තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:54

අම්මා කෙනකුට මේ දුක දරා ගත හැකි ද?

Written by 
අගයන්න
(0 මනාප)
‘අනේ මගේ පුතේ.. නැගිටින්නකෝ.. මම ඔයාට ලස්සනින් අඩුවක් කළා ද? බුද්ධියෙන් අඩුවක් කළා ද? ඔයාගේ අතපය අඹරලා හැදුව ද? ඇයි මගෙ පුතේ අම්මා ගැන හිතුවේ නැත්තේ..’

 

මේ ශෝකාලාපය අසන්නන්ගේ හදවත ශෝකයෙන් කම්පිත කරවයි. මේ ඒ අම්මා තම පුතුගේ දේහය සිඹිමින් කියූ වදන් ය.

යොවුන් පරපුරේ ආකර්ෂණය දිනා ගත් නවක යොවුන් නළුවෙක් වූ දසුන් නිශාන්තගේ සියදිවි සනා ගැනීම කලා ලොව මෙන්ම සමාජය ම මහත් කැලඹීමකට පත් කළ සිදුවීමක් විය. කලා ලොවේ කා අතරත් ‘පොඩි දස්සා’ ලෙස ප්‍රචලිත ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පැතිරෙන කටකතා, ඕපදූප ගැන තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නැත. මක් නිසාද දින සති මාස ගත වී යද්දී දසුන්ගේ මතකය ඔහුට ළෙංගතු සියල්ලන්ගේ ම සිතින් දුරස් වී යා හැකිය.

එහෙත් දස මසක් කුස දරා ආදරයෙන් රැක බලාගෙන, විවිධ අතුරු අන්තරාවන්ගෙන් පරෙස්සම් කරගෙන මහ මෙරක් තරමට සිහින, බලාපොරොත්තු පොදි බැඳගෙන මෙලොවට බිහි කළ ආදරණීය මවු කෙනකුට මේ දුක බර වැඩි බව ඔබට මොහොතකටවත් නොදැනුණේ මන්ද?

අපට ඇහෙන්නට දකින්නට වූ කතා අනුව දසුන් පුංචි සන්ධියේ ම පියා ඔවුන් අතැර විදෙස්ගත වී ඇත. දසුන්ටත් පුංචි මල්ලීටත් එදවස පටන් අම්මා එකම හව්හරණ වී ඇත. නැවත මෙරටට සැමියා නොඑන බව දැනගත් මේ අම්මාට දරු දෙදෙනාගේ අනාගතය උදෙසා ජීවන බර කරට ගන්නට සිදු වූයේ අන් සරණක් නොවුණු බැවිනි. දරු දෙදෙනා සමඟ තනි වූ මේ දිරිය මව අයිස්ක්‍රීම් වෙළෙඳාමේ නියැළෙමින් පුතුන් දෙදෙනාගේ ජීවිත සරි කරන්නට ඇප කැප වී කටයුතු කළා ය.

පුංචි සන්ධියේ පටන් ම දසුන් ඉගෙනුමට දස්කම් පෑවෙන් ඔහු විශ්ව විද්‍යාලයට යන දුරට ම රැගෙන ආවේ ඇගේ ධෛර්යය මෙන්ම හෙළූ දහදිය කඳුළු ගමනේ සතුටු කඳුළු කරමිනි. කලක් ඇවෑමෙන් දසුන් පරිගණක ඉංජිනේරුවරයෙක් විය. රැකියාවේ නිරත වන අතරම මෝස්තර නිරූපණයට, ගීත රූප රචනාවලට එක් වූ ඔහු අවසානයේ නතර වූයේ නළුවෙක් ලෙස පුංචි තිරයට හා රිදී තිරයට එක් වෙමිනි.

දරු දෙදෙනා සමඟ ආ ඒ දුක් කම්කටොළු, බාධක, ගැහැට පිරි කාලවකවානුව ඇයට තව දුරටත් වේදනාවක් නොවූයේ ලොකු පුතා ලබන අසීමිත ජනපි‍්‍රයත්වය දකින්නට ලැබීමෙනි. කඳුළු අතරින් ඈ සිනාසෙන්නට පටන් ගත්තා පමණි.

එහෙත් අනපේක්ෂිතව සිදු වූ දසුන්ගේ වියෝව මේ අම්මාට කවරාකාරයේ වේදනාවක් ගෙන දෙන්නට ඇත්ද? පරෙස්සමෙන් රැකගෙන.. උස්මහත් කරමින්.. හොඳින් උගන්වා සමාජයට දායාද කළ දසුන්ට ඔහුගේ ජීවිතය රැක ගන්නට තරම් ශක්තියක් නොවුණේ ඇයි? ජීවිතයෙන් පලා යාම ප්‍රශ්නවලට විසඳුම ද? දසුන් සිය 29 වසරක් පුරා සිය සහතිකපත් අධ්‍යාපනයෙන් මෙන්ම සමාජ අත්දැකීම්වලින් ලැබූ පරිචය මෙය ද?

ආදරණීය දරුවනේ, ජීවිතය යනු රෝස මල් යහනාවක් මත ගලා යන්නක් නොවේ. ජීවිතය වූ කලී ගංගාවක් වැනි ය. ගල්, බොරලු, වංගු මතින් ගලන ගඟ සුන්දර වන්නේ කෙලෙස ද ප්‍රශ්න මැදින් ඉදිරියට යන ජීවිතවල ද අපූරු සුන්දරත්වයක් ඇති බව සිතට ගන්න. ප්‍රශ්න අපට පැන නැගෙන්නේ කලින් දැනුම් දීමකින් තොරව ය. විවිධ අවස්ථාවල විවිධ ප්‍රශ්නවලට එලෙස මුහුණ දීමට සිදුවනු ඇත.

එනිසා පුංචි කාලේ පටන් ම ප්‍රශ්නවලට ඔරොත්තු දීමේ හැකියාව දරුවන්ට පුරුදු පුහුණු කරවීමත් අද දවසේ මවකගේ කාර්යභාරය අතර ප්‍රමුඛ විය යුතුයි. ජීවිතයෙන් පලා යාම නිවටකමකි. මනුෂ්‍යත්වයට කරන මහත් වූ අවමානයකි. හැම ප්‍රශ්නයකට ම විසඳුමක් ඇත. එය කාලයාගේ ඇවෑමෙන් විසඳා ගැනීමට ක්‍රියා කරනවා මිස ජීවිතයෙන් පලා යාමට සිතීමත් අනුවණකමකි. උගත් දූ පුතුන් මෙලෙස ජීවිත තමා විසින් ම හානි කරගැනීම මහා ඛේදවාචකයකි.

පසුගිය කාලය පුරා ම මෙවැනි සිය දිවි හානිකර ගැනීම් නිතර නිතර අසන්නට දකින්නට ලැබිණි. සමීපතම සිදු වීම දසුන්ගේ මරණයයි. වෙනසකට තිබුණේ ඔහුගේ දිවි නසා ගැනීමත් සමඟ සමාජයට බරපතළ වැරැදි ආදර්ශයක් ලබා දීම ය. එනම්, ඔහුගේ ජීවිතයේ අවසාන තත්ත්පර කිහිපය.. තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමෙන් ඔහු කුමක් බලාපොරොත්තු වූයේ ද යන්න සිතීම ඔබට බාරය.

මෙම සටහන අවසන් කරමින් මවක් ලෙස මට හිතට දැනෙන යමක් කියන්නට සිතේ.. ‘හිමාලෙට වඩා උසයි දරුපෙම හදවතේ...’ මේ හැම අම්මා තාත්තා කෙනකුගේ ම හදවතේ දරුවන් කෙරෙහි ඇති ආදරයේ මහිම ය.

484 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න