තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 15:41

අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලන්න සරු කාලය පිළිබඳ අවබෝධය දෙදෙනාටම වැදගත් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මවුවරම් ලැබීමේ උත්තරිතර දායාදය ලැබෙන තුරා ඒ පිළිබඳ සිතිවිල්ලෙන්ම පසුවන කෙනකුට ගැබ්ගැනීමන් යනු මහමෙරක් තරම් වටිනා දෙයකි. එහෙත් යම් හෙයකින් ඔබ ගැබ්ගත්තේ නම් . . . එය අනවශ්‍ය ගැබ් ගැනීමක් වූවා නම් . . . ඔබ පත්වන අසරණබව . . . කුමන අන්දමේ එකක් වේවි ද?

 

අනවශ්‍ය ගැබ් ගැනීමක් යනු හැමවිටම ඔබ සැලසුම් නොකළ එක්වීමක ප්‍රතිඵලයකි. සැලැසුම් කළ එක්වීමක් වූවා නම් එහි අවසානය ගැබ් ගැනීමක් නොවේවි.

වසරකට මිලියන තුනක්

අමෙරිකාවේ සෑම වසරකම මිලියන තුනක කාන්තාවන් පිරිසක් අනවශ්‍ය ගැබ්ගැනීමකට ලක්වේ. අපේ රටේ අනවශ්‍ය ගැබ් ගැනීම් පිළිබඳ දත්ත නොමැත. ඒ අපේ සංස්කෘතිය විසින්ම අනවශ්‍ය ගැබ් ගැනීම් අවශ්‍ය ඒවා ගොන්නට දමා සිටින නිසායි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ නීති විරෝධී ලෙස ගබ්සාවන්කර එසේ නොවුණු ලෙස සිටීමයි. මේ නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් පිළිබඳ දත්ත වාර්තා වන්නේ නැත.

වෙට් වයිප්ස් එපා

ගැබ් නොගනීවි යැයි සිතා ඇතැමුන් වැරැදි ක්‍රියා පිළිවෙත්වල නිරත වෙයි. ඩවුචින් භාවිතය ඉන් එකකි. ඩවුචින් යනු විවිධ දේ යොදමින් යෝනි මාර්ගය පිරිසුදු කිරීමට ගන්නා උත්සාහයයි. වෙට් වයිප්ස් ඒ අතර වේ. මේවායින් ගැබ් ගැනීමේ අවධානම ඉහළ යනවා විනා පහළ බැසීමක් සිදු නොවේ. අනවශ්‍ය ලෙස විසබීජ ඇතුළුවීමෙන් ශ්‍රෝණිගත ආබාධ ඇතිවීමට පුළුවන.

තවත් සමහරු යෝනි මාර්ගයට එරඬු නැටි ඇතුළු කරයි. අන්නාසි බොඩය හෙවත් එහි ළපටි කොටස ඇතුළු කරයි. මේ සියල්ලකින්ම වන්නේ විසබීජ ඇතුළුවීමකි.

විසබීජ නාශක දියර වර්ග භාවිත කොට යෝනි මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසුදු කරන්නට යෑම ද සුදුසු නැත. මෙයින් යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ ඇති හිතකර බැක්ටීරියා විනාශ වී අහිතකර බැක්ටීරියා වර්ධනය වීමට පුළුවන.

සුදුසු උපත් පාලන ක්‍රමවේදයක්

අනවශ්‍ය ගැබ් ගැනීමකින් වැළකීම සඳහා සුදුසුම ලිංගික හැසිරීම තෝරා ගැනීම ඔබ සතුය. මෙහිදී සුදුසු උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම අඹු - සැමි දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් සිදුවිය යුතුය. උපත් පාලන ක්‍රම පිළිබඳ මින් පෙර සතිවලදී ඔබව දැනුවත් කළ නිසා ඒ පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා නොකරනු ඇත.

සෑම ලිංගික එක්වීමක්ම ගැබ් ගැනීමකින් අවසන් වේ යැයි සිතිය නොහැකි ය. එහෙත් ඒ පිළිබඳ කිසියම් අවදානමක් තිබීමට පුළුවන. මේ අවදානම ඔබව දරු ගැබක් කරා ගෙන යෑමටත් පුළුවන. යම් හෙයකින් ඔබ ගැබ් ගත්තේ යැයි සැකයක් ඇත්නම් ඒ බව සති 2 - 3 ක් ගිය පසු රුධිර සාම්පලයක් ගෙන පරීක්ෂා කිරීමෙනුත්, සති 5 - 6 ක් ගිය තැන මුත්‍රා පරීක්ෂාවකිනුත් හඳුනාගත හැකිවේ.

සරු කාලය පිළිබඳ අවබෝධය

සරු කාලය පිළිබඳ මනා දැනුවත්බව සැමියා හා බිරිය යන දෙදෙනාම සතු විය යුතුය. එය ඔවුන් දෙදෙනාම සතු වගකීමකි. කාන්තාවක් ගර්භණී විය හැකි වන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වී පැය 24 ක් ඇතුළතදීය. ඩිම්බය නිකුත් වූ වේලාව සොයා ගැනීම අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලන ක්‍රමයකි.

කාන්තා සිරුරකට ඇතුළුවන ශුක්‍රාණුවකට දින 5 ක් පමණ ප්‍රාණවත්ව සිටීමට පුළුවන.

මේ සඳහා බිරිය කළ යුත්තේ උෂ්ණත්ව මාපකයක් භාවිත කර දිනපතා උදේ පාන්දර ශරීරයේ උෂ්ණත්වය මැන සටහන් කිරීමයි. එය වගුවක් ලෙසට සටහන් කරගැනීම තවත් පහසුවක් වේවි. මෙසේ ඔබ දිනපතා උෂ්ණත්වය මැන බලද්දී එක් දිනක් උෂ්ණත්වය පැහැදිලි ලෙස ඉහළ අගයක් ගනියි. ඒ දිනය ඩිම්බය නිකුත් වූ දිනය යි.

ගැබ්ගෙල ආශ්‍රිතව ශ්ලේෂ්මල ස්‍රාවයේ සරුබව බැලීම තවත් ක්‍රමයකි. මෙහිදී යෝනි මාර්ගයේ ඉහළම කෙළවරේ ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිනම්, එහි වතුර ගතියක් ඇත්නම්. ශ්ලේෂ්මල ස්‍රාවය නූල් මෙන් ඇදේ නම් ඒ දිනවල ඩිම්බය නිකුත් වී තිබේ.

ක්‍රමවත්ව ඔසප් චක්‍රය සිදුවන කෙනකුට දින ගණනය කරමින් පහසුවෙන්ම සරු නොවන කාලයේ දී එක්විය හැකියි.

හෝර්මෝන් ස්ට්‍රිප්ස්

හෝර්මෝන් ස්ට්‍රිප්ස් මුත්‍රාවලට දමා බැලීමෙන් යම් නිගමනයකට එළැඹිය හැකි වේ. ඩිම්බය නිකුත්වීමට දිනකට දෙකකට පෙර එහි විශාල වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

මේ ක්‍රම සියල්ල එකවර අත්හදා බැලීම සුදුසු ය. එහෙත් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාලිය හැකි මේ පියවර සියල්ල වඩාත් සාර්ථක වන්නේ ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුවන අයට ය.

එනම් ඉහත ක්‍රම සියල්ලකින්ම ලැබෙන නිගමනය සියයට 90 ක් පමණ යහපත් අතට පවතී. ක්‍රමවත් ඔසප් චක්‍රයක් නොමැති අයට යම් නිගමනයක් කරා එක එල්ලේ ඒමට නොහැකි නිසා පොදුවේ ඉහත ක්‍රම සාර්ථක වන්නේ සියයට 75 කට පමණි. සියයට 25 කට පමණ අසාර්ථකවීමට පුළුවන.

දින 14 ක කාලයක්

දින පහක කාලයක් ශුක්‍රාණුවල බල පැවැත්වීම ඇති නිසා ඩිම්බය පිටවීමට දින 5 කට පෙර සිටම එක්විය නොහැකියි. ඩිම්බය පිට වූ දා පටන් දින 3 ක් යනතුරුත් එක්වීමට නොහැකිය. එනම් උෂ්ණත්වය ඉහළම අගයක් ගත් දා සිට ඉදිරියට දින 3 කුත් ආපස්සට දින 5 කුත් සරු කාලය ලෙස ගැනේ. මේ අතරට ආපස්සට තැබූ දින 5 ට තවත් දින 3 කුත් ඉදිරි දින 3 ට තවත් දින 3 කුත් එකතු කරයි. ඒ අනුව මුළු සරු කාලය ලෙස දින 14 ක් ගණන් ගැනේ. ඒ දිනවල අනාරක්ෂිත ලෙස ලිංගික එක්වීමක් සිදුවුණි නම් එය ගැබ් ගැනීමක් දක්වා යා හැකියි. ඉහත කී සරු දිනවල එක්වන්නේ නම් ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරන්නේ නම් කොන්ඩම් පැලඳීම වැනි ආරක්ෂිත උපත් පාලන ක්‍රමවේදයකට යෑම නුවණට හුරු ය.

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

 

* * * * *

 

 

 

 

ආර්තවහරණයට නව අරුතක්

‘ආර්තවහරණයට නව අරුතක්’ මැයෙන් ආර්තවහරණ සංගමය සංවිධානය කරන සම්මන්ත්‍රණයක් මේ මස 21 දා (සෙනසුරාදා) කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වේ.

නොමිලයේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ දී ‘වයස 50 ට නව අරුතක්’, ‘නිහඬවම ඔබේ ජීවිතයේ සතුට උදුරා ගන්නා ඔස්ටියෝපොරෝසීස්’, ‘පරිණත දිවියේ මනසට මුල්තැනක්’ යනාදී වශයෙන් දෙසුම් කිහිපයක්ම විද්වත් මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබේ. ආර්තවහරණය සඳහා සූදානම්වන වයසේ පසුවන, එනම් වයස අවුරුදු 40 - 50 අතර අය සඳහා මෙම දෙසුම් වඩාත් අරුත් ගන්වයි. ‘තරුණී’ පුවත්පතේ මෙම කොටස රැගෙන යන පාඨක ඔබට කලින් ආසන වෙන්කිරීමක් අවශ්‍ය නොවේ.

882 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 15:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න