තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 04, සඳුදා 15:02

සීඝ්‍රයෙන් ඉහළ යන සමාජ රෝග අවදානම

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
සවනි, දමයන්ත සමඟ පතිකුලයට එක්වුණේ මීට වසර එකහමාරකට පමණ කලිනුයි. දැන් ඇය කුලුඳුලේම මවක් වීමට පෙරුම් පුරන ගැබ්බර අම්මා කෙනෙකි. දමයන්ත සමඟ පතිකුලයට එන්නට කලින් ඇය ප්‍රේමවන්තයන් කිහිප දෙනකුම ඇසුරු කළාය.

 

මේ අතුරින් ඇය හා විරාජ් අතර පැවතියේ සමීප සම්බන්ධයකි. විරාජ් තවත් ප්‍රේමවන්තියන් කිහිප දෙනකුම ඇසුරු කරන සල්ලාලයකු බව දැනගනිද්දී ඇය ප්‍රමාද වැඩිය. විරාජ් සමාජ රෝගයකින් පෙළෙන බව ඇය දැනගත්තෙත් මේ කාලයේදීම ය.

දරුවකු කුසෙහි හොවාගත් වෙනත් අම්මලා විඳින සතුට ඇය කෙරෙන් පළා ගොසිනි. සමාජ රෝග ප්‍රතිඵල මෙලොව එළිය දකින්නට සිටින දරුවාට ඇතිවේවිද? මේ ගැන සිතමින් ඇය මනසින් හඬා වැටුණු වාර අනන්තයි. කුසෙහි සිටින නොදරුවා පිළිබඳවත්, දමයන්ත පිළිබඳවත් ඇගේ සිතෙහි ඇති වූ දුක වරින්වර ඇය පාරන්නට වූවාය. සමාජ රෝග හෝ ලිංගිකත්වය පිළිබඳ දැනුමක් තිබුණා නම් ඇය මේ තත්ත්වයට ගොදුරු නොවන්නට තිබිණි.

සංඛ්‍යාත්මකව ගත්කල ලංකවේ සමාජ රෝගවල ව්‍යාප්තිය සාපේක්ෂව අවමයි. නමුත් දියුණු ලෝකයේ වයස විසිපහ වනවිට දෙදෙනෙකුගෙන් එක් අයෙක් සාමාන්‍ය සමාජ රෝගයකින් හෝ පෙළෙන තරම්. මේ බව සෙන්ටර් ඔෆ් ඕසීසස් කන්ට්‍රෝල් ඇන්ඩ් ප්‍රිවෙන්ෂන් ආයතනය දක්වා සිටියි. අමෙරිකාව වැනි රටවල සමාජ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වැය වේ. වසරකට මිලියන 20 ක් පමණ දෙනා මේ අතරට එකතු වේ.

සමාජ රෝග වූ කලී . . .

බෝවන සමාජ රෝග කිහිපයක්ම තිබේ. ක්ලැමීඩියා (Chlamydia)ඉන් එකකි. ගොනෝරියාව, හර්පීස්  HPV  හෙවත් හියුමන් පැපිලෝමා වෛරසය, සිතිලීස් (Sythilis)  හෙවත් සුදු බිංදුම, හෙපටයිටීස් ඕ සහ ඛ්, ට්‍රයිකෝ මනාස් වඩාත් ජනප්‍රිය සමාජ රෝග කිහිපයකි.

සිතිලීස් සහ ගොමෝරියා සමාජ රෝගවලදී Pid  නමැති යටිබඩේ දරුණු වේදනාවක් ඇති වේ. මෙහිදී කාන්තාවන්ගේ සරුබව අඩු විය හැකියි.

මාසික ශුද්ධවීමක දී ගර්භාෂය අවට යෝනි මාර්ගය විවර වී ඇති නිසා පැලෝපීය නාලය හරහා පහසුවෙන්ම විසබීජ ඇතුළු වේ.

හර්පීස්, බහුල සමාජ රෝගයකි. මෙහිදී මුඛයේ බිබිලි හටගන්නා හර්පීස් තත්ත්වය සමාජ රෝගයක් නොවේ. ලිංගාශ්‍රිතව හර්පීස් තත්ත්වය හට ගැනීම සෑම හය දෙනකුගෙන් එක් අයෙකුට විය හැකියි.

මේවා දැවිලි සහිත වතුර පිරුණු බිබිලිය. ටික දිනකින් අඩුවුවත් ප්‍රතිශක්තීකරණය අඩු වුවහොත් නැවත මතු වේ. කාන්තාවන්ටත් මෙහිදී යෝනි මාර්ගය ආශ්‍රිතව වතුර බිබිලි ඇති වේ. ස්වාභාවික දරු උපතකදී මෙය දරුවාට බෝවිය හැකියි.

කැමේඩියා, ගොනෝරියා සහ සිතිලීස්වලදි යම් දුරකට සැරව ගතියක් ඇති වේ.

කැමේඩියාවලදී කොළ පාටට හුරු ස්‍රාවයක් ද, ගොමෝරියාවලදී කහ පාටට හුරු ස්‍රාවයක් ද, සිතිලීස්වලදී වේදනා රහිත එහෙත් තුවාල සහිත කහ පාට සැරවා ගලයි. එහි කබොල්ලක් ද වේ. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම මෙම ලක්ෂණ උරුම වේ.

දැනුවත්භාවය

තමා ඇසුරු කරන පිරිමියා, ස්වාමි පුරුෂයා සමාජ රෝගයකින් පෙලෙන්නේ ද යන්න පිළිබඳ තමාට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. යම් හෙයකින් සැමියා සමාජ රෝගයකින් පෙළේ නම් ඔහුගේ සිත නොරිදවා ඒ පිළිබඳව අසා දැනගැනීම බුද්ධිමත් බිරියකගේ වගකීමකි.

දෙදෙනා හොඳ කතාබහක නිරත වීම, පිරිමියා අවංකව ඒ පිළිබඳව පවසන්නේ නම් වෛද්‍යවරයකු හමුවට යෑම අදාළ පරීක්ෂණවලට යොමුවීම ඉතා වැදගත් ය. එය ඉදිරියට සිදුවන හානිය වළක්වා ගැනීමට ගතහැකි සුදුසුම පියවරය. මින් කියැවෙනුයේ තමා එක් විශ්වාසවන්ත සහකරුවකුට හෝ සහකාරියකට සීමාවීමයි. එය ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමට හොඳම පියවරකි.

මේ පිළිබඳ යම්කිසි සැකයක් ඇත්නම්, සැමියා ඒ පිළිබඳ නොකියා සිටියි නම් ඔහු සමග ලිංගික සබඳතාවලින් මෑත්වීමට කාන්තාවට පියවර ගත හැකියි.

එය තමන්ට සිදුවන හානිය වළක්වා ගතහැකි ක්‍රමයකි. තමා පරීක්ෂණ සඳහා යොමුවීම (Get Tested Early)  ද වැදගත් වේ.

එසේම ලිංගාශ්‍රිත රෝග පැතිරීම වළක්වාලීම සඳහා වැඩි අවදානම් හා අඩු අවදානම් ඇති ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත්ව සිට තම ස්වාමි පුරුෂයා සමඟ අඩු අවදානම් ඇති ක්‍රියාකාරකම්වල පමණක් නිරත විය හැකිය.

සැකයක් ඇත්නම් කොන්ඩ්ම් එකක් පැලඳීම වඩාත් සුදුසු ය. එතරම් බහුලව නොවූවත් කාන්තා කොන්ඩම් (වර්ජිනල් කොන්ඩම්) ද තිබේ.

මේවා කාන්තාවට පැලඳිය හැකියි. පිරිමියාට නම් කොන්ඩමයක් පලඳින ලෙස බලකල හැකියි.

එසේම තොල් චුම්බනය, සමාජ රෝග බෝවිම අඩු අවදානම් දේය. ලිංගේන්ද්‍රය පිරිමැදීම අඩු අවදානම් (Low Risk)ය.

ලිංගික අවයව දෙකක් එකට ගැටෙන ඕනෑම අවස්ථාවක් සමාජ රෝගයක් ඇත්නම් එය බෝකරන වැඩි අවදානම් (High Risk)  අවස්ථාවකි.

එසේම ලිංගික ක්‍රියාවලිය සඳහා ගන්නා උපකරණ(Sex Toys)  පොදුවේ හුවමාරු කරමින් භාවිතය ද සුදුසු නැත.

මෙහිදී කාන්තාවක් ඇල්කොහොල් භාවිතය සඳහා හුරුව සිටියි නම් එහිදී ඇය අවසිහියෙන් සිටියි නම් ඔහු සමාජ රෝගයකින් පෙළේ නම් ඔහු කොන්ඩමයක් පැලඳ සිටී ද පිළිබඳව හෝ ඇයට අවධානයක් නැතිවන්නට පුළුවන.

එහිදී ඇයට විරුද්ධ වන්නට තිබෙන අවස්ථාවත් නැති වන්නට පුළුවන.

බෝවීම වළකාලීමට

සමාජ රෝගයකින් පෙළෙන පිරිමියකු හා ලිංගිකව එක්වද්දී කොන්ඩමයක් පැලඳීම එය බෝවීම වළකාලයි.

හෙපටයිටීස් B හා C, HPV  හෙවත් හියුමන් පැපිලෝමා වෛරසයෙන් ඈත්වීමට ඒ සඳහා ඇති එන්නත් ලබාගෙන තිබීම ද සමාජ රෝග බෝවීම වළකාලයි. සිතිලීස් රෝගය සඳහා පෙනිසිලින් එන්නත ලබාදේ.

ගොදුරක් වන්නේ දරුවා නම්

සමාජ රෝගවලදී තුවාල විත් ඒවා සුව වුවත් ස්නායු පද්ධතියේ සැඟ වී තිබීමට පුළුවන. එය කුසෙහි සිටින දරුවකුට සමාජ රෝගයක් බෝවිය හැකි අවස්ථාවකි. සිතිලීස් සමාජ රෝගය බොහෝ විට මෙලෙස ඇති වේ. එසේම දරු ප්‍රසූතිය සාමාන්‍ය ක්‍රමයට සිදුවුවහොත් එවිට දරුවාට සමාජ රෝගයක් මවට ඇත්නම් එය බෝවිය හැකියි.

දරුවකු කුස පිළිසිඳ ගත්පසු කෙරෙන මුලික රුධිර පරීක්ෂණ අතරට  tph හා  VDRL යන පරීක්ෂණ කෙරෙනුයේ මවට එවන් සමාජ රෝගයක් සම්ප්‍රේෂණය වී ඇත්දැයි බැලීමට යි.

සමාජ රෝග වෛරස් මඟින් බෝවන්නකි. ඒ සඳහා ප්‍රතිකාර තිබේ. රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලද සමාජ රෝග සඳහා වෙනමම සායන පැවැත්වේ. මෙම සායන රෝගීන්ගේ රහස්‍යභාවය සුරකියි.

අදාළ පුද්ගලයාගේ නම වෙනුවට අංකයක් ලබා දේ. මෙම සායන සඳහා බාහිර රෝගී අංශය හරහා යොමු විය යුතු නැත. සෘජුවම සමාජ රෝග සායනය හා එක්විය හැකියි.

 

 

උපදෙස් - විශේෂ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

454 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 15:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න