තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 13:12

සුවබර නින්දකට කොට්ටයක වැදගත්කම

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ජීවිතයේ සැලකිය යුතු කාලයක් නින්ද සඳහා අපි වැය කරනවා. සුවබර නින්දක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් දෙයක් කියන එක කවුරුත් දන්න දෙයක්.

 

ඒ තරම් ජීවිතයට වැදගත් වෙන සුවබර නින්දක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් දෙයක් තමයි කොට්ටය. ඔබට ගැළපෙන කොට්ටය තවම තෝරාගෙන නැත්නම් එය නින්දට බාධාවක් වගේම ශරීරයේ ආබාධ රැසකට හේතුවක් වෙනවා.

නිවැරදි කොට්ටයක් තෝරා නොගැනීමෙන් බෙල්ලේ සහ උරහිස්වල මස්පිඩු පීඩාවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතා, නින්දේදී ගෙරවීම ආදී සුව නින්දට බාධා ඇතිකරන දේ සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම වෛද්‍යවරු පවසන්නේ බොහොමයක් කොන්දේ වේදනාවන්, වඩාත් සුදුසු කොට්ටයක් තෝරා ගැනීමෙන් පමණක් සුවකළ හැකි බවයි.

කොට්ටයකින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද?

සාමාන්‍යයෙන් මිනිසකුගේ බෙල්ල තරමක් ඉදිරියට නැමිලයි තියෙන්නේ.

නිදාගන්න විටත් මේ නැමුම ඒ ආකාරයෙන්ම තබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

කොට්ටයකින් බලාපොරොත්තු වන්නේ බෙල්ලේ තිබෙන ඒ ස්වභාවික පිහිටීම නින්දේදීත් පවත්වාගෙන යාමයි.

ඒ නිසා ඔබ කොයි අතට නිදා ගත්තත් ඔබේ කොට්ටයට බෙල්ලේ හැඩය නියමිත විදිහට පවත්වාගෙන යන අතරම හිස සහ උරහිස් සෘජුව තබා ගැනීමට හොඳ ආධාරකයක් සැපයීමට හැකි විය යුතුයි.

නිවැරැදි කොට්ටයක් තෝරා ගන්නේ කොහොමද?

ඔබට ගැළපෙන කොට්ටයක් තෝරා ගන්නා විට සිරුරේ ප්‍රමාණය, සෑදීමට යොදාගත් අමුද්‍රව්‍ය, කොපමණ වේලාවක් නින්ද සඳහා වැය කරනවාද වගේ දේවල ගැන සැලකිලිමත් වන්න වෙනවා. ඒත් වැදගත්ම දේ වෙන්නේ ඔබ නිදා ගන්නා ඉරියව්වයි.

සාමාන්‍ය කොට්ටයක උස අඟල් 4 ත් 6 ත් අතර විය යුතුයි. ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව කොට්ටයේ උස අඩු වැඩි විය යුතුයි.

ඔබ මුහුණ ඉහළට සිටින සේ නිදා ගන්නවා නම් ඔබ තෝරාගත යුත්තේ උසින් අඩු කොට්ටයකි.

උසින් වැඩි කොට්ටයක් තෝරා ගතහොත් ඔබේ හිස ඉදිරියට තල්ලුවීමක් සිදුවන නිසා උදෑසන අවදිවීමේදී අපහසුතාවයක් ඇතිවෙනවා. මේ ආකාරයට නිදා ගැනීමේදී කොන්දේ අපහසුතාවයක් ඇති වේ නම් දණහිස්වලට යටින් කොට්ටයක් තබාගැනීම සුදුසු වෙනවා.

පැත්තට හැරී නිදා ගන්නවා නම් නිදා ගන්නට සුදුසුම ඉරියව්ව මෙයයි. මේ විදිහට නිදාගන්න අය ටිකක් උසින් යුතු කොට්ටයක් තොරා ගත්තාට වරදක් නැහැ.

මෙම කොට්ටය කොඳුඇට පෙළ සෘජුව තබා ගැනීමට බෙල්ලට සහ හිසට හොඳ ආධාරකයක් විය යුතුයි.

ඒ වගේම කොට්ටයෙන් කොන්දට හෝ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති නොවිය යුතුයි.

බඩ යටට සිටින සේ නිදා ගන්නවා නම් මේ විදිහට නිදා ගන්න එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි.

ඒත් මේ ඉරියව්වෙන් නිදා ගන්න අය පාවිච්චි කළ යුත්තේ ඉතාමත් උසින් අඩු පැතලි කොට්ටයකි.

ඔබ නිදා ගන්නා ඉරියව්වට ගැළපෙන කොට්ටයක් භාවිත කිරීමෙන් කොන්දට සහ බෙල්ලට ඇතිවිය හැකි ආබාධයන් අවමකර සුවබර නින්දක් ලබා ගැනීමට හැකිවේවි.

සුවබර නින්දක් නිසා ලැබෙන විවේකය ඔබ අවදියෙන් සිටින විට ඔබගෙ ක්‍රියාශීලීත්වය වැඩි කිරීමට වගේම නිරීගී ජීවිතයකටත් ප්‍රභලම සාධකයක් වේවි.

  අන්තර්ජාලය ඇසුරින්

320 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 13:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න