තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 04, සඳුදා 13:11

අධික වෙහෙස නොසලකා සිටින්නට එපා!

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
අධික වෙහෙස, දැඩි මහන්සිය, තෙහෙට්ටුව, විඩාව ආදි විවිධ යෙදුම්වලින් සඳහන් කළත් ඉන් අප තුළ ඇතිවන හැඟීම හා තේරුම් ගන්නා අදහස එක හා සමානය.

 

මෙවැනි තත්ත්වයකට පත්වූ විට කිසිවක් කළ නොහැකි බවට හැඟීමක් ඇතිවේ.

සියලු කාර්යයන් අත්හැර මඳ විවේකයක් ලබා තේ කෝප්පයක් වැනි පානයක් බීමෙන් පසු නැවතත් ඔබ බොහෝ දුරට යථා තත්ත්වයට පත්වෙයි. සමහරවිට රැයක් උදාවනතුරු හොඳ නින්දක් ලැබීම ද විඩාව නිවාගැනීමට උදව්වකි.

අප ඕනෑම අයෙකු යම් ඇඟ වෙහෙසන කාර්යයක නියැළුණු විට තෙහෙට්ටුව හෝ විඩාබර ගතියක් දැනීම සාමාන්‍යය. වයසට යාමත් සමඟ මෙසේ විඩාවට පත්වීම සුළු කාර්යයක නිරත වූ විට පවා ඇතිවිය හැකිය.

එහෙත් මෙසේ දැඩි තෙහෙට්ටුවට විඩාවට පත්වීම නිතර නිතර සිදුවේ නම් ඒ පිළිබඳව විමසිලිමත් විය යුත්තේ මෙම විඩාව පිටුපස වෙනත් බරපතළ හේතුවක් පවතින නිසා විය හැකි බැවිනි.

විඩාව තනිව පැමිණෙන්නේ නම් නොවේ. එයත් සමඟ වැඩක් පලක් කිරීමට අවශ්‍ය ශක්තිය නොමැති විය හැකිය.

එසේම යමකට අවධානය යොමු කිරීම කළ නොහැකි විය හැකිය.

ඔබේ අවදි බව මෙන්ම මතක තබා ගැනීමේ හැකියාව සහ මතකය ආපසු ආවර්ජනය කිරීමේ හැකියාව අහිමිවී යා හැකිය. අධික වෙහෙස ඉක්මනින් කේන්තියාමට ද මුල පුරයි. ඇඟ පත රිදීම, ආහාර අරුචිය, නින්ද නොලැබීම ආදී ගැටලු ද විඩාව සමඟ අත්වැල් බැඳ ගෙන පැමිණිය හැකිය. තෙහෙට්ටුව හා විඩාව හදිසියේ ඇති වුවත්, නිතර නිතර ඇතිවුවත් ඒ පිළිබඳව නොසලකා නොසිට වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතීම යහපත් වනු ඇත. විඩාව පසුපස පැවතිය හැකි තත්ත්වයන් කවරේද යන්න සොයා බැලීමට උත්සාහ ගනිමු.

නීරක්තිය

නිරක්තිය හෝ රක්තහීනතාවය ලෙස හැඳින්වෙන්නේ ශරීරයේ ලේ අඩුකමය. මෙහිදී ලේ තුළ තිබිය යුතු රතු රුධිර සෛල ප්‍රමාණය අඩුවීම හෝ හිමෝග්ලොබින් නම් ප්‍රෝටීනය හිඟවීමත් නිසා හෝ ඇතිවිය හැකිය.

පෙනහලු තුළින් ලබාගන්නා ඔක්සිජන් වායුව ශරීරය පුරා රැගෙන යන්නේ මේ රතු රුධිර සෛල තුළ පිහිටි හිමොග්ලොබින්ය.

නීරක්ති තත්ත්වය සමඟ ශක්ති මට්ටම පහළ වැටේ.

බොහෝ විට නීරක්තිය ඇතිවන්නේ ශරීයට අවශ්‍ය යකඩ ගනු ලබන ආහාරයන් නොලැබීම නිසාය. යකඩ අඩංගු ආහාර (මස්, මාළු, පලා) ගැනීම යකඩ පෙති හෝ පැණි හෝ ගැනීම මගින් මෙයට ප්‍රතිකර්ම යෙදිය හැකිය.

හෘද රෝග

හෘදය රෝග පවතින විට හෘදය සිරුර පුරා රුධිරයට පොම්ප කිරීමේ කාර්යයෙහි නිරතවන්නේ අඩු කාර්යක්ෂමතාවෙනි. එසේම පෙනහලු තුළ තරල එකතුවීමටත් එය හේතුවිය හැකිය. එමඟින් හුස්ම ගැනීම අපහසු කරනවා පමණක් නොව හෘදයට සහ පෙනහලුවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය ද පහත හෙලයි. මෙම තත්ත්වය ඔබව පහසුවෙන් වෙහෙසට පත්කරයි.

මන්ද තයිරොයිඩතාව

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ශරීරයේ බර වැඩිවීම, දුර්වලබව, මන්දෝත්සාහීබව, සම වියළීයාම, සිසිල් බවක් දැනීම සහ මලබද්ධය (බඩ වේළීම) වැනි රෝග ලක්ෂණ සමඟ විඩාව ද ඇතිකරයි.

නිදි ගැටලු

රාත්‍රී කාලයේදී ප්‍රමාණවත් තරම් (පැය 6 - 8 ක්) නින්ද නොලැබීම මෙන්ම නිදි නෛරානය (ස්ලීප් ඇප්නියා) නම් ත්ත්තවය නිසාද විඩාව ඇතිවිය හැකිය. නිදි නෛරානයේදී නින්දේ සිටින විට වරින්වර තත්පර කිහිපයකට ආශ්වාස නතරවෙයි.

එසේ නැතිනම් නොගැඹුරු ලෙස හුස්මගැනීමට ඔබ යොමු විය හැකියි. මෙම තත්ත්වයෙන් පෙළෙන අය නින්දේ ගෙරවීම ද සුලබය.

නිදි නෛරාතයට බොහෝ විට ගොදුරුවන්නේ වැඩිහිටි පුද්ගලයන් හා ස්ථුල (අධික තරබවින්) යුත් අයය. අති සක්‍රීය මුත්‍රාශයක් තිබීම, දියවැඩියාව, පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීම ආදී තත්ත්වයන් හේතු කොට රාත්‍රී කාලයේදී නිතර මුත්‍රා කිරීම සඳහා නින්දෙන් අවිධීවීමට ඔවුන්ට සිදුවීම මෙයට බලපායි.

සමහර ඖෂධ

විවිධ රෝග තත්ත්වයන් සඳහා ගනු ලබන ඖෂධ නිසා ද විඩාව ඇතිවීමට හේතුකාරක සපයයි. අධික රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ, ප්‍රතිවිලාදීය ඖෂධ, ප්‍රතිතාංසාමය ඖෂධ මෙන්ම මුත්‍රාකාරක ඖෂධ ද ප්‍රති නින්ටමින ඖෂධ මෙම චෝදනාවට ලක්වන ඖෂධ අතර ඇත.

මෙම ඖෂධ සෑම කෙනෙකු තුළම විඩාව ඇතිකිරීමට මුල්නොවන නිසා ඖෂධ ගන්නා විට විඩාබර ගතියක් දැනෙන බව හැඟුනහොත් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් පතන්න.

විෂාදය සහ කාංසාව

විෂාදය සහ කාංසාව ලෙස හැඳින්වෙන මානසික රෝග සුළු වශයෙන් පවතින විට ද විඩාබර බවක් ඇතිකළ හැකියි.

ගැලවෙන්නේ කොහොමද?

ඉඳහිට අධික විඩාවෙන් පෙළෙන ඔබ ඉන් මිදීමට ගත හැකි ප්‍රයත්න ගැන ද දැන සිටීම වැදගත්ය.

තේ හෝ කෝපි කෝප්පයක් පානය කරන්න

විඩාබර ඔබට යම් සහනයක් ලබාදීමට තේ හා කෝපි තුළ අඩංගු කැෆේන් සමත්ය. උදෑසනට දැනෙන විඩාබර ගතිය නිවීමට මෙය කදිම පියවරක් වන්නෙ එමගින් කායික හා මානසික අවදි බවක් ලැබෙන හෙයිනි.

මිනිත්තු 30 ක් පමණ ඇවිදින්න

නිවෙස වටා හෝ ඒ අවට ප්‍රදේශය තුළ වරකට මිනිත්තු 10 - 15 බැගින් දවසට දෙවරක් හෝ තුන්වරක් ඇවිදින්න.

කෙටි නින්දක් ලබන්න

දිවා කාලයේ දී මිනිත්තු 20 - 30 කට සීමා වූ කෙටි නින්දක් ලැබීම නිසා ද විඩාව පලවා හැරිය හැකිය. එහෙත් ඔබේ කෙටි නින්ද මිනිත්තු 40 ක් හෝ ඊට වඩා වැඩි වුවහොත් එයම විඩාව ඇතිකිරීමට සමත් වෙයි.

දිවා කාලයේ ලබන මෙම කෙටි නින්ද හවස් වී ගැනීමට යාමෙන් රාත්‍රී නින්දට බාධා කළ හැකිය.

මත්පැනට තිත තබන්න

විඩාව ඇති කිරීමට මත්පැන් පානය හේතුවන නිසා මත්පැනින් සම්පූර්ණයෙන්ම වැළකීම හෝ පානය කරන මත්පැන් ප්‍රමාණය සීමා කිරීම හෝ ඉතා වැදගත්ය.

මත්පැනින් තොරවූවිට විඩාව යටපත්වන හැටි ඔබට පුදුමයට පත්කරාවි. ඔබ විඩාවට පත්ව ඇති බව දක්වන ලක්ෂණ දැනගැනීමත් වැදගත්ය. ඒ සඳහා ප්‍රයෝජනවත් වන ඉඟි කිහිපයක් මෙසේය.

රාත්‍රියේ හොඳින් නින්ද ගියත් උදේ නැඟිටින්නේම වියැකුණු බවකිනි.

දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට තරම් උන්නදුවක්, සිතක් නොමැත.

සතුටින් යෙදෙන කාර්යයන් හි යෙදීමට මැළිවීම

වරින් වර විඩාපත් බව ඇතිවෙමින් නැතිවෙමින් යෑම.

හුස්ම ගැනීමේ අපහසුව.

 

 

 

267 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 04, සඳුදා 13:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න