තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 06, සඳුදා 12:34

තුන් සිත පහදා දුන්නොත් දානය ඒ අය ගිය තැන ලැබෙයි නිධානය

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
දන් දීම ද යුද්ධ කිරීමක් හා සමාන යයි කියති. ජීවිතය කෙරෙහි ආශාවක් නැතුව ස්වල්ප දෙනෙක් සටන් වැදුණත් බොහෝ සතුරන් පරදවා ජය ගනිති.

 

එමෙන්ම කුසලය ස්වල්ප වුවද බොහෝ අකුසල් පරදවාලිය හැකිය. ස්වල්ප වූ හෝ යමක් පරිත්‍යාග කළහොත් පරලොව දී සැපවත් වීමට එම දානමය පින්කම උපකාරවත් වේ.

සතර සංග්‍රහ වස්තුවේත් දස පාරමිතාවලත් දස රාජ ධර්මයේත් මුලින්ම යෙදෙන්නේ දානයයි. කවරකු හෝ වේවා අරහත් මාර්ගයට පිවිසෙන්නේ නම් පළමුව කළ යුත්තේ දීමයි. දීමෙන් අදහස් කරනුයේ ඇලීම හෙවත් තෘෂ්ණාව අඩුකර ගැනීමයි. ඇලීමෙන් තොර නොවූ සිතින් ශීලයට හා භාවනාවට යා නොහැකියි. දානය සියල්ලටම මුල් වන්නේ එකී අරුතිනි.

බෞද්ධයන් ලෙස අපි අපගේ පවුලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට පෙර, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ද සාංඝික දාන පිරිනැමීම අද දවසේ සිදු වේ. වැඩි දෙනකු කරන්නන් වාලේ කරන නමුදු දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදුවන අයුරින් හීල් දානය, පේරු දානය, ආවාස දානය පිරිනමන්නේ කෙසේද යන්න අද සදහම් සෙවණින් දැන ගනිමු.

අප මහා සම්බුදු පියාණන් වහන්සේ දානය පිළිබඳව දක්වා ඇත්තේ විශිෂ්ටතම මනුෂ්‍ය ධර්මයක් ලෙසය.

මේ ලෝකය තුළ මනුෂ්‍යයන් අතර තිබෙන බැඳීම් හැමවිටම ඔවුන් හට ඇතිකරවන්නේ දුක සහ කඳුළය. මජ්ජිම නිකායේ පියජාතික සූත්‍රයෙහි පැහැදිලිව දක්වන අන්දමට මනුෂ්‍යයන් එකිනෙකා අතර හටගන්නා ආදරය, බැඳීම, ළෙන්ගතුකම වඩාත් වැඩි වූ තරමට ශෝකය සහ කඳුළ ද වැඩි වෙයි. එයින් මිදීමට අවශ්‍ය බව හැඟේ නම් ඒ සඳහා බුදු සමය තුළ දක්වා ඇත්තේ අත්හැරීම පුරුදු කිරීමයි. බුදු දහමේ පදනම වන්නේ ද එයයි.

දුක දුරුකර ගත හැක්කේ අත් හැරීම මඟිනි. බෝධි සත්ත්වවරුන් බුදුවීම සඳහා පාරමි දම් පිරීමේදී පළමුව සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි. එසේ පියවරෙන් පියවර අත් හැරීම දක්වා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන්නට හැකි වේ.

පාරමි දම් ගැන කතා කරන විට පාරමී, උප පාරමී, පරමත්ථ පාරමි යනුවෙන් වර්ග තුනකි. දානය සම්බන්ධයෙන් බැලීමේ දී තමන්ට දිය හැකි බාහිර කවර දෙයක් වුවද දානය ලෙස දෙමින් ඒ පිළිබඳ අදහස, ඇල්ම නැතිකර ගැනීම දාන පාරමිතාවයි.

මෙයට ආහාර, ඇඳුම් පැලඳුම්, පොත් පත්, ගෙවල් දොරවල්, ඉඩකඩම් මෙකී නොකී ඕනෑම දෙයක් අයත්ය. මෙවැනි දන්දීම බුදු දහමේ දක්වන්නේ ආමිස දානය ලෙසිනි.

දානයක් පිරිනැමීම කරන්නන් වාලේ කිරීම පලක් නොවේ. ඒ සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතුය. එනම් ශ්‍රද්ධා සම්පත්තිය, චිත්ත සම්පත්තිය සහ දෙස්‍ය ධර්ම සම්පත්තියයි.

ශ්‍රද්ධා සම්පත්තිය යනු තෙරුවන් කෙරෙහි අතිශය පැහැදීමෙන් දානය පිරිනැමීමය. චිත්ත සම්පත්තිය යනු සිත පහදා ගෙන දන් දීමයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ යන කරුණු දුරු කරගෙන දන් පිරිනැමීම.

දෙස්‍ය ධර්ම සම්පත්තිය යනු තමන් විසින් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන හෝ පැහැර ගැනීමකින් තොරව දැහැමින් දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයකින් දන් දීමය. වෙනත් අය කරන පරිත්‍යාග ප්‍රතික්ෂේප කළ යුතු බවක් මෙමඟින් අදහස් නොකෙරේ.

මේ හැරුණු විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය එනම්, දානය පිළිගන්නා සංඝරත්නය පිළිබඳව සැලකීමේදී එහි ප්‍රමාණයක් නැත. බොහෝ දෙනෙක් සිතන්නේ සාංඝික දානයක් පිරිනැමීම සඳහා අඩුම තරමින් උපසම්පදා ලත් සංඝයා වහන්සේලා සිව් නමක්වත් වැඩ සිටිය යුතු බවය. නමුත් එවැනි පිරිසක් අවශ්‍ය වන්නේ භික්ෂූන් වහන්සේලා ගේ විනය කර්මයකට මිස සාංඝික දානයකට නොවේ. සාංඝික දානය යනු භික්ෂූන් හා දායකයා අතර සිදුවන පුණ්‍ය කර්මයකි. ඒ අනුව ඔබ දානය එක් භික්ෂූන් වහන්සේකට පිරිනැමුවද එය සාංඝික දානයකි. සියක් නමකට පිරිනැමිය හැකි නම් එයත් සාංඝික දානයම වේ. භික්ෂූන් වහන්සේලා අඩු වූ විට පින අඩුවන්නේ වත්, වැඩිවූ ප්‍රමාණයට සාපේක්ෂව පින වැඩිවන්නේවත් නැත.

දානය පිරිනැමීම තීරණය කළ අවස්ථාවේ සිට දානය පිරිනමන අවස්ථාව දක්වා දානය සම්බන්ධව ඔබේ සියලු චේතනා පිරිසුදු විය යුතුය. මෙය හඳුන්වන්නේ පූර්ව චේතනා පිරිසුදුවීම ලෙසිනි.

දානය පිරිනමන අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව, සංසුන්ව, සංඝයා වහන්සේලාගේ ගෞරවය රැකෙන ආකාරයට, පිරිසුදු සිතින් සිදු කිරීම දෙවැනි අවස්ථාවයි. එය මුඤ්චන චේතනා පිරිසුදු වීම ලෙස හඳුනයි.

දානය පිරිනැමීමෙන් පසුවද එම පින්කම සම්බන්ධයෙන් කුමන හේතුවකට වත් සිත නරක්කර ගැනීම, පසුතැවීම වැනි දෑ නොකළ යුතුය. අපර චේතනා පිරිසුදු වීම ලෙස මෙය දැක්වේ.

‘තුන් සිත පහදා දුන්නොත් දානය උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය’ යනුවෙන් පැරැන්නන් කීවේ මේ නිසයි. පිරිසුදු චේතනා ඇතිව කරන මෙවන් දාන මඟින් සංසාරය පුරාම හිමි වන ආනිශංස හතරක් වේ. ඒ ආයුෂ, වර්ණ, සැපය සහ බලයයි.

ආයුෂ යනු අකල් මරණයක් හිමි නොවීමය. වර්ණ යනු ප්‍රසාදනීය ලෙස ජීවත්වීමට හැකි වීමයි. සැපය යන්නෙන් අදහස් කරන්නේ නීරෝගි බවයි. බලය නම් ඥාන ශක්තිය හෙවත් ප්‍රඥාව ඇතිවීමයි.

අප පිරිසුදු සිතින් යමක් දන් දෙන විට මේවා ඉබේම ලැබෙයි. ඒ මිස මේවා ප්‍රාර්ථනා කරමින් දානය දීම පටු පරමාර්ථයකි. ඔබ දන් දෙන්නේ තුන් සිත පහදා නම් ඔබ අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් නැතත් එකී ආනිශංස ඔබට ඉබේම හිමි වනු ඇත.

හීල් දානය

හීල් දානය ලෙස හඳුන්වන්නේ උදෑසන යන අර්ථය ගෙනෙන සිසිලස වඩවන දාන පූජාවකි. බුද්ධකාලයේ මුල් විසි වස තුළ දී රාත්‍රි කාලයේ පිණ්ඩපාත වැඩි ස්වාමීන් වහන්සේලාට අනේක විධ අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවිණි. එය මඟහරවා ගැනීම උදෙසා පසුකාලීනව රාත්‍රියට දන් නොවළඳා හීල් දානය පමණක් අනුමත කෙරීය. රැයක් නිරාහාරව ගතව පිහිටා සිටින මහණුන් වෙනුවෙන් පැන් පොදක් හෝ පිරිනමන්නේ නම් එහි ඵල වැඩිය. හීල් දානය සමඟ ගිලන්පස පූජාව ද කළ හැකියි. හීල් දානය කැඳෑ අවුල ලෙස ද හඳුන්වයි. ඒ කැඳ පුජාවක් සිදු කරන බැවිනි.

පේරු දානය

යමෙක් සංඝයා වහන්සේලා උදෙසා දිනයක් නියමකර ගනිමින් මාසිකව දානයක් පිරිනමයි නම් ඒ පේරු දානය වේ. සලාක දානය ලෙස ද එය හඳුන්වයි. හුදු මහත් වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් ධනය වැය කොට තමන් විසින් සකසා පූජා කරන්නා වූ මෙම දානයේ ආනිශංසය කියා නිම කළ නොහැකියි. ඕ තොමෝ පරිවාර සම්පත්තියෙන් යුක්ත වේ.

“දදං පියෝ හෝති භජන්ති නං බහුං”සැමට ප්‍රිය මනාපම වේ.

“කිත්තිංච පප්පෝති යශෝධි වඩ්ඩති”

කීර්ති ප්‍රසංශා නිරතුරු ඔබ පසුපස හඹා එයි.

හේ තමන්ගේ ආහාර පුජාව ඉමහත් භක්තියෙන් සිදුකරන්නේ නම් මතු උපදින ආත්මයේ ද අතිශය ඉහළ උත්පත්තියක්ම ලබයි. පේරුව ලෙස හැඳින්වෙන්නේ කොටසයි.

එසේ නම් විහාරයක් පවත්වාගෙන යාමට තමන්ගේ දායකත්වයත් මසකට වරක් ලබා දෙන්නේ නම් උසස් කුලයක, දැසි දසුන් පිරිවරාගෙන උපත ලබයි. පේරු දානයේ ආනිශංස කියා නිම කළ නොහැකියි. ඉතා උතුම් පිංකමක් සිදු කරනවා යැයි නිරතුරුව සිහි ගන්වා සතුටු විය හැකියි. උපදින ආත්මයක් පාසා දෙව් මිනිස් සැපතම ලබයි.

බුද්ධ දේශනාවේදී දානයේ අනුහස් ඉතා උසස් බව කියැවෙනුයේ මෙසේය. කල්ප විනාශයේ දී පොළොව විනාශ වෙයි. සාගරය, මහමෙරු පර්වතය විනාශ වෙයි. කල්ප ලක්ෂයක් ගතවුවද සංඝයාට සාංඝිකව දුන් දානයේ අනුහස් විනාශ නොවෙයි. එහි අනුහස් එතරම්ම ප්‍රබල බවම කියවේ.

එබැවින් සලාක දානය තුළ රැඳුණු කුසලය අතිමත්ය. එම අතිමහත් කුසල් සම්භාරයක් පහසුවෙන් අනුමෝදන් වීමේ සැබෑ පුණ්‍යවන්තයෝ ඔබ අප නොවන්නෙමුද?

 අනුශාසනාව

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, විශ්‍රාමලත් ආචාර්ය

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

219 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 12:36
අදහස් එක් කිරීමට ලොග් වෙන්න