තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:36

කුජ 7 පිහිටීම විවාහ දෝෂයක් නොවේ

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
විවාහ දෝෂ පිළිබඳ තරුණ තරුණියන් බොහොමයකටම ඇත්තේ විවිධාකාර වූ ගැටලු සමූහයක්. එසේ ගැටලු පවතින බොහෝදෙනෙක් තම තමාට යම් යම් විවාහ දෝෂ ඇති බව හඳුනාගන්නේ දෙආරයකටයි.

 

එහිදී විවාහය ප්‍රමාද වීම හෝ විවාහ වූ පසු එහි ගැටලු අර්බුධ මතුවීම යන අවස්ථා දෙකේදී ඔවුන් සංවේදී වන බැව් දක්නට පුළුවන්. එහෙත් විවාහය සඳහා සූදානම් වීමට ප්‍රථම නිසි කේන්ද්‍ර පරීක්ෂාවක් සිදු කරන්නේ නම් එකී විවාහ දෝෂ කල්තබා හඳුනාගැනීමටත් ඒවා සමනය කිරීම සඳහාත් කළ යුතු පිළියම් යනාදිය හඳුනා ගැනීමට ද අවස්ථාව උදා වේ.

කාන්තාවන්ට බලපාන විවාහ දෝෂ අතරින් ඉතා ජනපි‍්‍රය මාතෘකාව වන්නේ 7 වැන්නේ කුජ තැන්පත් වීමේ දෝෂයයි. එහෙත් 7 වැන්නේ කුජ තැන්පත්වීම නිසා හැමවිටම විවාහ දෝෂ හටගන්නේ නැත. එහෙයින් යම් පුරුෂයකුගේ හෝ ස්තී‍්‍රයකගේ කේන්දරයේ 7 වැන්නේ කුජ ග්‍රහයා තැන්පත් වීමෙන් බියවීමට හේතුවක් නැත. 7 වැන්න මේෂ, කටක, මකර, තුලා ආදී චර රාශියන් වීම හෝ 7 වැන්න මේෂ හෝ වෘෂභ රාශියක් වීම හෝ 7 වැන්න ගුරු ග්‍රහයා විසින් දකිනු ලැබීම හෝ අනෙක් සහකරු හෝ සහකාරියගේ කේන්දරයේ ද කුජ 7 වැන්නේ තැන්පත් වීම ආදී සාධක ගණනාවකින් මෙකී කුජ දෝෂය අහෝසි වී යයි.

දෙවැනි කරුණ වන්නේ දළ රාශි කේන්දරයේ 7 වැනි රාශිය මත කුජ ග්‍රහයා පිහිටා සිටීම දකිනු ලැබුණු පමණින් අවසන් තීරණයක් නොගත යුතු බවයි. ඊට හේතු වන්නේ කුජ ග්‍රහයා සැබවින්ම තැන්පත් වී සිටින්නේ කුමන ස්ථානයක ද යන්න භාව කේන්දරය අනුව තීරණය කළ යුතු හෙයිනි.

දළ රාශි කේන්දරය අනුව කුජ ග්‍රහයා කුමන බවස්ථානයක තැන්පත්ව සිටී ද යන්න නිශ්චය කළ නොහැකියි. ඇතැම්විට රාශි කේන්දරයේ 7 වැන්නේ කුජ සිටිය ද භාව කේන්දරයේ දී සිටින්නේ 6 වැන්නට හෝ 8 වැන්නට අයත්ව බව බොහෝ අවස්ථාවල පෙනී ගොස් තිබේ. එහෙයින් අවධාරණය කළ යුතු වන්නේ කිසියම් කේන්දරයක කුජ ග්‍රහයා 7 වැන්නේ සිටිනු දුටු පමණින් එය විවාහ දෝෂයක් ලෙස සැලකීම නුසුදුසුය. හත් වැන්නට අමතරව 4,8,12 ආදී ස්ථානවලද කුජ ග්‍රහයා පිහිටා සිටීම කුජ දෝෂයක් ලෙස ඇතැම්හු වරදවා තේරුම් ගනියි. මෙසේ ගත් කළ කුජ දෝෂය නොමැති කේන්දර හමුවන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් කේන්දර 10 ක් ගතහොත් ඉන් අඩුම තරමින් කේන්දර 7 ක වත් මොනම ආකාරයේ හෝ කුජ දෝෂයක් තිබෙනු දැකිය හැකියි. එසේ නම් මේ ලෝකයේ බොහෝදෙනකුට විවාහ ජීවිත උරුම විය නොහැකිය. එහෙත් එය එසේ වන්නේ ද නැත. මේ සඳහා බලපාන හේතුව වන්නේ විවාහය සඳහා බලපාන කුජ දෝෂ වර්ග දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති නමුත් ඒවා හටගන්නවාත් මෙන්ම එකී දෝෂ භංග කරවන වෙනත් ග්‍රහ පිහටීම් ද එකී කේන්දර තුළම අඩංගු වී තිබීමයි.

කුජ දෝෂය පමණක් උළුප්පා දකිමින් එයම හුවා දක්වනවා වෙනුවට පරිණත ජ්‍යෝතිෂවේදියකුට එම දෝෂය භංග කරවන ග්‍රහයන් ද පරීක්ෂා කළ හැකියි.

කුජ දෝෂය කුජ දෝෂය යැයි කියමින් විවාහය ප්‍රමාද කරගන්නා තරුණ තරුණියන් මේ සම්බන්ධයෙන් ඇත්ත ඇති සැටියෙන් වටහා ගන්නේ නම් එය ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරවන හේතුවක් වනු නොඅනුමානයි.

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

913 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න