තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 10:57

“ඔයා මට ආදරෙයි නම් මාත් එක්ක නිදහස් තැනකට යන්න එන්න”

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
මෙහෙම කියන පිරිමි ළමයෙක් න ම් ඒ ටිකම ඇති ඈත්වෙන්න     “ඉස්කෝලෙ යන කාලෙදි අනේ මං හරි හැටි ඉගෙන ගත්තා නම්...”

 

මේ පශ්චාත්තාපයෙන් පෙළෙන දූවරු බොහෝ දෙනෙක් අපේ සමාජයේ කඳුළෙන් සුසුමෙන් ජීවත් වෙනවා. අවාසනාවකට ඔවුන්ට අධ්‍යාපනයේ වටිනාකම දැනී ඇත්තේ දීග ආවට - දරුමල්ලන් ලැබුවාට පසුවයි.

අපට ගොඩාක් දේවල වටිනාකම දැනෙන්නේ ඒ දේ හෝ ඒ අවස්ථාව අහිමි වූ විටයි. සමහර දේවල් ගැන මොන තරම් හැපුණත් අහිමි වූවාට පසු හිමි කර ගන්න බැහැ.

පාසල් කාලයත් එහෙමමයි. අධ්‍යාපනයෙන් ජීවිතය සරසා ගන්න ලැබෙන පාසල් විය අපතේ හැරියොත් එහි අලාභය බොහොම බරපතළයි.

ඒත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලයේදී එහි වුවමනාව ඇත්තේ අම්මා හා ගුරුතුමියගේ පෙළඹවීම මතයි.

එහිදී ක්‍රීඩාශීලි ළමා වියට අධ්‍යාපනය දැනෙන හැටිය ගැන වරදක් දකින්නත් බැහැ.

ඉන්පසුව අපේ දරුවන් එළඹෙන්නේ සමනල යොවුන් වියටයි. ටිකෙන් ටික මෝරන මොළගෙඩියට අධ්‍යාපනයේ වටිනාකම ගැන අවබෝධයක් නොතිබුණොත් මේ යෞවනයත් පාට පාට මනෝලෝකයකට සීමා වෙනවා. එහෙම දරුවන් අධ්‍යාපනයේ බර හිසට ගන්න කැමැත්තක් නැහැ.

විශේෂයෙන්ම අපේ දූවරුන් මුහුණ දෙන ජීව විද්‍යාත්මක වෙනසත් එක්ක අධ්‍යාපනයට වඩා ආදරයට, අන් අයගේ ආකර්ෂණයට හිත නැඹුරු කරගන්නවා.

ඇත්තමයි දුවේ, මේ කාලසීමාවේදී ජීවිතය ගැන අවබෝධයෙන් නොසිතුවෝතින් බොහොම පහසුවෙන්ම ඔබට අධ්‍යාපනය අතහැරෙනවා.

“එයා මට කොච්චර ආදරේ ද?”

“මං ඉපදෙන්න ඇත්තේ එයා වෙනුවෙන්මයි.”

“ඒ ඇස් දෙක දිහා බලාන කොහොමද මං බෑ කියන්නේ...”

මේ ඔබේ හිත ආදර හැඟුමකින් උණුහුම් වෙන්නේ අධ්‍යාපනික අරමුණ අතහැර ගන්නයි. ඇත්තටම ජීවිතය පුරාවටම ඔබව රකින ඔබව සතුටින් තබන ආදරය ඔබට තව දුරයි දුවේ. එහෙම ආදරයක් හරි හැටි අධ්‍යාපනය ලබා ජීවිතය ශක්තිමත් කර ගත්තෝතින් ඔබ සන්තක කරගත හැකියි.

මේ ටික අධ්‍යාපන අරමුණු වෙනුවෙන්ම ජීවිතය කැප කළ යුතු පාසල් වියේදී තේරුම් නොගත් නිසා ගෙවන දුක්ඛිත ජීවිතය ගැන මා ඉදිරියේ කියන දූවරු අනන්තයි.

“අනේ සර් මං ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 191 ක් ගත්තා. සාමාන්‍ය පෙළ ඒ - 9 ක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ තමයි මට එයාව හමු වුණේ. ඒ එයා වෙළෙඳ නියෝජිතයෙක් විදහට අපේ කොලේජ් එකේ කැන්ටිමට චොකලට්, ටොෆී අරගෙන ආ නිසායි. ලස්සනට ඇඳලා ටයි එකක් බැඳලා එන එයාට අපේ පන්තියේ ළමයි පිස්සු වැටිලා හිටියේ. යාළුවෝ නම් චොකලට් අයියා එක්ක කතා කළා. ලැජ්ජාවයි බයයි හින්දා මං කතා කළේ නෑ. ඒත් චොකලට් අයියා දවසක් ෆෝන් නම්බර් එකත් එක්ක මට චොකලට් එකක් දුන්නා.

ඉන්පස්සේ අපි අතරේ ආදරයක් ඇති වුණා. ‘ගොඩාක් ඉගෙන ගත්තෝතින් ඔයාව මට නැති වේවි.” එයා තිස්සේම කිව්වෙ ඔය මන්තරේ තමයි.

මටත් ඕනෑ වුණේ මගේ හිතේ එයාට තියන ආදරය ඔප්පු කරන්නයි. හිතුවාට වඩා මගේ ජීවිතය වේගවත් වුණා. මං උසස් පෙළ කළේ නැහැ. එයත් එක්ක හිතුවක්කාර කසාදයක් කර ගත්තා.

දැන් අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. එයා දරුවන්ටත් මටත් සලකනවා. ඒත් මං සිහින මවාපු සැපවත් ජීවිතයක් දෙන්න එයාට ආර්ථික ශක්තියක් නැහැ. මගේ දරුවෝ නැති බැරිකම් මැද්දේ හැදෙනවා දකිද්දී මට උහුලන්නේ නැහැ. ඉගෙන ගත්තා නම් මටත් හොඳ රස්සාවක් කරන්න තිබුණා නේද කියලා මං තැවෙනවා. ආදරය කරන කාලෙදී ලුණුයි බතුයි කාලා ඉඳිමු කිව්වට සැබෑ ජීවිතයේදී එහෙම කටුක ජීවිතයක් ගෙවන්න බෑ.”

මේ දුව කියන කතාව බොහොම ඇත්තයි. ඒත් දැන් ඇයට ආපසු හැරෙන්න බැහැ. අද පාසල් පෙම්වතියන්ගේ පසුබිම මීටත් වඩා අවදානම් කාරියි. ඒ බොළඳ ආදරයත් එක්ක ලිංගික ගනුදෙනුත් ඉස්සර වන නිසායි.

“ඔයා මට ආදරේ නම් මාත් එක්ක නිදහස් තැනකට යන්න එන්න ඕනෑ.” මේ ඉල්ලීමට හිත නම්මාගත් දැරියන් කී දෙනෙක් නම් ටියුෂන් පොත්ටික පපුවට තුරුලුකරගෙන පෙම්වතාත් එක්ක තානායම් දොරටුවලින් ඇතුළු වනවාද? හැම සති අන්තකම අපේ රටේ තානායම් ටික වැටලුවොත් මෙවැනි ළාබාල පෙම්වතියන් දහස් ගණනක් හොයා ගන්න එක අමාරු නැහැ.

මේ ගමනට පස්සේ ඔබේ හිත වෙහෙසෙන්නේ අධ්‍යාපනයට නෙමෙයි. ඔහුව රැක ගන්නයි. වටිනාකම නසාගත්ත පෙම්වතියක් ගැන පෙම්වතාගේ හිතෙත් වෙනදා තරම් වටිනාකමක් නැහැ.

දැන් පාඩම් පොතකට හිත වෙහෙසන්න මෙහෙයවන්න තරම් අනේ දුවේ, ඔබේ හිත නිදහස් නැහැ.

පෙම්වතා හැර ගියාට පස්සේ ජීවිතයට ළං වන ඊළඟ පෙම්වතාගෙන් ඔබට ගැලවීමක් ලැබෙන්නෙත් නැහැ.

“ඔයා මට ආදරේ නම් ඇඳුම් නැතිව පිංතූරයක් එවන්න.”

ගෙදර රෑ පාඩම් කරන අතරතුර දුරකථනයෙන් පෙම්වතාගෙන් ලැබෙන ඉල්ලීමකට දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවක් අවනත වනවා.

පහුවෙනිදා මේ දැරිය පාසල් යද්දී පාසල ළඟ පාරේ ඉන්න තරුණයන් අතේ ඇගේ නිරුවත් ඡායාරූපය තියෙනවා.

සමාජයට මුහුණ දෙන්න බැරි ලැජ්ජාවකින් අසරණ වූ මේ දියණිය කෝච්චියට පනිනවා.

අධ්‍යාපනය කියන්නේ අපේ දූවරුන්ගේ ජීවිත සැපතට එතෙර කරවන කමටහනක් වාගෙයි.

මොනදේ අහිමි වුණත් ඔබට හරි හැටි අධ්‍යාපනයක් තිබුණෝතින් කශේරුකාව කෙළින් තබාගෙන ජීවිතයට මුහුණ දිය හැකියි. අපේ දූවරු අධ්‍යාපනය නිසා ලැබෙන මේ වරම කිසිම හේතුවක් මත අතනෑරිය යුතුයි.

“මට ඉගෙන ගන්න ඕනෑ. මේ කාලයේ දී අනෙක් හැමදේම ඊට දෙවැනියි.”

ඒ නිසා ඔබ නිරතුරුව මේ සිතුවිල්ලේ ම පිහිටන්න. අධ්‍යාපනයට බාධක මතු වේවි. ඒ හැමදේටම බුද්ධියෙන් ඉවසීමෙන් මුහුණ දී අධ්‍යාපනය රැක ගන්න.

පාසල් වියේදී ආදරය බිඳ වැටීම, ව්‍යාජ ආදරය නිසා අවමානයට පත්වීම, ජීවිතයේ වටිනාකම් අහිමිවීම වැනි තත්ත්වයන්ට පත් වුවත් රත්තරං දුවේ, ජීවිතය නසා ගන්න එපා.

ඔබේ ජීවිතය යළිත් උස් බිමකට ගෙන යන්න අධ්‍යාපනය මෙවලමක් කරගන්න. නො දන්නාකමට කැළැල් වූ ඔබේ ජීවිතයට අධ්‍යාපනයෙන් ලැබෙන වටිනාකම සහන් සුවයක් ගෙනදේවි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් තරුණීට පමණක් ලබාදෙන

1272 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න