තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:36

සවිමත් යුගදිවියකට... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ගැහැනියක් හා පිරිමියකු අතර ඇතිවන යහපත් වූ බැඳීම යුගදිවියයි. වෙනස් පරිසර තත්ත්වයන් දෙකක හැදුණු වැඩුණු දෙදෙනෙක් එක් වහලක් යට දුක සැප බෙදා හදා ගනිමින් ජීවත් වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.

 

මේ දෙදෙනා එකට රඳා තබා ගන්නා බැඳීම ආදරයයි. එහෙත් අද වන විට යුග දිවියට අත් වී ඇත්තේ කෙටි දිවියකි. එසේ වීමට කොතෙකුත් හේතු සාධක බලපෑව ද බොහෝ විට ඉතා සුළු හේතූන් එයට සාධක සපයයි. මෙයට දශකයකට පමණ පෙර වුවද වැඩි වශයෙන් සාර්ථක පවුල් ජීවිත තිබුණ ද අද වන විට එය බොහෝ අඩු සංඛ්‍යාවක් බවට පත් වී තිබීම ශෝචනීය තත්ත්වයකි.

ඒ නිසාම සාර්ථක, සවිමත් යුගදිවියක් සඳහා අප විසින් සිදු කළ යුත්තේ කුමක්දැයි විමසා බලමු.

වගකීම් සහගත වන්න.

වගකීම් සහගත බව අද වන විට බොහොමයක් ගැහැනුන් හා පිරිමින් අතින් ගිලිහී යන කරුණක් බවට පත් වී යයි. රැකියාව කරන ස්ථානයක හෝ වගකීමෙන් වැඩ කිරීමට ඇතැම් පුද්ගලයන්ට නොහැකිය. පවුලක් ගෙන යාමේ දී දෙන්නා දෙමහල්ලන් අතර ඇති වගකීම් සහගත බව එක් පාර්ශවයකින් හෝ අඩු වුවහොත් එය ගැටුමකට නැතිනම් ගැටලුවකට හේතුවක් විය හැකියි.

ඔබේ සහකරුට/සහකාරියට සක්‍රියව සවන් දෙන්න.

මෙහිදී සක්‍රියව යන වදන භාවිත කළේ ඇයිදැයි ඔබට සිතෙන්නට පුළුවන්. සවන්දීමේ ක්‍රියාවේ දී ඇතැම් අය අහන්නන්වාලේ ඇහීම සිදු කරයි. පැවසූ දේ සිතට ගැනීමක් නොකරයි. මෙයින් අනෙකාට හැඟෙන්නේ තම සැමියා හෝ බිරිය තමා ගැන තැකීමක් නොකරන බවයි.

ඔහු/ඇය අගය කරන්න.

නිතරම තම සහකරුවා හෝ සහකාරිය අගය කිරීම කළ යුතුය. නැතිනම් ඔහු/ඇය තුළ ඇති වන්නේ තමාගේ සහකරුට/සහකාරියට තමා ගැන හැඟීමක් නොමැති බවයි.

ඔහුට/ඇයට ආකර්ශනය ඇති වන පරිදි ජීවත් වන්න

 

මෙය බොහෝ විට කාන්තා පාර්ශවය අතින් ගිලිහෙන කාරණාවකි. දරුවන් ලැබුණු පසු, විවාහ දිවියේ කාලයක් ගත වූ පසු බොහෝ කාන්තාවන් තමාගේ රුව පමණක් නොව පිළිවෙළ ද අමතක කරන තත්ත්වයක් පවතී. එය විවාහ දිවියේ සාර්ථකත්වයට බලපෑම් කරන කරුණක් වන්නේ, මේ නිසා තුන්වැන්නකුට ඉඩ සැලසීම ඔබ විසින් ම සිදු කරන්නක් වන බැවිනි.

බුද්ධිමත්ව කටයුතු කිරීමට ක්‍රමයෙන් පුරුදු වන්න.

බුද්ධිමත්ව, සිතා බලා කටයුතු කිරීම සැමියා-බිරිය යන දෙදෙනාට ම පොදු වූ කාරණාවකි. ඒ නිසා සෑම විටකම ඉවසිල්ලකින් තොරව කටයුතු කරනවාට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට සිතට ගන්න.

ඔහු/ඇය හැකි සෑම විටම ඔබගේ කටයුතුවලට සහභාගී කරගන්න.

මෙසේ කිරීමෙන් අනවශ්‍ය සැක කිරීම්, ඔබ ගැන වැරැදි සහගත ආකාරයෙන් සිතීම් අවම වේ. ඔබේ වැඩකටයුතු ගැන සහකරුට ද දැනීමක් ඇති වේ. මේ නිසා ඔබත් සහකරුත් අතර බැඳීම ද වැඩිකර ගත හැකියි.

ඔහුගේ/ඇයගේ පෞද්ගලිකත්වයට ඉඩ දෙන්න

මෙයද ඉතා වැදගත් කරුණකි. තමාගේ සහකරු හෝ සහකාරිය වුවද එම පුද්ගලයාට ද පුද්ගලිකත්වයක් ඇති බව සිතිය යුතුය. එසේ නොමැති වූ විට සිර කඳවුරක ජීවත් වන බවක් අනෙක් පුද්ගලයාට දැනෙන බැවින් මේ සිරගෙයින් නික්මීමට හේතු සෙවිය හැකිය.

ඔහුගේ/ ඇයගේ අඩුපාඩු පිළිගන්න

මෙය ද වැදගත් කරුණකි. මන්ද තමාගේ සහකරු/සහකාරියගේ අඩුපාඩු ගැන ඔබ දැනුවත් බවකින් සිටිය යුතුවා මෙන්ම ඒවා ගැන ඔබ එතරම් සැලකිල්ලක් නොදැක්වීමට ද සිතට ගන්න. කිසිවිටෙක එම අඩුපාඩුවලින් අනෙක් පාර්ශ්වයට දොස් නොනැඟීමට හෝ එය අවියක් කරගැනීමට නොයන්න.

අනෙකාට ගරු කිරීමට පුරුදු වන්න

මෙය අතීතයේ සිට ම අපේ පවුල් සංස්ථා තුළ දක්නට ලැබුණු ලක්ෂණයකි. එහෙත් අවාසනාවකට අද වන විට මෙය පවුල් සංස්ථා තුළින් හීන වී යන්නකි. බොහෝ ගැටුම් පවුල් තුළ ඇති වන්නේ ද මේ කරුණ ගිලිහී ගොස් ඇති නිසයි.

යම් යම් දේ පිළිබඳ සමථයන්ට පැමිණෙන්න

බොහෝ විට සැමියා-බිරිය තුළ වුවද යම් යම් කාරණා සම්බන්ධයෙන් ඇති මතය වෙනස් විය හැකිය. එහෙත් එය ක්‍රියාවට නගන්නක් නම් මේ මතයන් දෙකක සිට රණ්ඩු සරුවල් කරනවාට වඩා දෙදෙනාට කතා බහ කොට එක මතයකට පැමිණ ක්‍රියා කිරීමෙන් ආරවුල් අවම කරගත හැකිය. මෙය සාමකාමීව, එකඟත්වයකින් යුතුව පැමිණිය යුතු එකඟත්වයක් බව ද සිහි තබා ගත යුතුය.

අතීතයේ අමිහිරි සිදුවීම් අමතක කරන්න

බොහෝ දෙනාගේ ජීවිතවල කටුක, අමිහිරි සිදුවීම් ඇති වීම ස්වභාවිකය. එහෙත් ඔබ ඔහුගේ මෙන්ම ඔහු ඔබගේ ද එමෙන්ම තමා තමාගේ ද ජීවිතවල පැවැති අමිහිරි සිදුවීම් අමතක කිරීමට උත්සාහ ගත යුතුය. නැතිනම් අතීතය නිසා ඔබගේ යුග දිවියේ වර්තමානය මෙන්ම අනාගතය ද නීරස විය හැකි බැවිනි.

  •  ඔබ අකැමැති ලිංගික ක්‍රියාකාරකම්වලට විරුද්ධ වන්න
  • ඔබේ හාස්‍ය රසය වැඩි දියුණු කරගන්න
  •  ඔබේ ආචාරධර්ම තුළ ජීවත් වන්න
  •  කිසි දින ඔහුගෙන්/ඇයගෙන් වෙන්වන බවට තර්ජනය නොකරන්න
  •  සබඳතාවන් සදාකාලික බව නොසිතන්න. එහෙත් දිනපතා ඔබේ සැමියාට/බිරිඳට ළංවීමට කාලයෙන් බිඳක් වෙන්කර ගන්න.
  •  එමෙන්ම කිසි දින ඔහු/ඇය අත් නොහරින්න

මේ ආකාරයෙන් ජීවත් වන්නේ නම් ඔබට යහපත් පවුල් දිවියක් සතුටින් ගත කළ හැකියි. ඔබ දෙදෙනා කිසියම් හෝ ගැටලුවකින් පීඩා විඳින්නේ නම් සුදුසුකම් ලත්, පළපුරුද්ද ඇති

මනෝ උපදේශකවරයකුගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගන්න.

උපදෙස් -මනෝ චිකිත්සක හා මනෝ විද්‍යා උපදේශිකා

නිල්මිණී හෙට්ටිගොඩ

සංවර්ධන සහකාර (මානසික සෞඛ්‍ය) ශික්ෂණ රෝහල කරාපිටිය, ශික්ෂණ රෝහල මහමෝදර, දිස්ත්‍රික් රෝහල උණවටුන

 

 

 

 

592 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 12:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න