තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:28

කුළුණු ගුණයෙන් යුතු හදවත සැබෑවටම පින්වන්තයි

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
රදුක්ඛේ හදය කම්පනං කරෝතීතී කරුණා” බුද්ධ දේශනයට අනුව අනුන්ගේ දුක දැක හදවත කම්පනයවීම කරුණාවයි. තමන් තමන් උපමා කරගෙන ‘අත්තානං උපමං කත්වා’ ජීවත්වීම තුළින් තවකෙකුට කරුණාවන්තවීම ආත්ම පරියාය ලෙසින් බණ පොතේ සඳහන් වෙනවා.

 

එනම් මම යම්කිසි දෙයකින් දුකට පත් වෙනවා නම් එවැනි ක්‍රියාවන්ගෙන් තවකෙකු පෙළීමට කිසිවිටෙකත් උත්සාහ නොකිරීමයි. සැබැවින්ම මෙය බුදු දහමේ උගැන්වෙන අසීමිත කරුණාවයි.

තවත් පුද්ගලයකු කෙරෙහි කාරුණිකවීම කිසිදු විටෙක මවාපෑමක් නොවිය යුතුයි. එය ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුට ජාති, කුලමල, උස් පහත් වයස්භේදයකින් තොරව, වෘත්තීය මට්ටම ගැන නොසිතා, ප්‍රිය අප්‍රිය යන මේ සියලු දෙනාට එක හා සමාන කාරුණික බවක් විය යුතුමයි. එහෙත් අද සමාජයේ අපි දකින කරුණාව මීට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් කරුණාව දක්වන්නේ මූනිච්චාවට. ඇතැම් විට ලාභ ප්‍රයෝජන ගැනීමේ පටු අරමුණු පෙරදැරි කරගෙනයි. එහෙත් ධර්මය කෙරෙහි නිසි අවබෝධයක් ඇත්තා හදවතින්ම කුළුණ ගුණයෙන් යුක්ත අයෙකි. මෙවැනි පුද්ගලයාට පින් රැස්කර ගැනීම ඉතාම පහසු කටයුත්තකි.

ඔහු සියල්ලන්ට මෛතී‍්‍ර සහගතය. වෛරය, තරහව, ඊර්ෂ්‍යාව නැත්තෙකි. එබැවින් හෙතෙම දුක් පීඩා අවමව සුවසේ ජීවත් වේ. මරණින් මතුත් ශාන්ත සුවයට පත්වේ. බලන්න අකාරුණික සිතිවිලි හසුරන පුද්ගලයා දෙස. ඔහු විසින් කිසියම් පුද්ගලයකු වෙත වෛරය, තරහව සහ ඊර්ෂ්‍යාව ඇත්නම් පෙරළා ඒ පුද්ගලයාට එය දුකක්ම වෙයි. කොහේ කොතනක සිටියත් තවකෙකු සමඟ කේන්තියෙන් පසුවන බැවින් තමාටම පීඩාවක්ම සිදුවෙයි. අපේ වත්මන් සමාජයට නම් මෙය වැටහෙන්නේම නැති තරම්. ඒ අය කාරුණික බව එතරම් ගණන් ගන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ දේශනා කර තිබෙනවා. යම් කෙනකු ළඟ දෙපැත්ත කැපෙන තියුණු කඩුවක් තියෙනවා නම් ඔහු ගේ විරුද්ධවාදියකු පැමිණ මේ කඩුව එකවර ම ඇල්ලුවා වුණත් හානියක් සිදුවන්නේ කඩුව හිමිකරුට නොවේ. ඒ විරුදධවාදියාටම බව. මෙන්න මේ ආකාරයටම මෙත් සිත වඩන කරුණා ගුණයෙන් යුත් පුද්ගලයකුට හිංසා කිරීමට සැරසෙන පුද්ගලයාටම හෝ බලවේගයටමයි පීඩාවට පත්වන්නට සිදුවන්නේ. ඇත්තෙන්ම කරුණාවේ බල මහිමය මෛත්‍රිය කිසිසේත්ම සුළුපටු එකක් නොවේ. බලන්න මේ උදාහරණය දෙස. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කැලෑවෙන් පිටතට එන්නට සූදානම් වූ විට කිසිවකු හඬන ශබ්දයක් ඇසෙන්නට වුණා. ඒ හැඬුවේ කිසිවකු නොවේ, ඒ අසල වෘක්ෂයේ වාසය කළ දෙව්දුවයි. ඈ මෙසේ කියා සිටියා. ඔබ වහන්සේ මේ ප්‍රදේශයට වඩින්නට පෙර මෙතැන යුද පිටියක් වාගෙයි තිබුණේ. මේ අවට අමනුෂ්‍යයන් බොහෝමයක් සිටිනවා. මොවුන් එකිනෙකා හා වෛරයෙන් දැවෙනවා. අරගල කරනවා. ඒත් ඔබ වහන්සේ මෙහි පැමිණ සතා සිවුපාවාට ගහ කොළ මල්වලට කරුණාව පැතිරවීම පටන් ගත් විට එහි ආනුභාවයෙන් මොවුන් සමනය වුණා. දැන් හැම දෙනාම සාමයෙන් සන්සිඳීයාමෙන් වාසය කරනවා. මා මේ හඬා වැටෙන්නේ ඔබ වහන්සේ පිට වී ගිය විට යළිත් පෙර තත්ත්වයම උදාවේවි යැයි බියෙන්.

මේ බව ඇසූ ඒ ස්වාමීන් වහන්සේ මේ අය කෙරෙහි මහත් කරුණාවෙන් මීළඟ වස් කාලයත් ඒ වනයෙහි ම ගතකළා.

මේ විදිහට දිගින් දිගටම මේ දෙවිවරුන් එක්ව උන්වහන්සේ ඒ වනයෙහි ම රඳවා ගත්තා. එම වනයේ පරිසරය සැබෑ ලෙසම වෙනස් වුණේ කරුණාවේ බලමහිමය නිසාවෙනි.

මේනිසා ඇත්තටම ක්‍රෝධය සහිත පුද්ගලයා පරාජය කළ හැක්කේ මහා කරුණාවේ ගුණ බලයෙන් බව දැන් ඔබට වැටහෙනවා නේද? අප මහා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා අසත්පුරුෂයා ජය ගත යුත්තේ සත් පුරුෂ ගුණවලින් බව. බොරුව ජය ගන්නේ සත්‍යයෙන් බව. අකාරුණික හදවත් ඇති කෝපාවිශ්ඨයන් ජයගත යුත්තේ මෛත්‍රියෙන් හෙවත් කරුණාවන්තකමින් බව.

කරුණාවේ ප්‍රධානම එළිදැක්වීම වචනයයි. දෙවැන්න ක්‍රියාවයි. කරුණාව එක්තරා අතකින් වංචක ධර්මයක් වන අවස්ථාත් තියෙනවා. එනම් කරුණාවේ විලාශයෙන් අකුසල් සිදුකිරිමයි. එනම් අසල්වැසි නිවෙසක ස්වාමියා මළ ස්ත්‍රිය වෙනුවෙන් තවත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් උදව් උපකාර කරන පිරිමි අද සමාජයේ ඕනෑතරම් ඉන්නවා. මෙවැනි අයගේ කරුණාවේ යටි රෝපණ අරුත් තිබෙනවා. අන්න එවැනි දේ වංචක ධර්මයට ගැනේ. සාමාන්‍යයෙන් ජන සමාජය තුළ ජීවත්වීමේදී ස්වාමියාගෙන් සේවකයාට, සැමියාගෙන් බිරියට ආදී වශයෙන් කරුණාව අවශ්‍යයි. රාජකාරියේදී ස්වාමියා සේවකයාට කරුණාබරිතව වැඩ පැවරීමෙන් සේවකයා එය මැනවින් ඉටු කිරීමට උත්සාහ ගනී.

සංයුක්ත නිකායේ කකචූපම සූත්‍රයේ දේශනාකර ඇති පරිදි

1. කාලයේ හෝ අකාලයේ කතා කිරීම.

2. ඇති දෙයක් හෝ නැති දෙයක් ගැන කතා කිරීම.

3. රළු ලෙස හෝ මොළොක් ලෙස කතා කිරීම

4. අර්ථවත්ව හෝ අනර්ථවත් ලෙස කතා කිරීම

5. මෛත්‍රියෙන් හෝ වෛරී සිතින් කතා කිරීම

යන දේ ඔබට අනුන් විසින් කළ හැකියි. තථාගතයන් වහන්සේ දේශනාකර ඇත්තේ එවැනි අවස්ථාවලදී පෙර සඳහන් කළ වචන පහරවල්වලින් තමන්ට කිසිවකු පහරදුන්නේ නම් ඔබ හිත විපරිත නොකර ගත යුතු බවයි. මෙත් සිතින් ඉතා කාරුණිකව හිත හික්මවාගෙන වාසය කරන ලෙසිනි. අප්‍රමාදව කාරුණිකව ලෙස සුජීවත්වන පුද්ගලයාගේ සිත, කය දෙකම නිවී සැනසෙන බවත් උන්වහන්සේ තවදුරටත් දේශනා කළ සේක.

“කරුණාකරලා...” මේ වචනය අද ඉතා සුලබයි. ඒත් එහි තේරුම ගැන වටහාගෙන කතාබහ කරන්නේ කීයෙන් කී දෙනාද කියලා හිතෙනවා සමාජය දෙස බැලීමේදී.

බලන්න, අපේ ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ, යේසුස් වහන්සේ, අල්ලා දෙවියන් ඇතුළු සියලුම ආගමික ශාන්තෲවරුන් තමන්ගේ අනුගාමිකයන් ලෝක සත්ත්වයා කෙරෙහි පුදුමාකාර කාරුණික බවක් දැක්වූ උතුමන්ය. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේ අන් කිසිවක් නිසා නොවේ ලෝක සත්ත්වයා වෙනුවෙන් උපදී මහා කරුණාව නිසාවෙනි.

“කරුණු පාය කෝසල්ල පරිග්ග හීතා

දානාදී ගුණා පාරමියෝ”

මහණෙනි, කරුණාවත් උපාය කෞෂල්‍යයත් විසින් පිරිවරණ ලද ත්‍රිවිධ දොරටුවෙන් නිකුත් කෙරෙන දාන, ශීල, නෙක්කම්ම ආදී ධර්මතාවෝ මම පාරමී ලෙස හඳුන්වමි.

ඉන් පැහැදිලි වන්නේ බුදු, පසේ බුදු, මහරහත් වීමට හැකි අසීමිත බලයක් කරුණාව තුළ ඇති බවයි.

ක්‍රිස්තුස් වහන්සේව තම අනුගාමිකයන් පවා දෙන මොහොතේදීත් කුරුසය මත ඇණගසන මොහොතේදීත් පිඩා විඳ විද ඉවසාලූයේ උන්වහන්සේ තුළ පැවැති මහා කරුණාව නිසාවෙනි.

අප බෝසතාණෝ ද පාරමිතා දම් පුරන අවධියේ කරුණාව සමඟ ඉවසීමේ ගුණය පෙර දැරිකරගත්තා. අපි සමාජය සමඟ ගනුදෙනු කරද්දී කරුණාව ප්‍රගුණ කර ගත යුතුයි. එහෙත් තවදුරටත් කරුණාව තුළින් අපි කිසිවක් අනෙකාගෙන් බලාපොරොත්තු නොවිය යුතුයි.

කරුණාව ගැන කතා කිරීමෙන් සිහි ගැන්වෙන තවත් පැතිකඩක් වන්නේ කරුණාව අනුකම්පාව භූමිකම්පාවක් වු සිදුවීම් මතකයට නැගෙන විටදීය.

‘නයින්ට කිරි පෙව්වා වගේ’ කියමන ජන සමාජයට එකතුවන්නේ එවැනි සිදුවීම්වලිනි.

“කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්” එසේ නම් අපි කරුණාවන්ත වෙද්දී එය පාරමිතාවක් ලෙස මිසක එයින් කිසිදු විටෙක ප්‍රතිලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවිය යුතුයි. ප්‍රත්‍ය උපකාර බලාපොරාත්තු නොවී කරුණාවෙන් යුක්ත අයට ස්වයංක්‍රීයව ජීවිතය යහපත් වේ. අපගේ කරුණාවෙන් යමෙක් අයුතු ප්‍රයෝජන ගත්තේ නම් ඔවුන්ට උපනූපන් ආත්මවල එම විපාක විඳින්නට සිදුවේ. අපි කිසිවකුට කරුණාවන්තව උදවු උපකාරයක් සිදුකර ඉන් යමක් බලාපොරොත්තු නොවූයේ නම් එය නිවනට මඟකි. පෙර සඳහන් කළ පරිදි සේවකයකුගෙන් ස්වාමියා බලාපොරොත්තු වන මෙහෙවර කාරුණික වදන් හමුවේ මනාව ඉෂ්ට වෙනවා. ඔහු ආත්ම තෘප්තියකින් රාජකාරිය සිදුකරයි. බලාපොරොත්තුවන හෘද්‍යාංගම සේවාව ඉටු කරයි.

ඇත්තෙන්ම කරුණාවේ බල මහිමයට ජීවිතය වෙනස් කිරීමේ පුදුමාකාර බලයක් තියෙනවා. මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිශංස සියල්ල කරුණාව වැඩීමෙන් නියත වශයෙන්ම ලැබේ. කරුණාව හා මෛත්‍රිය එකම කාසියේ දෙපැත්ත මෙනි. අපට ජීවිතයේ ලැබිය හැකි විශිෂ්ට බව කරුණාවෙන් ලද හැකියි. එතරම්ම විශිෂ්ටයි කරුණාවේ බලය.

මතු දවසක ගිලන් ඇඳෙහි සිටින විට අප හදවතින්ම කාරුණිකව උදවු කළ යමක් සිහිපත් වූයේ නම් නිරායාසයෙන්ම සුවපත් වේ. එහෙත් අකාරුණික හදවතකට මෙවැනි බල මහිමයක් උරුම වන්නේ නැත. ඔවුන් නිරතුරුවම සමාජයේ දෝෂ දර්ශනයට, පීඩාවට ලක්වේ. දියුණු යැයි සිතුවද දිනෙන් දින පරිහානියටම පත්වේ. පිළිකා, හෘද රෝග ආදී අතිශය බියකරු රෝගාබාධ වැළඳේ.

මිනිස් හදවත තලා පෙළා පිඩා කරන ද්වේශ සහගත ගති ඇත්තෝ මරණින් මතු නිරයේ උපත ලබයි.

ලොවම සුවපත් කරන ඔබට මිලක් වැය නොවන හදවතෙහි කාරුණික බව ඇතිකර ගන්න අදම හිතට ගන්න. එවිට ඔබට මෙලොවත් පරලොවත් සුපහසන්ව වාසය කිරීමට හැකියි.

අනුශාසනාව

කැටවල හේමාලෝක ස්වාමීන්වහන්සේ

746 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න