තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:17

රුව හා බුද්ධියට වඩා අගනා ඉවසීම

ලිව්වේ  තිලක් පුෂ්පකුමාර සේනානායක
අගයන්න
(1 මනාපය)
වැඩි දෙනකු රුවට හා බුද්ධියට සලකති. ලෝකයේ රුවැත්තියන් කඩවසම් පුරුෂයන්ට වසඟ වූවෝ රාජ්‍යයන් පවා ඔවුන් වෙත පුද කළ හ. මැදපෙරදිග අභිරූපිකාවක් වූ ක්ලියෝපැට්රා රැජිනට වහවැටුණු සෙනෙවියෝ ඇය වෙනුවෙන් යුද්ධවලට පවා සහභාගි වූ හ.

 

ලෝකයේ රුවැත්තියන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛස්ථානය හිමි වන්නේ වෙනිසියුලාවටයි. ලෝක ප්‍රකට රූ රැජිණියන් රැසක්ම වෙනිසියුලාවෙන් බිහි වී ඇත. යමකුට උසස් රූප සම්පත්තියක් බුද්ධියක් ලැබුණත් ඉවසීම නැතිනම් ඵලක් නැති බව පුරාණ සෘෂීන් පවසා ඇත.

ඇමෙරිකාවේ ප්‍රකට නිළියකවන ඇන්ජලිනා ජොලිී ප්‍රසිද්ධියට පත් වූයේ ඇගේ රූප සොබාව නිසාවෙනි. පැරිස් හිල්ටන් නම් ප්‍රකෝටිපතිනිය ප්‍රසිද්ධියට පත් වූයේ ඇගේ රුව හා ධනය නිසාවෙනි. රුවින් ද බුද්ධියෙන් ද අගතැන්පත් පැරිස් හිල්ටන් ඉවසීමක් නැතිව කටයුතු කරන්නියකි. මේ නිසාම ඇගේ සංකීර්ණ චර්යා රටාවන් සමාජයට මහත් හිසරදයක් වුණු අවස්ථා විරල නැත.

ලොව ප්‍රකට සටන් නළුවකු වූ බෲස් ලී වරක් ප්‍රකාශ කළේ ඉවසිමෙන් ඔබ ඔබගෙන්ම ඔබ තුළින්ම ඔබට අවශ්‍ය දේ ලබා ගත යුතු බවයි.

බුදු දහමට අනුව ඉවසීම උතුම් ගුණාංගයකි. සැරියුත් මහ රහතන් වහන්සේ පිඬු සිඟා වඩින විට බමුණකු විත් වැරෙන් මහ රහතන් වහන්සේට පහර දුන්නත් පිටුපස නොබැලූ උන්වහන්සේ සන්සුන්ව ඉවසීමෙන් යුක්තව ඉදිරියට පියවර තැබූ බවත්, මේ බව මහජනතාවට ආරංචි වී බමුණා මැරීමට ජනතාව රැස් වූ විට උන්වහන්සේ බමුණා බේරාගත් බවත් බෞද්ධ කතාවල එයි. මෙමඟින් සැරියුත් මහ රහතන් වහන්සේගේ අසීමිත ඉවසීමේ ගුණය වඩාත් ප්‍රකට වේ.

රූපයත් බුද්ධියත් බැබැළෙන්නේ ඉවසීම නිසාවෙනි.

ඉවසීම නොමැති තැනැත්තා හබලක් නැති ඔරුවක් හා සමාන ය. රුසියාවේ මහ ගත්කරු මැක්සිම් ගෝර්කි යුග දෙකක් තුළ සිය පෑන මෙහෙය වූ අභීත රචකයෙකි. ඔහු පැරැණි සාර්ගේ රුසියාවත්, ලෙනින්ගේ සෝවියට් රුසියාවත් අතර පාලමක් විය. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය වනතුරුම ගෝර්කි දැඩි ඉවසීමකින් කටයුතු කළේය. එසේම ඔහු තම සුවිශිෂ්ට ග්‍රන්ථය වූ ‘අම්මා’ නවකතාව ලියමින් විප්ලවයට නව ජවයක් එක් කළේය. ඔහුගේ මේ ඉවසී ම නිසාම ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සියැසින් දැකගත හැකි විය. ගෝර්කිගේ බුද්ධිය වඩාත් දීප්තිමත් වූයේ අසීමිත ඉවසිමේ ගුණය නිසාවෙනි.

ඉවසීම මිනිසාට ජයග්‍රහණය ළඟාකර දෙයි

ඉවසීම මිනිසකුට ජයග්‍රහණය කැඳවන අතර ඔහුගේ රූපයත් බුද්ධියත් දැකුම්කලු කරයි. ඉවසීම නිසාම ප්‍රසාදයට පත් පුද්ගලයෝ ලොව එමට සිටිති. දකුණු අප්‍රිකානු නිදහස් සටනේ නායක ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා දශක ගණනක් සිරබත් කමින්, ප්‍රතිවාදී මත ඉවසමින්, අවසානයේ ජනතාවගේ ප්‍රසාදය දිනා දකුණු අප්‍රිකාවේ ජනාධිපති පුටුවට පත් විය.

ලෝ ප්‍රකට බොක්සිං ශූර මයික් ටයිසන් ඉවසීම නැති පුද්ගලයකු වූ අතර මේ නිසාම ලෝක අපවාද ඔහු වෙත එල්ල විය. වරක් තියුණු බොක්සිං තරගයකදී සිය ප්‍රතිවාදියාගේ මුෂ්ටි ප්‍රහාරයෙන් කැළඹුණු ටයිසන්, ඉවසීමක් නැතිව ප්‍රතිවාදියාගේ කන සපා කෑවේය. මේ තරගය ලොව පුරා කෝටි 50 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් රූපවාහිනියෙන් නැරැඹූ අතර, අති ධාවනකාරී ඉරියව් සහිත ඉවසීමක් නැති බොක්සිං ශූරයාගේ හැසිරීම පේ‍්‍රක්ෂක විවේචනයට ලක් විය.

ක්‍රීඩාවේදී ඉවසීම අත්‍යවශ්‍ය දෙයක්වන අතර පරාජය තුළින් ජයග්‍රහණය ලැබීම ක්‍රීඩාවේ ඇති ප්‍රබල අංගයකි. ලෝ ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක්ම වැටුණු විට යළි නැගී සිට පරාජය බාර නොගෙන ඉවසීමෙන් ඉදිරියට ගිය අය බව ඔවුන්ගේ ජීවිත කතා තුළින් පැහැදිලි වේ.

ඉවසීමක් නැති තැනැත්තා කොන්වෙයි

ඉවසීමක් නැති තැනැත්තා සමාජයෙන් කොන්වීමටත් අපවාදයටත් පාත්‍ර වේ.

ලාංකේය සමාජය තුළ මුල් බැසගෙන ඇති මතයක් නම් ඉවසන්නා පණ නැති බයාදු පුද්ගලයකු බව ය. එහෙත් ඉවසීමට මහා පෞරුෂයක් තිබිය යුතුය. ලෝකයේ සටන් ශූරයන් තම සාමාන්‍ය ජීවිතයේදී ඉවසීමෙන් කටයුතු කළ බවත්, ශක්තිවන්තයා ඉවසීම බයාදු දෙයක් ලෙස නොසලකන බවත් ඔකිනාවා සටන් ශූරයන් ඔප්පු කොට ඇත.

රයිට් සහෝදරයන්ට ප්‍රථම ගුවන් යානය මිනිත්තු කීපයක් අහසේ රැඳවීමට හැකි වූ අතර පසුව ඔවුන් දෙදෙනා ලෝකයේ විප්ලවයක් ඇති කළේ ‘ඉවසීම’ නිසාවෙනි. ලොව ප්‍රථම හදවත් බද්ධය කළ ක්‍රිස්ටීන් බර්නාඩ්ගේ ඉවසීමේ ජයග්‍රහණය ලොවට ප්‍රකට විය. ලෝකයේ ගැහැනියකගේ අසීමිත ඉවසීම හා කැපවීම ගැන කියන විශිෂ්ටතම සිනමා නිර්මාණයක් වූ ‘බියුටිෆුල් මයින්ඩ්’ චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තකි.

මෙය සත්‍ය කතා පුවතක් පදනම් කොට ගෙන තැනු මන්දගාමී රූප රාමු සහිත, පෙරදිග සිනමා භාෂාවට ළං වූ සිනමා නිර්මාණයකි. ගණිතය පිළිබඳ හසල දැනුමක් ඇති මහාචාර්යවරයකුගේ ජීවිත කතාව මේ මඟින් අනාවරණය වේ. මෙම මහාචාර්යවරයා තරුණ කල තරුණියන්ට ආදරය කරන්නේ කායික තෘප්තිය ගැන සිතමිනි. ඔහු තරුණියක හා හාද වී පළමු දිනයේම ඇයට කායිකව එක්වීමට ආරාධනා කරයි. මහාචාර්යවරයාගේ නොදැනුවත්කම ගැන ඉවසන තරුණිය, අවසානයේ ප්‍රේමයේ සැබෑ තත්ත්වය කියා දී ඔහු හා විවාහ වෙයි. මේ අතර මහාචර්යවරයාට මනෝ ව්‍යාධියක් වැලඳෙයි. අමතක වීම, විවිධ ශබ්ද රූප දෙනෙතින් මවා ගැනීම ඔහු සිදු කරයි. වතුර බේසමක සිටින දරුවා වතුර යට ගිලෙමින් සිටින විටත් කල්පනා කරමින් සිටින මහාචාර්යවරයාගේ ගති ඉවසන ඔහුගේ බිරිය දැඩි වෙහෙසක් ගෙන ඔහු ආදරයෙන් බලා කියා කවා පොවා මානසික රෝගය සුවපත් කරයි. එම වසරේ නව ගණිත සූත්‍රයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය මහාචාර්යාවරයාට පිදෙයි.

නොබෙල් ත්‍යාග කමිටුව ඉදිරිපිටදී මෙම ත්‍යාගය හිමි විය යුත්තේ සිය බිරියට බව ඔහු පවසයි. සිය බිරියට ගෞරව කිරීමට සභාවම නැඟිට සිටින අවස්ථාවේදී මහාචාර්යවරයා කඳුළු සලයි. ඒ නිසා අසීමිත ඉවසීම වුවත් අපට ජීවිත ජයග්‍රහණය ලබා දෙන බවට මෙම සිනමා නිර්මාණයෙන් ප්‍රකට වෙයි.

මිනිසා මෙතරම් නව නිර්මාණ කළේ ඉවසීම ප්‍රධාන කොට ගනිමිනි. ලෝකයේ විද්‍යාඥයන් රැසක්ම ඉවසීම ඉගෙන ගත්තේ සිය බිරින්දෑවරුගෙනි. ඉවසීම නිසා විද්‍යාඥයන්ට නව දෑ තනන්නට හැකි වූ අතර, මේ නිර්මාණ නිසාම ලෝකයේ පෙරළියක් ඇති විය.

ඉවසීම නැති විට රටත් අනතුරේ

ඉවසීමක් නැති එක පුද්ගලයෙක් නිසා රටක් රාජ්‍යයක් වුව ද අනතුරේ වැටිය හැකිය. ලංකවේ රණශූර රජකු වූ 1 වැනි රාජසිංහ රජු ඉවසීමක් නැතිව කටයුතු කිරීම නිසාම මහා සංඝරත්නයේ දෝෂාරෝපණයට ලක් විය. 1 වැනි විමලධර්මසූරිය රජු කළ සේවය නිසාම ඉවසීමෙන් කටයුතු කළ නිසාම සංඝරත්නයේ ආශිර්වාදය රජුට ලැබිණි.

සම්පූර්ණ මිනිසකු වන්නේ ඉවසීම අගතැන්පත් වූ විටයි

ඒ නිසා යමකුට හොඳ රූපයක් බුද්ධියක් ලැබූ පමණින් ඔහු සම්පූර්ණ මිනිසකු නොවේ. ඉවසීමේ ගුණය ලැබූ විට ඔහු සම්පූර්ණ මිනිසකු බවට පත් වේ.

ඉවසීම මිනිසකුගේ ජීවිතය තව තවත් දීප්තිමත් කරයි. ලෝක ප්‍රජාවගේ ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට නිතැතින්ම හිමි වේ. ඕනෑම ක්ෂේත්‍රයක ඉවසීමෙන් කටයුතු කළ පුද්ගයින් ජයග්‍රහණ අත්කර ගත් බවත්, ව්‍යසනයකදී ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කිරීමෙන් එම ව්‍යසනයෙන් අඩක් නිමා කළ හැකි බවත් අප මතක තබා ගත යුතුය.

340 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න