (පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක) ටෙරන්ස් වීරවර්ධන
අගයන්න
(0 මනාප)
ඔබේ සිහිනය උපයාගන්න   1992 වර්ෂයේ එක්තරා දිනෙක යුක්රේනයේ සිට කොලු ගැටයෙක් ඔහුගේ මවත් සමඟ අමෙරිකාවට සංක්‍රමණය වෙනවා.

 

සමාජ සත්කාරක වැඩසටහනක අනුග්‍රහයෙන් ජීවත් වන ඔවුන් නැවතීම සඳහා කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිදන කාමර දෙකකින් යුත් කුඩා නිවෙසක් කුලියට ගන්නවා. තමාගේ සහ මවගේ ජීවිකාව ගත කිරීමට මුදල් උපයා ගැනීම සඳහා ප්‍රදේශයේ පිහිටි කුඩා කඩයක සේවය කිරීමට ඔහුට සිදුවෙනවා. තම පුතු ජීවත්වීමට දරන අරගලය දෙස බලා සිටීමට අකැමැති වූ ඔහුගේ මව ඔහුට උදව්වක් වශයෙන් ප්‍රදේශයේ සිටින දරුවන් රැකබලා ගනිමින් ආයම්මා කෙනෙක් ලෙස කටයුතු කරනවා.

වයස අවුරුදු 18 දී, පරිගණක ක්‍රමලේඛන ශිල්පයට (Computer Programming) දැඩි ඇල්මක් දක්වන මෙම කොලු ගැටයා පරිගණක කේතකරණය (Cording ඉගෙන ගැනීමට තම කාලය හා ශ්‍රමය කැප කරනවා. එමෙන්ම පරිගණක හා පරිගණක ජාලකරණය (Networking) පිළිබඳ ද, ඉගෙනීමට සිතන ඔහු ඒ සඳහා පාවිච්චි කරන ලද පොත් ඇති සාප්පුවකින් කියවා ආපසු ලබාදෙන පදනම මත ඒ හා සම්බන්ධ පොත් කුලියට ලබා ගන්නවා. මේ කාලයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා සෑන් ජෝස් විශ්වවිද්‍යාලයට (San Jose University) ඇතුළත් වන ඔහු එහි අධ්‍යාපනය හදාරන අතරතුරම ආරක්ෂක පරීක්ෂකවරයකු ලෙස ද සේවය කරනවා.

මේ අතර 1997 වර්ෂයේදී ඔහුගේ ජීවිතය නව දිශානතියකට යොමුකරන සුවිශේෂී වූ දෙයක් සිදු වෙනවා. ඒ තමා ලෝකප්‍රකට  Yahoo  සමාගම විසින් ඔහුව එම සමාගමේ සේවයට බඳවා ගැනීම. එම සමාගමේ වසර 10 ක් පමණ සේවය කරන මොහු එහිදී හමුවූ මිතුරකුත් සමඟ 2007 වර්ෂයේ දී ඉන් ඉවත් වන්නේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය පෙරදැරි කරගෙනයි.

මෙසේ තම සිහින ව්‍යාපාරය යථාර්ථයක් කරගැනීම වෙනුවෙන් ඉතා කැපවීමෙන් හා වෙහෙසී කටයුතු කරමින් වර්ෂයක පමණ කාලයක් ගත වුවද එය සිහිනයක්ම පමණක් බව ඔවුන් දෙදෙනාටම අවබෝධ වූයේ තම අදහස සාර්ථක නොවන බව පෙනී යෑමෙනි. මේ හේතුවෙන් නැවතත් රැකියාවක් සඳහා අයදුම් කිරීමට තීරණය කරන ඔවුන් ඒ අනුව Facebook සමාගමේ තනතුරක් සඳහා අයදුම් කරනවා. නමුත්, එම සමාගමෙන් ලැබෙන ප්‍රතිචාරය ඔවුන් කිසිදා නොසිතූ විරූ එකකි. එනම් ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වීමයි.

ඉන්පසු එළඹෙන්නේ ඉතා දුෂ්කර කාලයකි. මන්ද, හරි හමන් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොමැති වීමෙන් දැඩි මූල්‍ය අර්බූදයකට මුහුණදීමට ඔවුන්ට සිදුවෙනවා. තමන්ගේ සිහිනය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතින බව අවබෝධ වීමට ඔවුන්ට වැඩි කාලයක් ගතවන්නේ නෑ. මේ හේතුවෙන් අවසානයේ දී ඔවුන් තීරණය කරනවා තම කිසිදා සැබෑ නොවන සිහිනය පසුපස හඹායෑම අත්හැර දැමීමට. හැබැයි අවසන් වශයෙන් තව එක් වරක් උත්සාහකර බැලීමේ කොන්දේසියට යටත්ව.

ඒ අනුව ක්‍රියාත්මක වන ඔවුන් 2009 වර්ෂයේදී එක් විශේෂිත වූ App  එකක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. එය සමාජජාල වෙබ් අඩවි පරිශීලකයන් අතර කෙතරම් ජනප්‍රියත්වයට පත්වන්නේ ද යත් ඒ හේතුව නිසාවෙන්ම ඉන් වසර 05 කට පසු එනම් 2014 වර්ෂයේදී Facebook  සමාගම විසින් එය ඩොලර් බිලියන 19 ක මුදලකට මිලදි ගැනීමට තීරණය කරනවා. ඒ App එක තමා ලොවපුරා සැවොම නම කියූ සැණින් හඳුනන WhatsApp  එසේනම් මෙහි නිර්මාතෘවරයා වන්නේ කවුරුන් ද? ඔහු Brian Acton ඔහුගේ මිතුරා Jan Koumමෙම කතාවෙන් අපට ගතහැකි ආදර්ශය වන්නේ, අප තුළ සිහිනයක් තිබේ නම් එහිම එල්බගෙන සිටීමෙන්, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් කවදා හෝ එය යථාර්ථයක් බවට පත් කරගතහැකි බවයි. එබැවින් ඔබත් ජීවිතයේ කිසියම් වූ සිහිනයක් ඇති කරගන්න. ඉන්පසු එම සිහිනය සැබෑවක් වනතුරු ඒ වෙනුවෙන් කැප වෙන්න. ඔබට ජය නියතයි.

“සිහිනය දකින්න. එතැනින් නොනවතින්න. සිහිනය උපයාගන්න. එහිම ජීවත් වෙන්න...”

 

 

 

648 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න