තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:56

ආදරය කරන්න; ඒත් සිමාව හඳුනා ගන්න විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
“බලු සුරතල් විඳීම” දිළිඳු පැල්පතෙත් මහා මන්දිරයෙත් සුලබ දසුනකි. ඇති හැකි අය ලොව සුපතළ නම් දරූ සුනඛ සුරතලුන් ඇති කරන අතර නැති බැරි අය ද දඩාවතේ යන බලු පැටියෙකු හෝ නිවෙසේ ඇති කරමින් ආදරය දක්වති.

 

වැඩිහිටි ළඳුුන්, කතුන්, මහතුන් සේම පොඩිහිටි පැංච පැංචියන් ද බලු සුරතල් විඳින්නට, දකින්නට ඇත්තේ මහත් රුචිකත්වයකි. මානසික ආතතිය දුරු කරලන්නටත්, අධික රුධිර පීඩනය පාලනයටත් සමහර වෛද්‍ය නිර්දේශ වන්නේ ද සුනඛ සුරතලාගේ සුරතල් විඳීම ගතට මෙන්ම සිතට ද මහත් සහනයක් සලසන බව ය.

එහෙත් සුනඛ සුරතලාගෙන් බෝ විය හැකි භයානක රෝගයක් ඇති බවත් අප අමතක කළ යුතු නෙවේ. ඒ ‘ජලභීතිකාව‘ය. මෙම රෝගය සුනඛයන්ට පමණක් පොදු නොවූවත් සුනඛයින් ඒ අතර ප්‍රධාන වේ. ‘ජලභීතිකාව‘ ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ ‘බල්ලන්’ ය. නැතහොත් සුනඛයන්ය. අප කෙතරම් ආදර සෙනෙහස දැක් වුවත් බල්ලන්ගෙන් ප්‍රවේසම් වී සිටීමේ කලාව දැනගත යුතුය. ‘බල්ලොත් එක්ක බෑ’ කියන්නේ ඒ නිසා වන්නට ඇති.

පරසරයට . . . ගහට කොළට . . . සතුනට ආදරය කිරීම උතුම්ම සද් ක්‍රියාවකි. ගහට කොළට සතා සිවුපාවාට ඇදී යන සිත සැබෑවටම සංවේදී ය. ළෙංගතු ය. ආදරණීය ය. මෘදු ය. මොලොක් ය. කරුණාබර ය. ඒ ඇත්තෝ මෛත්‍රී සහගත ය. සතුන්ට බත් කටක් දීම, පැන් පොදක් දීම කුසල් පිරෙන මහ පිංකමකි.

එහෙත් මේ සුනඛ හිතවතා නිවෙසේ තැබිය යුතු තැන ගැන වැඩිහිටි ඔබ අපට යම් අවබෝධයක් තිබිය යුතු ය. නැතහොත් අප ආදරය කරන බලු සුරතලාගෙන්ම අපට මහා ඛේදවාචකයන් ද උරුම විය හැකි බැවිනි. අතීතයේ ඒ බවට ඕනෑ තරම් සාක්ෂි අපට ඇත. එනිසාම මට අද හිතුනා ඔබ අප හැමදෙනාගේ ම වාගේ නිවෙසේ සුරතලයට ඇති කරන ආදරය කරන බලු පැංචා, ගැන යම් දැනුවත් කිරිමක් ලබා දෙන්න.

පුංචි දරු පැටව් සිටින නිවෙස්වල සුරතල් සතුන් ඇති කරන විට ඉතා සැලකිල්ලෙන් ප්‍රවේසමෙන් කළ යුතුයි කියලා දරුවෝ ඇති නැති අපි හැමෝම දන්නවා. මක්නිසාද පුංචි දරුවන්ට මේ සතුන්ගේ මවිල්, කෙළ හරහා විසබීජ ශරීරගත වීමට ඇති ඉඩකඩ බොහෝමයි. ඒ වගේම සමහර බලු පැටව්, පුස් පැටව් පුංචි ළමයි එක්ක ඊර්ෂ්‍යයාවෙන් පෙළෙනවා. වැඩිහිටියන් පුංචි ළමුන්ට ආදරය කරන විට සුනඛ සුරතලුන්ට එය රුස්සන්නේ නැත. වැඩිහිටි උදවිය අහළ පහළ සිටින විට දරුවන්ට විපතක් නොවුණත් ඔවුන් පෙනෙන්නට නොසිටි විට පුංචි පැටව්ගේ පුංචි දඟ කිරීමකටවත් ඔවුන්ගෙන් සමාවක් නැත.

බලු සුරතලුන් පමණ ඉක්මවා විශ්වාස කිරීම කෙහෙත්ම නොකළ යුත්තේ එනිසායි. එක්තරා තරුණ මවක් තම කිරිකැටි දරුවා නිදි කොට ඇඳේ තබා නාන කාමරයට ගියේ නාගෙන එන්නට ය.

නෑම හමාර කොට කාමරයට පැමිණ බැලූ විට ඇයට දකින්නට ලැබුණේ මෙලොව ඉහලුම් නොදෙන දසුනකි. නිවෙසේ සිටි බලු සුරතලා කිරිකැටි දරුවාගේ මුහුණ සපා කෑ තිබෙන අයුරු ය. ලේ විලක් මැද කිරිකැටියා වැටී සිටියේ ජීවිතයත් මරණයත් අතර සිර වෙමිනි. අසීමිත ලෙස සුනඛ සුරතලා විශ්වාස කොට නිවෙස තුළ ඇති කිරීම හේතුවෙන් ගෙහිමියන්ට මුහුණ පාන්නට වන මෙවන් ඛේදවාචකයන් අප එමට අසා ඇත.

මේ මොහොතේ ආදරයෙන් සිටින සුනඛ හිතවතා එක් ක්ෂණයකින් කෲර විය හැකි ය. තිරිසනාගේ ස්වභාවය එබඳු ය. එබැවින් ඕනෑම මොහොතක තිරිසන් සතාගෙන් විපතක් සමීපතමයන්ට සිදු විය හැකියි. ඒ බව අප නිරතුරුවම පුංචි දරුවන්ට වටහා දිය යුතුය. අවබෝධ කර දිය යුතුය.

සුරතල් බලු පැංචාට / පැංචීට ඈත සිට ආදරය කරන්නට ඔබේ දැනුම් තේරුම් නැති පුංචි දරුවන්ට කියා දෙන්න.

සුරතලාගේ ආදරය දුර සිට විඳින්න හුරු පුරුදු කළ යුත්තේ ඔවුන්ගේම ආරක්ෂාවට බව දරුවන්ට ඒත්තූ ගැන්විය යුතුයි. මේ සඳහා කදිම උපක්‍රමයක් වනුයේ බලු සුරතලා කූඩු කරතැබීම හා ගෙවත්තේ නිදැල්ලේ සිටින්නට ඉඩ හැරීම ය.

නිවෙස තුළ තිරිසනුන් හා මිනිසුන්ට එකට වාසය කළ නොහැකි බව වටහා ගත යුතුය. ඒ බව දරුවන්ට ද වටහා දිය යුතුය ය. නිවෙස තුළ සතුන් ඇතිකිරීම වාස්තු විද්‍යානුකුලව ද ඒ නිවෙසට හා නිවැසියන්ට ගෙන දෙන්නේ අසුබ ඵලම බව අප අසා ඇත.

මේ ලිපිය ලිවීමෙන් මා කිසි විටෙකත් සතුන්ට ආදරය කරන්නන්ට, ඇති කරන්නන්ට එය නොකරන්නට උඩ ගෙඩි දීමක් කරනවා යැයි කිසි විටෙකත් නොසිතන්න.

විශේෂයෙන්ම සුනඛයකු ඇති කිරිම ගැන කතාවට කියන්නේ මනුස්සයකුට වඩා බල්ලෙකුට බත් කටක් දුන්නොත් ඌ නගුටවත් වනාවි කියලා.

ඒ කියන්නේ බල්ලා එතරම්ම කලගුණ දත් සතෙක් බවයි. ඒ වගේම නිවෙසකට ආරක්ෂාවට බල්ලෙකු තරම් වටිනා සිවුපාවෙක් තවත් නැතිතරම්.

ඒත් . . . මෙසේ සුරතලයට හැදුවත් ඌ සතෙකු බව අප පුංචි දරුවන්ට නිරන්තරයෙන් අවබෝධ කර දිය යුතුය. එවිට අපට ඔවුන්ගෙන් වන අනතුරු අවම කර ගැනීමට හැකිවනු ඇත. 

427 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න