තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 06, සඳුදා 12:38

ජීවිත රෝගී කරවන ජීවිත අහිමි කරවන ණය බර..

Written by 
අගයන්න
(0 මනාප)
මනුෂ්‍ය ආත්මයක් ලබන්නට පිං පුරා තිබිය යුතුයි. අප විසින් පුරන ලද කුසල් බලමහිමයෙන් අපට මෙලොව උත්පත්තිය ලබමින් මනුෂ්‍ය ආත්මයක් ලබන්නට හැකි විය.

 

තමන්ට ලැබුණු මේ උතුම් මිනිස්කම හරිහැටි තේරුම් නොගෙන තමා විසින් ම නසා ගන්නා තැනට කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නේ නම් එය මොන තරම් නම් අවාසනාවක් ද?

යාපනයේ පදිංචි සුනේත්‍රාදේවී 28 හැවිරිදි වියේ පසු වූ යෞවනය නොඉක්ම වූ තෙදරු මවකි. ඇයගේ සැමියා රන් භාණ්ඩ ව්‍යාපාරිකයෙකි. දරුවන් තිදෙනා සමඟ සැපවත් ජීවිතයක් ගත කරමින් සතුටින් ජීවිතය ගත කළ නමුත් මේ පවුලට කනකොකා හැඬුවේ මීට මාස කිපයකට ඉහත දී යි. ඒ සුනේත්‍රාදේවී ගේ සැමියා වස පානයකොට දිවි මඬලෙන් සමුගත් දිනයේ දී ය. කෝටිය ඉක්මවූ මුදල් ගනුදෙනුවක පැටලී අවසානයේ ජීවිතය පුදමින් සැමියා මේ ගැටලුවෙන් ගැලවුණත් සුනේත්‍රා දේවීට නම් ගැලවීමක් තිබුණේ නැත. සැමියාගේ මිතුරන්ගේ ක්‍රියාකලාපයන් නිසා ණයකරුවකු වූ සැමියා සිය දිවි හානිකර ගත්තා සේ ම සුනේත්‍රාදේවිට ද එම ඉරණමට ම මුහුණ දෙන්නට වූයේ දරු තිදෙනාට ද වස පොවමිනි. සැමියා ලබා ගත් හෝ පැටළුණු ණය බරට ඔවුහු සොයා ආවේ බිරියයි. දරු තිදෙනකු සමඟ මෙලොව තනි වූ ඇය මේ සා විශාල ණය බරක් කෙසේ උහුලන්නද? කළ යුතු අන් දෙයක් නොමැති තැන මේ තීරණයට ඇය එළඹෙන්නට ඇති. මුදල් ගනුදෙනුව අවසානයේ කෙළවර වූයේ පස් දෙනකුට වළකපමිනි. හෙට දින ලොව බබළවන්නට සිටි පුංචි මල් කැකුළු තුනක් අකාලයේ අහිමි කරවමිනි.

මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ අපට සිත්නට යමක් ඉතිරිව ඇතැයි සිතේ. එනම්, ණයට ගැනීම සහණයට දීම පිළිබඳ ය.

වර්තමාන සමාජයේ බොහෝ දෙනකු ඔවුන්ගේ අනාගත සැලසුම් බොහොමයක් ගොඩනගනුයේ ණය පිළිබඳ සිතිවිල්ල පෙරදැරි කරගෙන බව පෙනෙයි. ලෝන් එකක් දාලා ඉඩමක් ගනිමු... ගේ හැදුවෙත් ලෝන් එකක් දාලා... වාහනේ ගන්නෙත් ‘ලීසිං’ එකකට. මේ විදියට ගන්න පඩියම ‘ලෝන්වලටයි, ලීසිං එකටයි’ ගෙව්ව ම ඉතිං අනේ මොනවද ඉතිරි වෙන්නේ?

මවුපිය සෙවණේ හැදී වැඩෙන සමයේ අපට මුදල් ප්‍රශ්න ගැන එතරම් දැනෙන්නේ නැත. ජීවිතය සැහැල්ලු ය. කන්නට.. බොන්නට.. අඳින්නට... මඟ වියදම් හැමදේ ම අම්මා තාත්තාගෙනි. ඒ නිසා ම යොවුන් වියේ ජීවන බර පිළිබඳ අපට බරක්පතළක් නොදැනේ. එහෙත් යොවුන් විය පසුකර ආවාහ විවාහ වෙලා දරුමල්ලෝ ලැබුණට පස්සේ ජීවන බර හොඳට ම දැනෙන්නට පටන් ගන්න බව අත්දැකීමෙන් අප බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. සමහර පවුල්වල රැකියාව කරන්නේ සැමියා පමණක් විය හැකිකයි. පවුල් වෙලා දරු පැටවු එකා දෙන්නා වෙනකොට කරන්න තියෙන වැඩ ටික ගැන හිතනකොට ලැබෙන පඩිය හැරෙන්නටවත් බැරි බව තමයි පවුල් වෙච්ච බහුතරයකගේ හැඟීම. ඉතිං ඔහොම වෙනකොට හුඟ දෙනකුගේ හිත ඉබේම ණය ගන්න පැත්තට පෙළඹෙනවා.

මේ ණය මුදල් නිකම් ලැබෙන්නේ නැත. බැංකුවක් වුණත් ණය දෙන්නේ යම් පොළී අනුපාතයකට යටත්වයි. කෙනකුගෙන් ණයක් ගත්තත් නිකම් දුන්නු කාලේ දැන් ඉවරයි. අතීතයේ අප අතමාරුවට මුදල් හුවමාරු කරගත්තත් දැන් ඒ සියල්ල උඩුයටිකුරු වී ගොසිනි. සියල්ල මුදල මතම යැපෙන සමාජයක හිතවත්කම්, ඥාතිකම්, සහෝදරකම් බොහෝ දුරට විසි වී ගොසිනි. ‘සල්ලිවලට නෑදෑකම් නැහැ’ ‘ණයට දීමෙන් මුදලත් මිතුරාත් අහිමි වෙයි’ යන කියමන ද සමාජය තුළ ප්‍රචලිත වී ඇත්තේ ඒ නිසා වන්නට ඇත.

ඇත්තට ම බොහොමයක් දෙනා ණය වෙලා ගෙවල් හදලා.. වාහන අරගෙන ..ජාත්‍යන්තර පාසල්වලට දරුවෝ යවලා ගත කරන්නේ ඇත්තට ම පී‍්‍රතිමත් සතුටුදායක ජීවිතයක් ද?

මිනිසත් බව ලැබූ හැමෝටම එක ලෙස ලැබෙන්නේ නැත. මේ අපට ලැබී තිබෙන්නේ අප පෙර භවයන්හි දුන් තරමට ය. එය මැනැවින් අවබෝධ කරගෙන ලද දෙයින් සතුටු වන ලෙස මනස මෙන්ම පරිසරය සකස් කරගැනීම අද දවසේ අපගේ යුතුකමක් වනු අත. ජීවිතය නිවී සැනසිල්ලේ ගත කරන්නට නම් අප අතට ලැබෙන තරමට අනාගතය සැලසුම් කළ යුතුය. සමහරු අදායම් වැඩිකර ගන්නට මුදලේ අගය දෙගුණ තෙගුණ කරන්නට ලෙහෙසි මාර්ගවලට පිවිසෙති. සමහරවිට සුනේත්‍රාදේවිගේ සැමියා ද එසේ වන්නට ඇත. එහෙත් අවසානයේ ඔවුන්ට අත් වූ ඉරණම කෙබඳු ද?

මෙම ඛේදවාචකයත් සමඟ අපට යමක් හිතන්නට ඉතුරුකර ඇත. මුදල් හේතුවෙන් මෙලෙස ජීවිත අහිමි වූ ප්‍රථම හෝ අවසාන සිදුවීම මෙය නොවනු ඇත. එහෙත් අප විසින් ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් තව කෙනකුට දෙන විට වරක් දෙවරක් නොව ඊට වඩා සිතිය යුතුය. අප හම්බ කරගත් මුදල් අනුනට දී අවසානයේ තමන්ගේ ජීවිතයෙන් පමණක් නොව තම ලෙයින් උපන් දරුවන්ගේ ජීවිත ද අහිමි වන්නට ඉඩ තබන්නේ නම් ඵලක් තිබේද?

“ණය බර” වූ කලී ජීවිතයට අසහනය එක්කරන්නකි. ණය බරින් මිරිකෙන පවුල්වල සතුට සමාදානය බොහෝ ඈත ය. ඔවුන් හැම තත්ත්පරයක් ම ගත කරනුයේ පීඩාවෙනි. කෑමට බීමට රුචියක් නැත. සුවදායී නින්දක් අහිමි ය. මනස වියවුල් ය. මානසික පීඩනය ජීවිත වෙලාගෙන ය. සිත මෙන්ම ගතත් රෝගී වෙයි. පවුල් ආරවුල් ය. දරුවන්ගේ ඉගෙනුම අතරමග බිඳ වැටේ.

එබැවින් අප ණයක් දෙන විටත් ණයක් ගන්නා විටත් බොහෝ දේ ගැන විමසිලිමත් විය යුතුයි. ගෙවන්නට නොහැකි නම්, මාර්ගයක් නොමැති නම් කිසි විටෙක ණය වන්නට හිතන්නටවත් එපා. ඒ වගේම ණය සඳහා ඇප වන විට ද මේ ගැන වඩාත් සිතිය යුතුය.

288 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න