තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 13:21

අවදානමට පෙර සූදානම වැදගත්

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
ඈ තම දරු පැටවුන්ට දෙතනෙන් කිරි දුන්නේ අපිරිමිත දාරක ස්නේහයෙනි. මිත්තණියකව සිටියදී දරුවන්ගේ දරුවන් උස් මහත් කරන්නටත් අපමණ ලෙස වෙහෙසුණා ය.

 

රැකියාවට ගිය මවගේ අඩුව නොදැනෙන්නට ඇය තම මුණුබුරු මිණිබිරියන්ට ද තම දෙතන දුන්නේ පාළුව, කාංසිය මඟ හරවන්නට ය. එහෙත් දෛවය ඇයට කුරිරු විය. පියයුරු පිළිකාවේ ගොදුරක් බවට පත් වූ මේ සොඳුරු අම්මා, ආච්චි අම්මා දැන් මෙලොවින් සමුගෙන ය. කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් පිළිකාවේ බිල්ලක් වන්නේ යම්සේ ද ඒ පියයුරු පිළිකාව නිසාම ය. සියයට 25 ක් පමණ කතුන් පියයුරු පිළිකාව නිසා පීඩා විඳිති. මෙලොව හැර යති. ඒ හැරුණු විට කාන්තාවන් පිළිකාවේ ගොදුරක්වන සෙසු අවස්ථා අතර පිළිවෙළින් ගැබ්ගෙල පිළිකා, මහා අන්ත්‍රයේ පිළිකා, පෙනහලු පිළිකා, ආමාශයේ පිළිකා, ඩිම්බකෝෂ පිළිකා හා ගර්භාෂයේ පිළිකා වේ.

පියයුරු පිළිකාව යනු පියයුරු පටකවල අසාමාන්‍ය වර්ධනයක් සිදුවීම පියයුරු පිළිකාවයි.

පූර්ව ලක්ෂණ

පියයුරු පිළිකාවන් ස්වරූප කිහිපයකින්ම දිස් වේ. පිළිකා සෛලවලින් හැදුණු ගැටිත්තක් නොහොත් ලම්ප් එකක් වැඩි වශයෙන් දක්නට ලැබේ. මෙම ගැටිත්ත පියයුරේ හෝ කිහිල්ලට ආසන්නව තිබිය හැකිය. තවත් කෙනකුට තන පුඩුවෙන් රුධිරය හෝ යම්කිසි ස්‍රාවයක් පිටවන්නේ නම් එය ද එක්තරා පෙරනිමිත්තකි. නැතහොත් සැක දනවන තත්ත්වයකි. ඇතුළට ඇදුණු (ධ්දමඥපබඥඤ) තනපුඩුව ද තරමක් සැක සහිත ය. තවත් කෙනකුගේ පියයුරේ සම දොඩම් ලෙල්ලක් මෙන් තැනින් තැන එබී පවතී. පියයුරෙන් දිගින් දිගටම වේදනාවක් ඇතිවීම, තනපුඩුව දැවිල්ල ස්වභාවයක් ගැනීම, වසාගැටිති ඉදිමීම හෙවත් බෙල්ලේ, කිහිල්ලේ කුද්දැටි හට ගැනීම යන පූර්ව ලක්ෂණ පිළිබඳ දැනුවත්ව සිටීම වටී.

අවුරුදු හතළිහ ඉක්මවා ගිය කතුන් තම පියයුරු පිළිබඳ අවධානයෙන් සිටිය යුතු වේ. පියයුරුවල පැහැය, හැඩය, ප්‍රමාණය යන ඒවාහි වෙනසක් වන්නේ නම් ඒ ඔස්සේ කටයුතු කළ හැකි වන්නේ එවිටයි. මේ සියලු කාරණා අතරින් බහුතරයකට දැකගත හැකි වන්නේ ගැටිති තත්ත්වයයි.

අවදානම් කාණ්ඩ

පවුලේ අය පියයුරු පිළිකාව නිසා පිඩා වින්දේ නම්, ඩිම්බ කෝෂවල පිළිකා තිබුණේ නම් අවදානමට පෙර අවධානය වැදගත්ම එකක් වේවි. වයසට යෑමත් සමඟින් මෙම තත්ත්වය හටගත හැකි අවස්ථා ද වැඩි ය. අසාමාන්‍ය ජානවල අවදානමක් ඇති අය ද පිළිකාවේ ගොදුරක් වීමට ඇති ඉඩකඩ වැඩිය. කලින් පියයුරේ ගැටිත්තක් තිබූ අය ඒවාහි කොටස් ඉවත් කළ අය ද අවදානම් කොටසේ සිටියි. එක් පියයුරක පිළිකා සෛල මුලින්ම හඳුනාගෙන ඉවත්කර ඇති අයකුට අනෙක් පියයුර පිළිබඳව ද සැලකිල්ලෙන් සිටීමට සිදු වේ.

මුල් මාසික ශුද්ධවීම අවුරුදු 12 ට පෙර සිදු වී අවසන් මාසික ශුද්ධවීම අවුරුදු 55 ඉක්මවා ගොසින් සිදු වී නම් ඔවුන් ද පියයුරු පිළිකාවේ අවදානම් කාණ්ඩයට අයත් අය වේ.

පියයුරේ ඝනකම් ගතිය වැඩි නම් ඒ පිළිබඳ ද සිතන්න. එසේම වයස අවුරුදු 30 ට පෙර එක්ස්-රේ ඇතුළු විකිරණ පරීක්ෂාවන් බොහොමයක් කරඇති කෙනෙක් විමසිල්ලෙන් සිටීම වටී. දරුවන් නොමැතිව සිටියි නම්, පළමු දරුවා ලැබුණේ අවුරුදු 35 ට පසුව නම් එය ද අවදානමකි. කාන්තාවක් සිගරට් බීමට ඇබ්බැහිව සිටියේ නම් සතියකට තුන් වතාවකට වඩා ඇල්කොහොල් පානය කළේ නම් එවැනි කතුන් ද පියයුරු පිළිකාවේ ගොදුරු ය. ශරීර බර වැඩි අයත්, ව්‍යායාම් නොමැති අයත් අවධානයෙන් සිටීම අනාගතයේ සුබ නිමිති පළ කරන්නකි.

පියවර 4 ක් ඔස්සේ

පියයුරු පිළිකාවක් පියවර 0 සිට 4 දක්වා දිව යයි. පිළිකා ගැටිත්තේ ප්‍රමාණය මත, එය කෙතරම් ගැඹුරට පැතිරෙන ගතියක් තිබේ ද නැද්ද යන්න (ප්‍රචණ්ඩත්වය), වසා ගැටිතිවලට පැතිරී ඇත් ද, වෙනත් අවයව කරා පැතිර ඇත් ද යන කරුණු මත මෙම අවධි හතර බෙදා දක්වයි.

0 පියවර යටතේ එම ගැටිත්ත පිළිකාවකට මුල පිරීමක් විය හැකිය. මෙය බොහෝ විට පරීක්ෂණ මට්ටමේ පවතින අවස්ථාවකි. එය පිළිකා අවස්ථාවක් ලෙස හඳුන්වන්නේ නැත.

1 පියවර යටතේ පිළිකා සෛල යන්තම් පියයුරු පටකවලට ගොස් තිබෙන්නට පුළුවන.

2 වැනි පියවරේ දී සෙන්ටි මීටර් 2 කට වඩා වැඩි කුද්දැටි දැකිය හැකියි. එනම් පියයුරේම වසාගැටිති කරා පැතිර ගොස් අවසන් ය.

3 වැනි පියවරේ දී වසාගැටිති වැඩි ප්‍රමාණයක් කරා ගොස් ය. ඒ පියයුරේ වසාගැටිති පමණක් නොවන්නට පුළුවන.

4 වැනි පියවර අවදානම්කාරී එකකි. එහිදී වසා ගැටිතිවලට මෙන්ම අනෙකුත් අවයව කරාත් පිළිකා සෛල වේගයෙන් පැතිර ගොසිනි. මෙම අවස්ථාව උග්‍ර වූ විට ඇතැමුන්ට ජීවිතයට ද සමු දෙන්නට සිදුවේ.

පිළිකා සෛල බොහොමයක් පැතිර යන්නේ වසාගැටිති හරහා ය. එය වේගයෙන් ව්‍යාප්ත වනඅතර වේගයෙන් විභේදනය (කොටස්වලට බෙදී) වේ. මෙහිදී සරුසාර වගාවක වේගයෙන් වල් පැල බිහි වන්නාක් මෙන් හොඳ සෛල විනාශ කරමින් පිළිකා සෛල නිපදවේ.

ස්වයං පරීක්ෂාව

ස්වයං පරීක්ෂාව ඉතාම වැදගත් ය. පියයුරු පිළිකාවක ලක්ෂණ තමා කෙරෙන් විද්‍යාමාන වේදැයි බැලීමට මෙය වැදගත් වේ. එහි දී කැඩපතක් ඉදිරියට ගොස් අත් දෙක පහළට දමා පියයුරු දෙකෙහි වෙනසක් තිබේදැයි බලන්න. එක් අතක් හිසට ඉහළින් තබා ඇදීමක් වෙනසක් ඇත්දැයි බලන්න.

මැමෝග්‍රෑම් පරීක්ෂණයක්

මෙම පරීක්ෂණය ඔස්සේ පුංචිම හෝ වෙනසක් ඇත්නම් එය සැකහැර දැනගත හැකිවේ. එක් එක් අවධි සඳහා මැමෝග්‍රෑම් පරීක්ෂණය සිදුවේ. මෙහිදී සුවිශේෂී එක්ස් කිරණ වර්ගයක් හරහා පියයුරු සෛල ඉතා සියුම්ව පරීක්ෂාවට ලක්වේ.

කල්තියා හඳුනාගත හැකි සාර්ථක පරීක්ෂණයක් නිසා කාන්තාවක් වයස අවුරුදු 40 න් පසු වසර දෙකකට වතාවක්, යම් අවදානමක් ඇත්නම් වසරකට වතාවක් මේ සඳහා යොමු විය යුතු වේ.

භයානක නොවන අවස්ථාවක දී සිදු කෙරෙන්නේ රෙගියුලර් මැමෝග්‍රෑම් පරීක්ෂණයයි. සමේ වෙනස්වීම් ඇත්නම්, තද ගතියක් ඇත්නම් මාස හයකින් පමණ නැවත පරීක්ෂාවක් කළ යුතුවේ.

වෛද්‍ය උපදේශනයන්ට අනුව බයොප්සි එකක් පරීක්ෂා කෙරේ. ඉන්පසු ශල්‍යකර්මයකට යොමු විය හැකිවේ. පියයුරුවල පටක ඉතාම ලිහිල් නිසා පැතිරීමත් සීඝ්‍රයෙන් සිදුවිය හැකි බැවින් තත්ත්වය භයානක විය හැකියි. ර්අධ් පරීක්ෂණය, අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය හරහා මැමෝග්‍රෑම් පරීක්ෂණයෙන් දුටු දේ කෙතරම් දුරට පැතිරී ඇත්දැයි හඳුනාගත හැකිවේ.

3D ඔස්සේ

පියයුරු පිළිකා හඳුනා ගත හැකි නවීනතම පරීක්ෂණය Tomo Synthesis Screen  මැමෝග්‍රෑම් පරීක්ෂණයයි. මෙහිදී ත්‍රිමාණ සජීවීකරණය ඔස්සේ පුංචි පිළිකා සෛල වුවත් හඳුනාගත හැකි වේ. තද ගතියෙන් වැඩි පියයුරු සාමාන්‍ය ක්‍රමයට වඩා 3D ක්‍රමයට මැමෝග්‍රෑම් පරීක්ෂණය සිදු කිරීමෙන් වැඩිමනත් කරුණු අනාවරණය කරගත හැකි වේ.

උපත් පාලන පෙති

අවුරුදු 10 කට වැඩි කාලයක් උපත් පාලන පෙති ගෙන සිටින කෙනකුට සුළු වශයෙන් පියයුරු පිළිකා වර්ධනය විය හැකියි. එසේම ආර්තවහරණයෙන් පසු තවදුරටත් තරුණ බව රැකදීමට ඊස්ට්‍රජන් හෝර්මෝනය දිගින් දිගටම ගනිද්දී එහිදී ද අවදානමක් ඇතිවීමට පුළුවන. පළිබෝධනාශක සමඟ නිතරම ගැවසීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ද පියයුරු පිළිකාව ඇතිවීමට පුළුවන.

ග්‍රොසරි බිල්වල මතුපිට ඇති BMP  රසායනය ද යම් දුරකට පියයුරු පිළිකා ඇති කිරීමට සමත් වේ. මෙහිදී අයකැමිවරුන් ලෙස කටයුතු කරන කතුන් අත් ආවරණ පැලඳ සිටීම වැදගත් වේ.

මේ හැරුණු විට ඩියෝඩ්රන්ට් භාවිතය කෙරෙහි අනියත බියක් දැක්විය යුතු නොවේ. කෙසේ වෙතත් එවන් දේ සෘජුවම සමේ තැවරීමෙන් වැළකී සිටීම සුදුසු වේ.

සුදු ජාතික කතුන්ට පියයුරු පිළිකා සෑදීමේ අවදානම වැඩිය. එහෙත් කළු ජාතිකයින්ට පියයුරු පිළිකා සෑදීමෙන් පසු එහි ව්‍යාප්තිය හෙවත් සිරුර පුරා පැතිර යෑමට ඇති ඉඩකඩ වැඩි ය.

අවදානමට පෙර සූදානම ඇත්නම් ඔබ පියයුරු පිළිකාවේ ගොදුරක් නොවන්නට ඇති ඉඩකඩ බොහෝ ය.

 

උපදෙස් - විශේෂ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

813 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 13:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න