තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:22

දියවැඩියාව ගැන සැලකිලිමත්වීම හැමෝටම වැදගත්

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
දි යවැඩියාව ලෙස හැඳින්වෙන්නේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය, සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණය ඉක්මවා ඉහළ ගියවිටයි. මෙයට මුල්වන ආසන්නම හේතු දෙක වන්නේ ශරීරය තුළ, එනම් අග්න්‍යාසයෙහි ලැන්ගර්හැන් සෛල තුළ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම හෝ නිපදවෙන ඉන්සියුලින් ඵලදායී ලෙස සීනි පාලනයට අසමත් වුවහොත්ය.

 

වර්තමානයේදී ඖෂධ මඟින් (මුඛ මඟින් ලබාදෙන පෙති හා නික්ෂේපණය කරන ඉන්සියුලින්) සහ නිසි ආහාර පාලනයකින් දියවැඩියාව මෙල්ල කළ හැකියි. එහෙත් මතක තබාගත යුතු දෙය නම් නිසි ප්‍රතිකර්ම නොකළහොත් ජීවිතය අහිමි කරවන සංකූලතා ඇතිකිරීමට දියවැඩියාව සමත් බවය.

පළමුවැනි වර්ගයේ දියවැඩියාව, දෙවැනි වර්ගයේ දියවැඩියාව සහ ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව ආදී වශයෙන් දියවැඩියාවෙහි වර්ග තුනකි.

මෙම වර්ග තුනට මුල්වන හේතු වෙනස්ය. පළමු වර්ගයේ දියවැඩියාව ස්වයං ප්‍රතිශක්ති තත්ත්වයක් වන අතර එහිදී ඉන්සියුලින් නිෂ්පාදනයට හානිවීම හෝ සඵලවත් නොවීම දැකිය හැකියි. බොහෝ විට ජීවිතයේ මුල් කාලයේදී එනම් වයස අවුරුදු 20 ට පෙර මෙම තත්ත්වය ඇතිවෙයි.

දෙවැනි වර්ගයේ දියවැඩියාව ඉතා තදබල ලෙසම පුද්ගලයකුගේ ජීවන රටාව සහ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය මත රැඳෙයි. ප්‍රවේණිය (ජානමය) මෙන්ම වියපත්වීම ද මෙම තත්ත්වය ඇති කිරීමෙහි යම් දායකත්වයක් දක්වයි. විශේෂයෙන් ශරීරයේ බර වැඩිවීම, (ස්ථුලතාවය/තරබාරුව ද) දියවැඩියාවට මඟ පෙන්වයි. මෙයට අමතරව එකම පවුලේ හා නෑදෑ සනුහරේ බොහෝ සාමාජිකයන්ට මෙම රෝගය පැවතීම දැකිය හැකියි.

ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව දරු උපතින් පසුව නැතිවයාම සුලබය. එහෙත් එවැනි කාන්තාවන් වයස අවුරුදු 40 - 50 වන විට දෙවැනි වර්ගයේ දියවැඩියාවට ලක්වීමේ අවදානමක් පෙන්වන බැවින් ඒ ගැන විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්ය.

නිසි වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්වී උචිත ප්‍රතිකාර ලැබීම තුළින් දියවැඩියාව පාලනය කළ හැකි (වරක් දියවැඩියාව ඇතිවූ විට එය පූර්ණ වශයෙන් සුවකළ හැකි ක්‍රමවේදයක් මේ දක්වා නිර්මාණය වී නැති බව තරයේ මතක තබා ගත යුතුයි) අතර එසේ ප්‍රතිකාර ලබමින් සාමාන්‍ය ජීවිතයට ආසන්න ජීවිතයක් ගත කිරිමේ අවස්ථාව උදාකරගත හැකියි.

දියවැඩියාව පාලනය නො කළහොත් ඉන් ඇතිවන ප්‍රතික්‍රියා ඉතා භයානකය. අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍යවීම, හෘදයාබාධ පමණක් නොව ශරීර අංග විච්ඡේදනය (බොහෝ විට පාද ඉවත්කිරීම) දක්වා මෙම සංකූලතා වර්ධනය විය හැකියි. මෙවැනි දරුණු තත්ත්වයක් උදාවන්නේ රුධිරයේ අඩංගු අමතර සීනි සිරුරේ සියලු ඉන්ද්‍රිය කරා ගෙනයාමෙන් සමස්ත පද්ධති සියල්ලටම යම් යම් හානි සිදුකිරීමය.

දියවැඩියාව තනියෙන් පවතින රෝග උපද්‍රවයක් නොවේ. ඒ හා සමඟ අත්වැල් බැඳගෙන සිටින අනෙක් තත්ත්වයන් වන්නේ අධික රුධිර පීඩනය, රුධිරගත ට්‍රයි ග්ලිසරයිඩ මේද ප්‍රමාණය ඉහළ යාම සහ අධි ඝනත්ව ලිපොප්‍රෝටීන් (එම්. ඩී. එල්.) ලෙස හැඳින්වෙන ‘හොඳ කොලෙස්ටරෝල් මට්ටම පහළ වැටීම’ ආදිය එවැනි තත්ත්වයන්ය.

තම සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්ව සිටින පුද්ගලයකුට දියවැඩියාව ඇතිවීමට පෙරම පූර්ව දියවැඩියා තත්ත්වය හඳුනා ගත හැකිවෙයි.

මෙය එක අතකින් අනතුරු අඟවන තත්ත්වයකි. මෙම අනතුරු ඇඟවීම ගැන අවධානය යොමුකර ආහාර පාලනය සහ අවශ්‍ය ජීවන රටා වෙනස් කළහොත් දියවැඩියාව ඇතිවීම පමා කිරීමට අවස්ථාව හොඳින්ම පවතියි.

ඔබට හෝ ඔබ පවුලේ අයකුට හෝ දියවැඩියාව ඇත්නම් එය පාලනය කරගෙන නිරෝගී ජීවිතයක් ගත කිරීමට ගතහැකි පියවර කිහිපයක් මෙසේය.

පූර්ව දියවැඩියා තත්ත්වයට පත්ව ඇති අයකු නිරතුරු විමර්ශනයන්ට ලක්කිරීම හා පරීක්ෂණවලට ලක්කිරීම මඟින් රෝගය ඇතිවීම පමා කළ හැකියි.

දියවැඩියාව ඇතිවීම කෙරෙහි පවුල් අවදානමක් සහිත පුද්ගලයන්ට මෙන්ම ගර්භණී සමයේ දියවැඩියාව ඇතිවූ කාන්තාවන්ට ද එම අවවාදය තදින්ම අනුගමනය කිරීම වැදගත්ය.

රෝගියාගේ දියවැඩියා වර්ගය හා දියවැඩියා තත්ත්වය සලකාබලා වෛද්‍යවරයා විසින් පෙති හෝ ඉන්සියුලින් හෝ එම ප්‍රතිකාර දෙකම නියම කරනු ලබයි.

මෙම ඖෂධ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් නොකඩවා ගැනීම ඉතා වැදගත්ය.

ශරීර ස්කන්ධ දර්ශකය ගණනයකර තමන් තරබාරුවෙන් පෙළේ නම් එය අඩු කරගැනීමට පියවර ගැනීම වැදගත්ය. ව්‍යායාම ගැනීම, ඇඟ වෙහෙසීම, තෙල් හා මේදය නසන ආහාර ගැනීම අවම කිරීම, එළවළු, පලතුරු, නිවුඩ්ඩ සහිත ධාන්‍ය පියලි හා මාළු අඩංගු ආහාර වේලකට යොමුවීම කාහටත් වැදගත්ය.

ලුණු හා සීනි ගන්නා ප්‍රමාණය ඉතාම අවම මට්ටමට ගෙනඒම වැදගත්ය.

දියවැඩියාව සමඟ පැවතිය හැකි අනෙක් සහෝදර රෝග එනම් අධික රුධිර පීඩනය, හෘද රෝග, කොලෙස්ටරෝල් ගැටලු ඇත්නම් ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය.

දියවැඩියාව ඇත්නම් වරින්වර වකුගඩු, ඇස් ආදී එහි බලපෑම එල්ල විය හැකි ශරීර ඉන්ද්‍රිය පිළිබඳ විමර්ශනය කිරීම වැදගත්ය.

ඒ සංකූලතා ඉතා දරුණු වූ පසු කළ හැකි යමක් නොමැති විය හැකියි.

පාදයේ තුවාල හා වණ පිළිබඳ ද එවැනිම සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයය.

 

 

 

994 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න