තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 14:48

කාන්තාව මලක් නොකළේ ඇයි? විශේෂාංග

ලිව්වේ  තිලක් පුෂ්ප කුමාර සේනානායක
අගයන්න
(0 මනාප)
ලෝකයේ කාන්තාවන් පිළිබඳ දුර්මත සමාජය මත පතත වූයේ බුදුන් වහන්සේගේ කාලයටත් පෙර සිටය. කාන්තාව ගැන මේ දුර්මත ප්‍රචාරය කළ අය ඒ හරහා කාන්තාව ලිංගික භාණ්ඩයක් බවට පත් කර ගන්නට සිහින මැවූහ.

 

ලෝකයේ ආගම් රැසක්ම බිහි වී ඇත්තේ කාන්තාව පීඩනයට පත්කොට ඇය සමාජයෙන් වසන් කොට තබා ලිංගික සන්තර්පනය ලබා ගැනීමේ පරමාර්ථයෙනි.

කාන්තාව දුටු දුටු කල්හි වරදෙහි බැඳෙන්නියක ලෙස ද, කන්තාව විශ්වාස කළ නොහැකි ප්‍රාණියකු ලෙස ද සමාජගත කරනු ලැබිණි.

එහෙත් පුරුෂයන්ගේ නොපහත්කම් ගැන කිසිදු කතිකාවතක් ඇති නොවිණි.

කාන්තාව වෙත සමාජයේ තමන් විසින් සකසා ගත් සමාජ නීතියක් සමාජගත කිරීමෙන් කාන්තාවගේ නිදහස අහිමි කිරීමට මෙන්ම ඇයගෙන් තමනට උවමනා කායික ප්‍රයෝජන ලබා ගැනීමට ද විවිධ පුද්ගලයෝ උත්සාහ ගත්හ.

මිසර ලේඛිකා නවාල් එල් සදාවි Woman at Point Zero ග්‍රන්ථයේ එන ප්‍රධාන චරිතය වන පර්දාවුස්ගේ චරිතය මඟින් මුස්ලිම් ලෝකයේ කාන්තාවන්ට විඳින්නට සිදුවන ලිංගික පීඩාව කෙසේදැයි තිර කර සිටී. Trade, Spartercus, Game of Throne  ආදී චිත්‍රපට හා ටෙලි නිර්මාණ තුළින් නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ ලෝකයේ ප්‍රධාන බලවේගය බවට පත් වී ඇති පුරුෂ පක්ෂය විසින් මානසික හා කායික පීඩාවන්ට ඉතිහාසයේ සිටම කාන්තාව පත් කළ බවයි.

ලෝකයේ කලා කෘතිවලින් සියයට 90 ක්ම කාන්තාවන් මුරුංගා අත්තේ තබා පසුපසින් සිට නිර්දය විවේචයට ලක් කරන අවස්ථා එමට ඇත.

ලෝකයේ කාන්තාවන්ට නියමිත ස්ථානය ලබාදීමට රුසියානු නවකතාකරුවන් රැසක් ඉදිරියට පැමිණ තිබීම සුබ ලකුණකි.

ඉන්දියාවේ පුලාන් දේවිය, මියන්මාරයේ අවුන්සාන් සූකි මැතිණිය, පාකිස්ථානයේ යුසුෆ් මලාලා තරුණිය, එංගලන්තයේ කේට් කුමරිය, ක්‍රීඩා පිටියේ මාර්ටිනා නවරත්ලෝවා ආදින් ද පුරුෂ පක්ෂයේ මත සුණුවිසුණු කරමින් විශාල කාර්යභාරයක් ඉටු කළ කාන්තාවෝ වෙති.

පුරුෂ පක්ෂයේ මහත්මා ගතිගුණ ඔවුන්ගේ කලාව කාන්තාව වෙත පතිත වන්නේ ඇය නිර්දය ප්‍රශංසාවට හා නිර්දය උපහාසයට ලක් කරමිනි. නිර්දය (දයාවෙන් තොර) ප්‍රකාශ හරහා ගර්හාවට ලක් කරනු ලබන්නේ කාන්තාවන්ගේ භූමිකාවයි.

අද වන විට කාන්තාවට හිමි තැන නොලැබී කාන්තාව පීඩනයට පත් කරන රටවල් අතර ආසියාවේ රටවල් ඉදිරියෙන්ම සිටී.

දළදා වහන්සේ කාන්තාවකගේ කේශ කලාපයේ වැඩමවා ගෙන ඒමට හැකි නම් කාන්තාවන් නිර්දය උපහාසයට ලක් කිරීම පුරුෂ පක්ෂය විසින් දෙවරක් සිතිය යුත්තකි. ආසියාව තුළ තවමත් කලා කෘති බිහි වන්නේ කාන්තාව පිළිබඳව අගතිගාමී හැඟීම් ගොනුකොට ගනිමිනි.

බංග්ලා දේශයේ තස්ලිමා නස්ලින්, මිසරයේ සදාවි යන කතුවරියන් මේ තත්ත්වය සමනය කිරීම පිණිස කාන්තාවන්ට ආසියාවේ දී සිදුවන නොපනත්කම් ගැන හා පුරුෂ පක්ෂයේ අධික බලය කාන්තාව මත පතිත කිරීම ගැන මාහැඟි රචනා ඉදිරිපත් කොට ඇත.

අපි බටහිර වැසියන් කොල අතු අඳින යුගයේ අතිශය ශිෂ්ට ජාතීන් වීමු.

එදා අපේ මුතුන්මිත්තන් කළ නිර්මාණ බටහිර විද්‍යාඥයන්ගේ සිත් සසල කිරීමට සමත් විය.

එහෙත් අද බටහිර ශිෂ්ට වී ඇත.

අපි අශිෂ්ටයන් වී ඇත. අප අද බටහිරට වඩා සියවසක් පසුපසින් සිටිමු.

ආසියාවේ මේ තත්ත්වය නිසා කාන්තාවන්ට ඇති වී ඇති පීඩනය අති මහත්ය. කෝටි 6 ක ජනතාවට ජීවිත අහිමි කළ 2 වැනි ලෝක යුද්ධයේදී නැගෙනහිර යුද පෙරමුණේ රුසියානු කාන්තා සෙබලියන් කළ දස්කම් ලෝකයට තවමත් අමතකව නැත.

ලියෝතෝල්ස්තෝගේ ලේඛන දිවිය වර්ණවත් කළේ ඔහුගේ දයාබර බිරියට පින් සිදුවන්නටය. තෝල්ස්තෝයි ලියූ ක්‍රොයිට්සර් සොනාටා කෘතිය සාර් රජුට ඉදිරිපත් කොට පුද්ගලිකවම එය මුද්‍රණ ද්වාරයෙන් පිට කිරීමට තෝල්ස්තෝයිගේ බිරිය අවසර ලබා ගත්තාය.

කාන්තාව මලක් බවට පත් කොට ඇගේ සුකුමාලත්වය අගය කරනු වෙනුවට අවසර කල් රහස් තැන ඇය වරදෙහි බැඳෙන බවට සාහිත්‍යකරුවෝ චෝදනා කළහ.

ඩී. එච්. ලෝරන්ස්ගේ චැටර්ලි ආර්යාවගේ චරිතය තුළින් කාන්තාව ලිංගික සත්ත්වයකු බවට පත් කර ඇතත් ඇයව එම තත්ත්වයට පත්වීමට සිදු වූයේ ඇගේ ස්වාමියාගේ බෙලසුන්භාවය නිසා බවට උළුප්පා දක්වන්නට විචාරකයෝ මැලි වෙති.

ආසියාව පුරා පවතින කාන්තාවගේ ගුණාංග දෙවැනි තැනට ඇද දැමීමේ ප්‍රවණතාව 2 වැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපා ජාතීන් ක්ෂය කරගත් බව මෙහිලා පැවසීම යුක්තියුක්තය. Last Samurai චිත්‍රපටයේ විදේශික සෙනෙවියාට දයාව දක්වන ජපන් විනිතාවත්, Porest Gump චිත්‍රපටයේ ඇමෙරිකානු වීර සෙබලාට දයාව දක්වන ඔහුගේ පෙම්වතියත් තිර කර සිටින්නේ කාන්තාවගේ ආදරයත් දයාවත් මනුෂ්‍යයාට ජීවිතාශාව ලබා දෙන ඔසුවක් බවයි.

ආගම, සංස්කෘතිය, දේශපාලනය, සිරිත් විරිත් තුළින් පවා ආසියානු කාන්තාවන්ට දෙවැනි තැන ලබා දී තිබේ.

එහෙත් අද වන විට යුරෝපය තුළ කාන්තාවන්ගේ ප්‍රබල නැඟිීමක් දක්නට ලැබෙයි. ජර්මානු චාන්සලර්වරියත්, මියන්මාරයේ අවුන්සාන් සුකී නායිකාවන් වැනි නායිකාවන් පෙරට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ ලෝක නායකත්වය තුළ අද කාන්තාවන්ට ඉදිරියට ඒමට මංපෙත් විවර වී ඇති බවයි.

ලෝකය නව ශත වර්ෂය උදාවීමත් සමඟම නව නිදහස් මත කරා ගමන් කරමින් සිටියි. ඒ නිසා සාහිත්‍යකරුවන් කාන්තාව මලක් නොකොට ඇය පහත් ලිංගික සත්ත්වයකු බවට පතුරා ඇති දුර්මත අද සුණුවිසුණුවීමට පටන්ගෙන තිබේ.

ආසියාකරයේ ඇති සංස්කෘතික අරටු තුළ සිරවුණු කාන්තාවන්ට තවමත් යුරෝපීය කාන්තාවන්ගේ සමාජය ලබන නිදහස ඇහිරී ඇත. සාහිත්‍යකරුවන්, ගායකයන්, ගීත රචකයන් කාන්තාව ගැන පතුරා ඇති දුර්මත තවමත් ආසියාවේ සංස්කෘතික අරටු තුළ නිදහස් වී නැත. මේ තත්ත්වය අවම කර ගැනීමට නම් දුර්මත සුණු විසුණු කරමින් අධ්‍යාපනයෙන් බුද්ධියෙන් පෙරට ඒමට කාන්තාවන්ට සිදු වන අතර, ආසියාවේ කාන්තාවන් තවමත් භුක්ති විඳින්නේ පසුගිය සිය වස තුළ තිබූ අවම නිදහස බව ද මෙහි දී අවධාරණය කරනු වටී.

292 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න