තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:30

සැමියාගේ භූමිකාව ගැන ගැඹුරින් සිතන්න කාලය ඇවිත්....

Written by 
අගයන්න
(0 මනාප)
අ ද පවුලේ සියල්ලන්ට ම හැල්මේ දුවන්නට සිදු වී තිබේ. මවුපියන්ට මුදල් සෙවීමටත්, දරුවන්ට ඉගෙන ගැනීමටත්, රැකියාවේ දී වැඩි වැඩකොටසක් කිරීමටත් අප හැමටම යන්ත්‍ර මෙන් ක්‍රියා කරන්නට සිදු වී තිබේ.

 

මඳක් නැවතීමෙන් සිතා කටයුතු කරන්නට හෝ විවේකයෙන් සිටීමට කාලයක් ඇත්තේ ම නැති තරම් ය. තිබුණ ද එම කාලය ද මුදල්කර ගැනීමට හෝ වෙනත් දේ සඳහා වැය වේ.

ගැහැනිය පවුලේ වැඩි වැඩ කොටසක් කරන්නිය බව තර්ක කිරීමට අවැසි නැත. දරුමල්ලන්ගේ, සැමියාගේ මෙන්ම ඇතැම් විට මාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ වැඩ කටයුතු ගැන ද සොයා බලා කටයුතු කරන්නේ බිරියයි. ඇයගේ වැඩ කොටස මෙපමණකින් නතර නොවේ. නිවෙසේ පිරිසුදු කිරීම්, රැකියාවට යන්නේ නම් එහි වගකීම් ආදී බොහෝ වැඩ කොටසක් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඇයට කිරීමට සිදුව ඇත. එහෙත් බොහෝ කාන්තාවෝ වැඩි මැසිවිල්ලක් නොනඟා මේ සියල්ල ඉටු කරති.

එහෙත් ස්වාමිවරුන් බොහෝ විට සිදු කරන්නේ රැකියාව කිරීම හා නිවෙසට බඩු රැගෙන ඒම පමණි. එහෙත් තම භාර්යාව සිදු කරන වැඩ කොටස ගැන ඇතැම් ස්වාමිපුරුෂයන්ට වැටහීමක් නැතිවා සේ ය. ඔවුන් නිවෙසට පැමිණි පසුව බිරියට සහාය වීමට සිතන්නේ ම නැත. එසේ සිදුකරනවා නම් ඒ ඉතාමත් සුළුතරයකි. ඔවුන් සිතන්නේ මේ ගැහැනියක සතු යුතුකම් බවයි. එය සැබැවි. එහෙත් ගැහැනියක යනු ද මනුෂ්‍යයකු බව මඳක් සිතිය යුතුය. ඇයට ද විවේකයක් ඇවැසිය.

ස්වාමියාගෙන් ලැබෙන රැකවරණය, සහාය බිරියකට මහමෙරකි. එහෙත් බොහෝ ස්වාමිවරු මෙය නොදන්නා සේ හැසිරීම පුදුම සහගතය. පවුලේ සාමය, සමඟිය, සතුට රැක ගැනීමට නම් බිරිය තේරුම්ගෙන ඇයට හොඳින් සලකන්න. ඉන් ස්වාමියකුට ලබා ගත හැකි ලාභයන් බොහෝය. නිවෙසේ වෙසෙන ගෘහණිය මානසික අසහනයකින්, දුකින් කල් ගෙවයි නම් එය ඇයට පමණක් බලපාන ගැටලුවක් නොවේ. එහි ආදීනව ගෙවීමට සිදු වන්නේ පවුලටමයි.

ඇතැම් පුරුෂයන් තමාගේ බිරිය සියල්ල සිදු කරන හෙයින් ‘එයාම කරපුවාවෙ.. මම මොකටද ඒවට අතගහන්න යන්නේ..’ යැයි සිතයි. එහෙත් මෙසේ පවුලේ සියලු වගකීම් බිරියට පටවා අතපය හකුළා සිටීමෙන් ඔබ නාමිකව පමණක් ස්වාමියා වීම වැළැක්විය නොහැකිය.

අද තරුණ පවුල් ජීවිත බොහොමයක් අවුල් වීමට නිසි සේ වගකීම් ඉසිලීමට නොහැකි වීම හේතුවක් වී තිබේ. මවුවරුන් පුතුන් උස් මහත් කිරීමේ දී ඔවුනට වගකීම් දී නිවෙසේ වැඩකටයුතුවලට ඔවුන්ට ද හවුල් වීමට අවස්ථාව ලබා දිය යුතුය. නිවෙසට බඩු මුට්ටු රැගෙන ඒමට, විදුලි බිල්- වතුර බිල් ආදිය ගෙවීමට, නිවෙසේ සුළු සුළු අලුත්වැඩියා කටයුතු කිරීමේ දී ඔවුන් ද එයට හවුල් කරගත යුතුය. එසේ නැති වූ විට නිවෙසක වැඩ කටයුතු ගැන දැනගැනීමට ඔවුනට අවස්ථාවක් නොලැබී යයි. සියල්ල ඉබේ සිදුවන නිසා හැමවිට ම එය බලාපොරොත්තු වේ. පිරිමියකු සතු පෞරුෂය ගොඩනැගීමට වගකීම් දැරීම ද වැදගත් වේ. එසේ නැතිවූ විට ඔහු ඇඳුම් කඩයක ඇති කඩවසම් ඉටි රූපයකට පමණක් සමාන වීම වැළැක්විය නොහැකිය.

ඔබේ දරුවා වගකීම් සහගත, කාන්තාවන්ට ගරු කරන පිරිමියකු කිරීමේ වගකීම මවට මෙන්ම පියාට ද අයත්ය. පියා මේ වගකීම් පැහැර හරින්නකු නම්, තනිව මිත්‍ර සමාගමේ සිටිමින් විනෝද වන, නිවෙසේ වගකීම් - යුතුකම් පැහැර හරින පුද්ගලයකු නම් එවැන්නකුගේ පුතකුට ආදර්ශයක් ගැනීමට අයකු නොමැති වේ. ඒ නිසා අද වෙසෙන තාත්තා හොඳ තාත්තා කෙනකු වී අනාගත පවුල් ද සුරක්ෂිත කළ යුතුය.

අස්වැන්නෙන් තල බලාපොරොත්තු වේ නම් අද වැපිරිය යුත්තේ තල බව මතක තබා ගන්න.

382 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න