තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 15:21

මංගල උළෙලට එක් වූ සොබා දහමේ චමත්කාරය

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
සොඳුරු රුවැත්තිය මල් මනාලිය වීම පිළිබඳ සිහින දම් පුරන්නේ සෑහෙන කාලයක පටන්ය. ඒ අතරට ඇගේ විවාහ මංගල්‍යය දා නිමවන සොඳුරු මල්කම් ද වේ.

 

තේමාවකට අනුව යමින් මුළු විවාහ මංගල්‍යයම මලින් හැඩගන්වන අයුරු මෙතැන් පටන් ඉදිරි සති කිහිපයේ අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු. ලස්සන ෆ්ලෝරා ආයතනයේ නිර්මාණකරුවන්ගේ දෑතින් නිමවූ මල්කම්වන මේවා අලංකාරයෙන් අනූන ය. නෙත් සනසන මේ නිමැවුම් ඔබට ද පහසුවෙන්ම සැකසීමට පුළුවන. ඒ සඳහා අදහසක් ගන්නට ඔබට මෙම නිර්මාණ වෙසෙසින්ම දායක වනු ඇත.

තේමාව

මංගල උළෙලෙ අසිරිමත් එකක් බවට පත්කරලන්නට සමත්වන්නේ එහි තේමාවයි. තේමාවකට අනුගත වූ විට ඉස්මතුවන සුන්දරත්වය වදනට පෙරළන්නට නොහැකි තරම්. ස්වභාව ධර්මයට අනුකූල වූ තේමාවක් ගත් මේ මනරම් මංගල උත්සවයේ හිමිකරුවන් දෙදෙනා සැරසී සිටියේ සම්ප්‍රදායානුකූල ලෙස මනාලිය ඔසරියකින් හා මනාලයා උඩරට මුල් ඇඳුමින්ය.

එසේ වුවත් ඔවුන්ගේ මංගල මල් සැරසිලි සඳහා එක්වූයේ නවමු අංගයන්. සාම්ප්‍රදායික මංගල උත්සවයක බටහිර පන්නයට හුරු මල් සැරසිලිවලින් කියාපාන ගාම්භීරත්වය මුළු මංගල උත්සවයම හැඩවැඩ කළා යැයි කීවෝත් නිවැරදිය.

පිවිසීමේ දොරටුව (Entrance)

පිවිසීමේ දොරටුව නොහොත්  Entrance එක ගේට්ටුවක් මධ්‍යයෙන් ඇතුළුවනවා යැයි හැඟීමක් ඇතිවන ලෙස සකසා තිබේ. මංගල උළෙලට පැමිණෙන අමුත්තන් සියල්ලටම හැඟෙනුයේ මල් උද්‍යානයකට ඇතුළුවූවා වැනි හැඟීමකි. තේමාවට උචිත අයුරින් පිවිසීමේ දොරටුව සකසා ඇති අන්දම අපූරු ය. ගේට්ටු පියන් දෙකටම කොළ වැල් එතී ඇති අන්දමින් සකස් කර ඇත. පසෙකින් කොළ, වැල යනාදිය එල්ලා වැටෙන ලෙස සකස් කොට බල්බ් කිහිපයක්ම එකතැන දමා ඇත.

පෝරුව

පෝරුව සම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය එකකි. පිටුපස තිරයේ පැහැයට ගැළපෙන ලෙස පෝරුවේ සිව් කොන ඩ්‍රෙසිං කර ඇත. මල් කොළ වැල් සිව්කොනින් එල්ලා වැටෙන ලෙස සකස්කර තිබේ. ඒ තේමාවට උචිත අන්දමිනි. පෝරුව ඉතාම සරල එකක් වුවත් ගාම්භීරත්වයේ නම් අඩුවක් නොමැති තරම් ය.

සෙටි බැක් එක

මේ නම් තරමක් දැවැන්ත සෙටි බැක් එකකි. උත්සව ශාලාවේ සෑහෙන ඉඩකඩ ප්‍රමාණයක් සෙටි බැක් එක වෙනුවෙන් වෙන්කර තිබේ. මෙය එහෙම පිටින්ම වාගේ කැටයම් කළ එකකි. සෙටියට ඉහළින් ඇති කොටස කැටයම් කර ඇත්තේ හිඩැසක් තබා ය. එය බැලූ බැල්මට වීදුරුවක් සවි කොට ඇති සෙයකි. පසුපසින් ඇති තිරරෙද්ද එම හිඩැස වෙතින් අලංකාරවත්ව දර්ශනය වේ. එතැන ද විසිතුරු ලාම්පුවක් දැල්වෙන ආකරයට බල්බ් කිහිපයක් දැල්වේ.

දෙපැත්තේ ඇති කොටස් ද එසේම ය. ඒවා අතර සිදුරු නොමැති තරමට රෝසමල්වලින් සරසා තිබේ. එහි බිමට ලන්තෑරුම් දෙක බැගින් ලන්තෑරුම් හතරක් තබා ඇත. රෝමන් පොට්ස් සහ ග්ලාස් බීකර්ස්වලට මල් හා කොළ දමා සෙටිය පිටුපස හා දෙපැත්ත සරසා ඇත. මෙහි ඉදිරිපසින් කොෆි ටේබල් එකක් තබා නොතිබීමත් විශේෂත්වයකි. සෙටිය ඉතාම සාමාන්‍ය අන්දමේ එකකි. සෙටිබැක් එකේ සංකීර්ණ බවට මේ සරල සෙටියෙන් ගෙනැවිත් ඇති අලංකෘත බවද පැසසිය යුත්තකි.

මේස සැරසිලි

වර්ග දෙකකින් යුත් මේස සැරසිලි මෙහි කලවමට තබා ඇත. ලාම්පුවක ආකාරයට සකසා ඇති මේ සැරසිල්ල මැදට මහතින් යුතු ඉටිපන්දම තබා ඇත. මෙයම සෙටි බැක් එක අසලින් ද තබා ඇත. ඒ අසල සිව් කොනේ ඉටිපන්දම් තැබූ වීදුරු හණ නූලෙන් ආවරණය කළ ජෑම් බෝතල් සහ ස්නැෂ් ඩ්‍රැගන්, රෝස මල්, හයිඩ්‍රෙන්ජියා, ඕකිඩ් සහ බේබිස්බ්‍රෙත්වලින් සමන්විත විසිතුරු මල් සැරසිලි තබා ඇත.

අනෙක් මේස සැරසිල්ල ඊට ඉඳුරාම වෙනස් වූවකි. ප්‍රමාණ තුනකින් යුතු ග්ලාස් බීකර්ස්වලට වතුර පුරවා රෝස, ඕකිඩ්, හයිඩ්‍රෙන්ජියා වැනි මල් හා කොළ තබා ඉටිපන්දම් තුනක් දල්වා ඇත. මෙය ඉතාම සිත් ළගන්නා සුළු මේස සැරසිල්ලකි.

Head table

සාමාන්‍යයෙන් මංගල උළෙලක හෙඩ් ටේබල් එක එක් කොණකට තබා සියලුදෙනා ඉදිරිපස බලා සිටින ලෙස සැකසුවත් මෙය ඉන් එහාට ගිය එකකි. රවුම් මේස අතරට Head table  එක සඳහා දිගු හතරැස් මේස ගෙන එය උත්සව ශාලාව මැද එකිනෙකට මුහුණලා සිටින පරිදි සකසා ඇත.

සිවිලිමේ පැනල් එකක් ලෙස සකසා මල් කොළ එල්ලා හැලෙන පරිදි සකස් කොට තිබේ. මේසය මැදින් මල්කම් පේළියක් යයි. ඒ සඳහා ලිලී, ක්‍රිෂන්තිමම්, හයිඩ්‍රෙන්ජියා සහ පඹවැල් එක්කොට තිබේ. මේ මල් සහ වැල් සමස්ත උත්සව ශාලාවම මල්කම් කිරීම සඳහා යොදා තිබේ.

අපූරු පහනක්

මේ සිවිලිමේ රඳවා පහළටම එල්ලා හැලෙන ලෙස සකස් කළ පහනකි. වීදුරු බෝල කිහිපයක් මෙලෙස එල්ලා හැලෙන අතර එහි ඇතුළත ඇති ඉටිපන්දම් දැල්වීමට පසෙකින් විවරයක් වේ. කොළවැල් කිහිපයක් ද සිවිලිමේ සිටම වීදුරු බෝල අසලින් එල්ලා හැලේ.

මෙලෙස පෝරුව, සෙටිබැක්, පහන, පිළිගැනීමේ දොරටුව යනාදිය එකම තේමාවකට ඇතිව යමින් සැරසෙද්දී ඉන් විහිදෙන අපූරුවත්වය අතිමනරම් එකකි.

 

ඉදිරිපත් කිරීම

ලස්සන ෆ්ලෝරා ඇකඩමිය

 

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ

684 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 15:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න