තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 04, සඳුදා 12:48

ඇවිද්ද පය දහස් වටී

Written by 
අගයන්න
(0 මනාප)
‘මිනිහ දැං පොළොවේ අඩිය ගහලා යන්නෙ නෑ. කොහොමද ඒ කාලෙ හිටියේ . . . දැන් අපිව අඳුරන්නෙවත් නැහැ’

 

‘එයාට හරි ගිහින්. ලක්ෂෙට කොඩි දාලා. ඇවිදින්නෙත් පොළොව පාගන් නැතුව‘

‘හතේ හත වැදිලා දැන් ඔහොම වුණාට බලන්න එපායැ ඒ දවස්වල . . . අඩියක් විතර උඩින් තමයි ඇවිද්්දේ’

කතා තුනක්. මෙහෙම කතා ඔබත් අහලා ඇති. සමහර විට කියලාත් ඇති. ගම, නගරය, තැන, නොතැන වෙනසක් නැතිව එදා මෙදා හැමදා මෙහෙම කතා කියවෙනවා. කියනවා. මේ කියන්නේ කවුරුන් ගැන ද . . . කතා කරන්නේ කවුරුන් ගැන ද කියලා ඔබ දන්නවා. කාලයත් සමඟ මුදල් සහ බලය හුවමාරුවීමේදී වෙනස්වන මිනිස් චර්යාවන් හරහා මෙවැනි කතා ගොඩ නැඟෙනවා. ඒවා කියන්නාගේ දෘෂ්ඨි කෝණය අනුව හරි හෝ වැරැදි හා සාධාරණ හෝ අසාධාරණ විය හැකියි.

‘මට හරියට පොළොවෙ පය ගහලා ඇවිදින්න බෑ. වෙලාවකට උඩ වීසි වෙනවා වගේ දැනෙනවා. ඒ වෙලාවට ඇවිදින්නෙ ඇඟිලි තුඩුවලින්. ගිය ආත්මෙ අශ්වයෙක් වෙන්නැති කියලා යාළුවො විහිළු කරනවා. කී පාරක් කපලා දැම්මද . . . ඒත් ආයෙමත් ලියලනවා. පුච්චලා දැම්මා. ඒත් මතු වෙනවා. මේක හොඳ කරන්න පුළුවන් ද ඩොක්ටර් . . .?’

මා ඉදිරියේ වාඩිගෙන ඉන්නා රෝගියා කතා කරනවා. ඔහුටත් පොළොවේ පය ගහලා යන්න බැහැ. ඉහත කතාවල යම් සමානකමක් තිබුණත් මෙතන හේතුව පැහැදිලිය. ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර කළ හැකියි. කැපීම්, කෙටීම්, පිළිස්සීම් නොමැතිව ඖෂධ ආලේපය ප්‍රධාන කොටගත් ප්‍රතිකාර මඟින් එය ස්ථිරවම සුව කළ හැකියි.

ගල් බොරළු හා වල ගොඩැලිවලින් යුතු උල් කටු වැනි දේ ඇති බිමක කාලයක් තිස්සේ ඇවිදීම නිසා හෝ සමතලා බිමක සමව පය බිම නොතබා දීර්ඝ කාලයක් තිස්සේ නුහුරට ඇවිදිම නිසා හෝ යටි පතුල් තුවාලවීම සිදු වෙනවා. ඒ සඳහා ප්‍රතිකාර නොකර කාලයක් තිබෙන්නට හැරීම නිසා තුවාලය අපිරිසුදු වී ඒ වටා සම වර්ධනය වීම සිදු වෙනවා. එවිට පාදයේ එම ස්ථානයේ යම් ගැටිත්තක් වැනි යමක් ඇති විය හැකියි. උලක් මෙන් උස් වූ සහ ඝන හෝ මෘදු ලෙස පිටතට නෙරුම් රාශියක් සහිතව පිහිටි මෙම ගැටිති ස්වභාවය ශර්කරා කදර හෙවත් ගල් තැළිම්ඹු නමින් හඳුන්වනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී කකුලේ කරගැට නමින් හෝ ගල්තැලුම් නමින් හඳුන් වන්නේ ද මෙයයි.

ගල් තැළිම්ඹු ඇතිවීම කෙනකුගේ දෛනික ජීවිතයට පෞරුෂත්වයට බලපෑමක් සිදුකරනවා. තමාට හිතූ පරිදි ඇවිද යාමට නොහැකිය. තණ බිමක ඇවිද යාමට ද නොහැකියි. පන්සල් මළුවේ වැලි පාගාගෙන ඇවිද ගොස් මලක් පූජා කිරීම පවා වෙහෙසකාරී විය හැකියි. සමහර විට වතුර ගෑවුණු විටදී පවා ඉතා දැඩි වේදනාවක් හට ගන්නවා. පාවහන් දැමීම කරදරයක්. නොදමා සිටීම ද කරදරයක්. ගල් තැළිම්ඹුවක් ඇතිවීමට කෙනකුගේ වයස අදාල නොවුණත් සාමාන්‍යයෙන් ශරීර ක්‍රියාකාරිත්වය හා ජීව වෘත්තීන් වෙත යොමුවීම ආදිය අනුව වයස 20 - 60 අතර කාලයේදී එම තත්ත්වය ඇතිවිය හැකියි. ගත වෙහෙසා වැඩ කරන කම්කරුවන්ට, අධික බර ඔසොවාගෙන යන නාට්ටාමිවරුන්ට, බර වාහන පදවන රියදුරන්ට ගල් තැළිම්ඹු තත්ත්වය ඇති විය හැකියි.

ගල් තැළිම්ඹුවක් ඇතිවීමට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ පාදයේ එම ස්ථානය දිගින් දිගටම දැඩි තෙරපුමකට භාජනය වීමයි. එම ස්ථාන ආශ්‍රිතව කෙරටීන් ස්ථරයේ වෙනස්වීමක්. එහි අධිවර්ධනය හෝ දුර්වලතාවයක් මේ සඳහා දැඩිව බලපානවා. ගල් තැළිම්ඹු හෙවත් ශර්කරා කදර පාදයේ විලුඹ ප්‍රදේශයේ බහුල වශයෙන් හටගන්නවා. පාදයේ ඉදිරිපස පොළොවට බර දරා සිටින ස්ථාන ආශ්‍රිතව මෙන්ම පොළොව හා තදින් ස්පර්ශවන ඇඟිලි තුඩු ආශ්‍රිතව ද හටගන්නවා.

සමේ ඉතා තද ස්වභාවය, ඝණ වු සමේ පැලුණු ස්වභාවය, පොතු ගැලවීම, වියළි ස්වභාවය, වේදනාව හා තද දැවිල්ල ආදිය ගල් තැළිම්ඹුවල පොදු ලක්ෂණ ලෙස දැක්විය හැකියි. එමෙන්ම ගල් තැළිම්ඹු ප්‍රධාන කොටස් 3 කට වෙන්කර හඳුනාගත හැකියි. සම ඉතා ගණව හා වියළිව පිහිටන වර්ගය, සම මෘදුවට හා වියළි බවින් අඩුව පිහිටන වර්ගය, පිටතට නෙරුම් රාශියක් සහිතව පිහිටන වර්ගය වශයෙන්. මෙයින් සම ඉතා ඝනවට පිහිටන වර්ගය විලුඹ ප්‍රදේශය ආශ්‍රිතව ද, පාදය ඉදිරි පසින් හා ඇඟිලි තුඩු ආශ්‍රිතව සම තරමක් මෘදුවට පිහිටන වර්ග ද බහුලව දැකගත හැකියි. පිටතට නෙරුම් රාශියක් සහිතව පිහිටන වර්ගය පාදයේ වක්‍ර ආශ්‍රිතව සෑදෙන අතර ඒ දැකිය හැක්කේ ඉතා සීමිතවයි.

ඉර ගලට මුවා වීගෙන යන හැන්දෑ යාමයන්වලදී තවත් බොහෝ ගං තුලාවල හුදකලා අඩි පාරවල් දිගේ උඩ පැන පැන ඇවිදිමින් පාළු ගස් වදුලක්, වෙල් යායක් හෝ ගල් තාලාව වෙතට එකතුවන පිරිසක් ඉන්නවා. අහිංසක නිසරු විනෝද කතා කියමින් කංසා දුමින් මත්වෙමින් පැය දෙක තුනක් සීරුවට ගෙවා දමන ඔවුන් අඳුරේම තම තමන්ගේ ගෙවල්වලට රිංගා ගන්නවා. ගමේ කිසිවකුටත් ඔවුන්ගෙන් කරදරයක් නැහැ. කවුරුත් ඔවුන්ව හඳුන්වන්නේ ගල් තැලුම්කාරයෝ කියලයි.

මෙවන් පුද්ගලයින් තමන්ගේ ගල් තැළිම්ඹුව සුවකර ගැනීමට නිසි ප්‍රතිකාරයක් ලබාගන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව තමන් දන්නා කියන ක්‍රමයන් කෙරෙහි ඔවුන් විශ්වාසය තැබීමයි. උල් කටුවකින් පාදයේ ඝන වූ සම ඉරා දමනවා. බ්ලේඩ් තලයකින් ඉරා දැමූ සම කපනවා. සීරුවෙන් දත කට පියාගෙන අතිශය වේදනාකාරී ක්‍රියාව කරනවා. අවසානයේ ලේ ගලනා තුවාලයක් සෑදෙනවා. තවත් සමහරෙකු රත් කරගත් තිරුවානා ගල් කැබලි උඩින් සිදුරු කරගත් ගැහැනු පොල් කටුවක් තබා ගල් තැළිම්ඹු කකුල ඒ මත තබා ගන්නවා. කකුල පසාරු කරගෙන උල් යකඩයක් අනින්නාක් මෙන් වේදනාව දත කට පියගෙන දාඩිය හලාගෙන ඉවසනවා. මෙවන් ක්‍රියාවන් නොකළ යුතුයි. ඉතා පහසුවෙන් සුවකරගත හැකි රෝග තත්ත්ව මෙවැනි ප්‍රාථමික ක්‍රියාකාරකම් හේතුවෙන් වඩා අසීරු තත්ත්ව කරා, දීරඝකාලීන පසු ආබාධ තත්ත්ව කරා යොමු විය හැකියි. නොයෙක් විෂබීජ ශරීරය තුළට ඇතුළු වී බලාපොරොත්තු නොවූ හදිසි භයානක ප්‍රතිඵල ද ඇති විය හැකියි. එබැවින් ගල් තැළිම්ඹු සඳහා ඔවැනි කටයුතු නොකර සිටීම වඩා වැදගත් හා නුවණැති ක්‍රියාවන් බව අවධාරණය කර සිටීමට කැමැතියි.

ගල් තැළිම්ඹුව ඉවත්කර ගැනීම සඳහා නොයෙක් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු විය හැකියි. සැත්කම් සිදුකර ගල් තැළිම්ඹුව කපා ඉවත් කිරීමේදී ඉතා විශාල වශයෙන් අදාල ප්‍රදේශය කපා ඉවත් කිරීමට සිදුවීම හා පසුව සෑහෙන කාලයක් තිස්සේ තුවාලයට ද ප්‍රතිකාර කළ යුතුයි. නමුත් කැපූ ගසක් ලියලා වැඩෙන්නාක් මෙන් කලකදී නැවක ගල් තැළිම්මුව ඇතිවීමද දැකගත හැකියි. එලෙස සැත්කම් සිදුකරගත් අයකු හමු වී තොරතුරු දැනගැනීම වඩාත් සුදුසු වටහා ගැනීමක් වෙනවා. එබැවින් ගල් තැළිම්ඹුව ඉවත් කර ගැනීමට නොව එය සුවකර ගැනීමට නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාරය වෙත යොමුවන්න. ආයුර්වේද ප්‍රතිකාරයේදී ගල්තැළිම්ඹුව සහිත සම් කොටස කැපීමක්, සිදුරු කිරීම් හෝ එතැන තුවාලය සෑදීමක් සිදු නොකර එය ක්‍රමයෙන් සම මතින් පිටතට ඒමට ප්‍රතිකාර කරනු ලබනවා. පසුව එම ස්ථානය නිරෝගී මසින් හා සමින් ආවරණය වෙනවා. මේ සඳහා ඖෂධ ආලේපය ප්‍රධාන කොටගත් ප්‍රතිකාර රටාවක් සිදු කරනු ලබනවා. ආයුර්වේද ඖෂධ කෙරෙහි විශ්වාසය තබා දැඩි වේදනාවෙන් මිදී ගල් තැළිම්ඹු හෙවත් ශර්කරා කදර තත්ත්වය ස්ථිරවම සුවකර ගන්න. ඇවිද්ද පය දහස් වටී කියලා කතාවට කියන්නේ නිකං නෙමෙයි.

 

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons)

ධන්වන්තරී ආයුර්වේදය,

වනිගසූරිය මාවත, පිළියන්දල

391 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 04, සඳුදා 12:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න