තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:44

දරුවන් ලැබීම පමා ඇයි?

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
වර්තමාන පවුල් සංස්ථාව තුළ අඹු සැමි අර්බුධවලට පවා හේතුවන ප්‍රධාන කාරණයක් බවට දරුවෙක් ලැබීමට පමාවීම හේතුවෙලා තිබෙනවා. සාකච්ඡා මණ්ඩපයට නොපැමිණ බොහෝදෙනා රහසේ දුක් සුසුම් හෙළෙන මෙම කාරණය පිළිබඳ අප අද ඒ - ඛ කතා කරනවා.

 

 

මේ, ඔබේ පවුල සම්පූර්ණ වෙන්න දරු ඵල සිහිනය මල් ඵල දරන්න අවැසි සාමාජිය හා වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳ, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා සමඟ සිදුකළ සුවිශේෂී විමසුමකි.

වෛද්‍යතුමනි, වත්මන් විවාහපත් යුවළ අතරින් බොහෝදෙනකු මුහුණ දෙන ගැටලුවක් බවට තම පවුලට දරුවකු ලැබීම පමා වීමේ කාරණය පත්ව තිබෙනවා නේද?

ඇත්තෙන්ම එදාට සාපේක්ෂව අද සමාජය මුහුණ දෙන පොදු සමාජීය ගැටලුවක් බවට, වත්මන් පවුල් සංස්ථාවට දරුවකු ලැබීම පමා වීමේ කාරණය පත්ව තිබෙනවා. මේ හේතුවෙන් උපදේශන සේවා කරා ද බොහේ පිරිස් යොමු වෙනවා. මේ නිසා යුගදිවවිය පවා බිඳවැටෙන අවස්ථා ද නැතුවා නොවේ.

මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු කාරණා ලෙස හඳුනාගෙන තිබෙන්නේ මොනවාද?

විශේෂයෙන්ම වත්මන් සමාජීය පසුබිම තුළ තරුණ ප්‍රජාව අධ්‍යාපනික වරප්‍රසාද හා ඉන් පසුව වෘත්තීය වරප්‍රසාදවලට මූලිකත්වය ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට ප්‍රයත්න දරනවා. මෙවැනි කාරණා නිසා ඇතැම් අය විවාහ දිවියට පත්වීම ප්‍රමාද කරනවා. තවත් පිරිසක් විවාහ වුණත් දරුවෙක් ලබා ගැනීම පසුවට කල් දමන අවස්ථා බහුලව තිබෙනවා. මේ හේතු නිසා දරුවන් ලැබීම ඔවුන් සැලසුම් කළාට වඩා ප්‍රමාද වන අවස්ථාද ඇති වෙනවා. ඉන්පසු මානසික කඩා වැටීම්, ඒ නිසාම විවිධ ගුප්ත ශාස්ත්‍ර කටයුතු ආදියට යොමුවීමෙන් ආර්ථික ගැටලු ආදියට මුහුණ දීමට ද සිදු වෙනවා.

ඇතැම් අය විවාහ දිවිය පවා හැර දමා යන අවස්ථා ද නැතුවා නොවේ.

දරුවන් පමාවීමට හෝ දරුවන් නොලැබී යාමට පවුල් සැලසුම් ක්‍රමවල බලපෑමක් තිබෙනවාද?

නැහැ. උපත් පාලනය මිස දරුවන් නොලැබී යාමට එම ක්‍රමවල බලපෑමක් නැහැ. නමුත් යම් කෙනෙක් යම් උපත් පාලන ක්‍රමයක් දිගුකලක් භාවිත කොට එය නතර කළ සැණින් ඇයට දරුවකු පිළිසිඳ ගැනීම සිදුවන්නේ නැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

ඒනිසා සාමාන්‍යයන් අවුරුදු 35 කින් පමණ විවාහ පත් වුණු කෙනෙක් උපත් පාලනය සිදු කරමින් දරුවන් පමා කිරීම යෝග්‍ය යයි කියන්න බැහැ.

එසේම අඹු සැමි යුවළක් මෙසේ දිගුකාලීනව වෛද්‍ය උපදෙස්වලින් තොරව දරු උපත් පාලනය කිරීම සුදුසු වන්නේ නැහැ.

ඇතැම් විට ඔවුන් මඳ සරු බවින් යුක්ත නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීමේ කාලය මේ හේතුවෙන් පමා වීම නිසා යෝග්‍ය කාලවකවානු පසුවීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

කාන්තාවක ගර්භණී බවට පත්වීමට සාමාන්‍යයෙන් සුදුසුම ද අවධිය අ.වු. 25 - 35 අතර කාලයයි. අවුරුදු 40 පමණ වනතුරු සාමාන්‍ය හැකියාවක් ඇතත් එහිදී මවගේ වයස වැඩිවීමත් සමඟ දරුවා තුළ සංජානනීය ආබාධ ඇති වීමට ද ඉඩකඩ තිබෙනවා.

එසේම සාමාන්‍යයෙන් අවුරුදු 35 පමණ පසු ශරීරය තුළ පවතින ජව සම්පන්න බව ද අඩු වී යනවා. මෙහි සමාජීය කාරණය වෙන්නේ දරුවාගේ ඉදිරි කාලයේදී මාපියන් සතු ආර්ථික හා සමාජීය ශක්ති සම්පන්න භාවයත් රැකවරණයත් දරුවාට නොලැබීයාමට ද පුළුවන්. ඒ නිසා යෝග්‍ය කාලසීමාව තුළ දරු උපත සිදුවීම වැදගත් වෙනවා.

පළමු දරු උපතට පසු දෙවැනි දරු උපත අතර කාලය දරුවන් කෙරෙහි බලපෑම් කරනවාද?

සාමාන්‍යයෙන් වසර දෙකක පමණ කාලයක් දරු උපත් දෙකක් අතර පරතරයක් අවශ්‍යයි. මවගේ ශරීරය ඒ වෙනුවෙන් සූදානම් වීමට වගේම, දරුවාගේ සෞඛ්‍ය සම්පන්න භාවයට ද එය හේතු වෙනවා.

මේ සඳහා අනුගමනය කළ හැකි පවුල් සැලසුම් ක්‍රම මොනවාද?

මුල් දරුවා පමා කිරීම හෝ ඊළඟ දරු උපත පමා කිරීමට කොන්ඩම්, ගිලින පෙති, ජඩෙල් ආදී පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. අවශ්‍ය කාලයේදී අවශ්‍ය දරුවකු ලබා ගැනීමට ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

පවුල් සංස්ථාව තුළ ඇතිවන මෙවැනි අර්බුද හමුවේ විවාහ සංස්ථාව රැකගැනීමට අඹු සැමියන් කෙසේ කටයුතු කළ යුතුද?

විශේෂයෙන්ම විවාහ ජීවිතයට ඇතුළත් වන බොහෝදෙනා විවාහ ජිවිතය හා ලිංගික ජීවිතය ගැන අඩු කතා බහ සහ අඩු අත්දැකීම ඇති අයයි.

පාසල් පද්ධතිය තුළ මෙම දැනුම නොලැබී යාම හා ඉන්පසුව ද මේ පිළිබඳ සාකච්ඡාවට බඳුන් නොවීම මෙම ගැටලුවලට බලපානු ලබනවා.

ශරීර අවයව පිළිබඳ අනවබෝධය හා සබඳතාවය පිළිබඳ අවබෝධය අඩු වීමත් මෙවැනි ගැටලු උද්ගත වෙන්න බලපානවා.

පවුල් සංවිධාන උපදේශනය සඳහා එක්තරා අඹුසැමි යුවළක් පැමිණියා. රාජකාරි කටයුතු නිසා මේ දෙදෙනාම පදිංචිව සිටියේ දුර බැහැර ප්‍රදේශවල. මුණගැසුණේ සති අන්තයේ පමණයි. ඉතිං මෙවැනි තත්ත්ව වල දී දරුවකු පිළිසිද ගැනීමේ අවකාශය ඉතා අවමයි.

ස්ත්‍රියකගේ සරු කාලය මසකදී දින 2 කට පමණ සීමාවන නිසා මෙවැනි අවස්ථාවල එය මඟහැරී යාමට බොහෝ ඉඩකඩ පවතිනවා.

එම නිසා වෛද්‍ය උපදෙස් පරිදි අවබෝධයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි ගැටලු ඉතා පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්.

මඳ සරුභාවය යනු කුමක්ද? ඊට පිළියම් මොනවාද?

සාමාන්‍ය පරිදි ලිංගික ජීවිතය ගත කරන යුවළකට වසරක් තුළ පිළිසිඳ ගැනීමක් සිදු නොවීම සඵලතාවය අඩු බව හෙවත් මඳසරු බව ලෙස හඳුන්වනවා. මේ සඳහා වත්මන් පාරිසරික සාධක බලපෑම, එනම් ගෝලිය උණුසුම ඉහළ යාම වැනි තත්ත්ව ශුක්‍රාණුවල ගුණාත්මක බව අවම වෙන්න හේතු වෙන්න පුළුවන්.

එමෙන්ම හෝමෝන බලපෑම, මානසික හා ශාරීරික බලපෑම් හේතුවෙන් මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි.

නමුත් අද තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින නිසා පළමුව වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර හා ක්‍රියා මාර්ග වෙත යොමුවීමෙන් ඔබට අවශ්‍ය දරුවා අවශ්‍ය කාලයේදී ලබාගන්න පුළුවන්.

 

 

 

 

693 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 15:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න