තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 27, සඳුදා 14:28

කොලෙස්ටරෝල් පාලනයට විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම වර්තමානයේ සුලබ රෝගී තත්ත්වයක්. ආහාර පාලනය, ව්‍යායාම, මානසික සමබරතාව මෙම රෝගීන්ට අවශ්‍ය වෙනවා. බුද්ධිමත් ගෘහණියට මුළුතැන්ගෙයි ද්‍රව්‍ය ඇසුරින්ම මෙම රෝගය මට්ටු කළ හැකියි. පරම්පරා ගණනාවක් අපගේ මුතුන්මිත්තන් භාවිත කරමින් ගුණය තහවුරු වූ ද්‍රව්‍ය නිසා කිසිදු බියකින් තොරව මෙම ද්‍රව්‍ය භාවිත කළ හැකියි.

 

කරපිංචා කියන්නේ මුළුතැන්ගෙයි අනිවාර්යයෙන් තිබෙන ද්‍රව්‍යයක්. කරපිංචා කොළ කීපයක් මාළු පිනි සඳහා යෙදීම කාගේත් සිරිතක්. කොලෙස්ටරෝල් අඩු කිරීම වගේම ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, ලේ පිරිසුදු කිරීම යන හැකියාව මෙම ශාකයට තිබෙනවා. අමු කරපිංචා කොළ මාළු පිණිවලට දැමීමට අමතරව කරපිංචා කොළමිටක්, සුදුලුනු ගෙඩියක්, ගොරකා මද 3 ක් සිහින්ව අඹරා ලුණු හා ගම්මිරිස් රස පදමට දමා බත් සමඟ වෙරළු ගෙඩියක ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගතහැකි නම් එයද වඩා ප්‍රතිඵල ලැබේවි. ශරීරයේ බර වැඩිවීම ද මින් පාලනය කරගත හැකියි.

කහකුඩුවලටත් රුධිරගත මේදය අඩුකිරීමේ ශරීර බර අඩුකිරීමේ ගුණය තියනවා. මෙම ගුණයට ලේඛනීය ගුණය කියනවා. ලංකාවේ වැවෙන කහ ශාකයේ ඖෂධීය ගුණය ආනයනික කහවලට වඩා වැඩි බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. දිනපතා කහ ස්වල්පයක් ආහාරයට එක්කිරීම අතුරු ආබාධ ඇතිකරවන්නේ නැහැ.

සුදුලූනුවල ද ලේඛනීය ගුණ ඇති නිසා මාළුපිනිවලට දැමීම පරණ මීපැණිවල ගිල්වා මාස 2 - 3 ක් තැබූ සුදුලුනු බික් කිහිපයක් දිනපතා භාවිත කිරීම කළ හැකියි. පලුදු වීම, රත් කිරීම නිසා සුදුලූනුවල ගුණ අඩුවන නිසා සුදුලූනු බික් 3 - 4 ක් පරිස්සමින් පොතුහැර අයිස් කැට කීපයක් සමඟ බ්ලෙන්ඩ්කර එසැනින් පානය කිරීම (අම්ල පිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) නැති අයට) වඩාත් ගුණදායි බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.

උළුහාල්වල ද රුධිරගත මේද අඩුකරන හැකියාව තිබෙනවා. දිනපතා තේ හැඳි 1 ක ප්‍රමාණයක් වත් උළුහාල් ආහාරයට ගතහැකිනම් වඩාත් ගුණදායකයි. (පසුගිය සතියේ උළුහාල් ආහාරයට ගතහැකි ආකාරය සවිස්තරවම දක්වා ඇත) යකි නාරං කොළ, කරපිංචා කොළ කැඳ ලෙස පිස සතියට දෙවරක් වත් පානය කළ හැකිනම් වඩාත් සුදුසුය. එහිදී මිටි කිරි වෙනුවට දියකිරි යෙදීම හා රතු කැකුළු හාල් කැඳ සෑදීමට යොදා ගත හැකිනම් වඩාත් සුදුසුයි. මැල්ලුම් වර්ග, කොහිල, කෙහෙල්මුව ආදියේ තන්තු බහුල නිසා ආහාරයේ ඇති මේද වර්ග ශරීරයට උරාගැනීම අඩුකරයි. එනිසා දිනකට දෙවරක්වත් ගාගත් පොල් සමඟ මඳ ගින්නේ මැලවූ පලාවර්ග ආහාරයට ගන්න. උදෑසනට ධාන්‍ය වර්ග මිටක ප්‍රමාණයක්වත් ආහාරයට ගන්න. මෙම සරල ක්‍රම අනුගමනය කරන අතර මාස 3 කට වරක් රුධිර පරීක්ෂණ මඟින් කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්නටත් අමතක කරන්නට එපා.

 

ආයුර්වේද වෛද්‍ය සුසීමා සේනානායක

949 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 27, සඳුදා 14:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න