තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 13:10

ආහාරයට ගත හැකි මල් බොහෝය විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
පරිසරයෙන් සපයාගත හැකි පෝෂ්‍යදායී ඖෂධීය ගුණ ඇති ආහාර පිළිබඳ දැනුවත් වුණා මතක ඇති.

 

ආහාර ලෙස සකස්කරගත හැකි මල් වර්ග පිළිබඳයි අද ඔබ දැනුවත් කරන්නේ. ආහාරයට ගත හැකි මල් කියූ පමණින් ගෝවා මල්, බිම්මල් අපේ මතකයට එනවා. ඒ වගේ වෙනත් මල්වර්ගවලිනුත් රසවත් ව්‍යාංජන, සම්බෝල, මැල්ලුම්, බැදුම්, ලුණු මිරිස් ආදිය සකස්කරගන්න පුළුවන්. එමගින් අඩු වියදම්, වියදම් රහිත වැඩි පෝෂණයක් ඔබේ ආහාර වේලටත් එකතු කරගත හැකියි.

වදමල් ව්‍යාංජනය

ඔබ දන්නවා පොකුරු වද මල්. ශරීරයේ ලේ පිරිසුදු කිරීමේ ගුණයක් සහ ලේ වර්ධනය කිරීමේ ගුණයක් මේවාට ඇති බව පැරණි වෙද පොත්වල සඳහන් වෙනවා. මේ වදමල්වලින් රසවත් ව්‍යාංජනයක් පිසගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

සෝදා පිරිසුදුකරගත් වදමල් 20 ක්

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 5 ක්

සිහින්ව කපාගත් රතුළුනු මිටක්

පොල් කිරි කෝප්ප 1 ක්

රම්පෙ, කරපිංචා ඉති 2 ක්

උම්බලකඩ කුඩු මේස හැඳි 2 ක්

රස අනුව ලුණු සහ දෙහි යුෂ

 

සාදන ක්‍රමය

මේ සියල්ල එකට දමා (ලුණු සහ දෙහි යුෂ හැර) හොඳින් පිසගන්න. ඉන්පසු ළිපෙන් ඉවතට ගන්න. එයට රස අනුව ලුණු එකතුකරන්න. දෙහි යුෂ ද එකතු කරන්න. උණුසුම තිබියදීම ආහාරයට එකතු කරගන්න පවුලේ හැමෝම කැමැති වේවි. වදමල්වලට හොඳින් රත්වු වතුර දමා මඳ වේලාවක් තිබෙන්නට හැර පෙරාගෙන එයට දෙහි යුෂ, සීනි සහ ලුණු ස්වල්පයක් එකතුකර ශීතකර රසවත් බීමක් පිළියෙල කරගන්නත් පුළුවන්. දීප්තිමත් වර්ණය නිසා දරුවන් කැමැති වේවි.

පැණි තෝර මල්, වට්ටක්කා මල්, කතුරුමුරුංගා මල්, රණවරා මල් ආදියත් වදමල් ව්‍යාංජනය පිසගත් ආකාරයටම පිසගත හැකියි. හරිම හරි රස සහ ගුණයෙන් සපිරි මේ ආහාර දැන් දැන් තරුපහේ හෝටල්වල ආහාර වට්ටෝරුවලටත් යොදාගන්නවා. වර්තමානය වන විට ගමේ කෑම වර්ග සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම එයට හේතුවයි. මේ මල් වර්ග ව්‍යාංජන විදිහට වගේම බිත්තර එකතුකර ඔම්ලට් එකක් ආකාරයටත් සකස්කරගත හැකියි. එසේම පිටි, කහ, පොල්කිරි, ලුණු එකතුකරගෙන දැවටුමක් සාදා එහි තවරාගත් මේ මල් වර්ග බැදුමක් විදිහට පිළියෙල කරගන්නත් පුළුවන්. සිහින්ව ලියා අමුමිරිස්, රතුලූනු, පොල් ආදිය එකතුකර සම්බෝලයක් ලෙස පිළියෙල කරගන්නත් කදිමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නිර්මාණශීලී හැකියාවයි. විවිධ පිසීමේ ක්‍රම භාවිතයෙන් විවිධ රසවලට එකම ආහාරයට විවිධත්වයක් ගෙන දීමට හැකියාව තිබෙන නිසා හැමදාම එකම ආහාරය එකම ක්‍රමයට පිළියෙල කරලා දොස් අහන්න වෙන්නෙත් නැහැනෙ.

සියඹලා මල් කටගැස්ම

සියඹලා මල් පිපෙන කාලයට සියඹලා ගස් යට කොච්චර සියඹලා මල් වැටිල අහක යනවද? මේ මල්වලින් හරිම රසවත් තෙම්පරාදුවක් සකස්කර ගත හැකියි. කදිම ඇඹුල රසයකුත් සමඟ ආහාර වේලට වෙනසක් ලබාදීමටත් හැකියි. ආහාර රුචිය වඩන කදිම, ඇඟේ උෂ්ණය අඩුකරන දේශීය ආහාරයක් ලෙසත් සියඹලා මල් බැදුම හඳුන්වා දිය හැකියි. ඔබේ ගෙවත්තෙත් සියඹලා ගසක මල් පිපිල තියෙනවා නම් ගහයට හොඳින් අතුගා පිරිසුදු කරගන්න. පිරිසුදු ඉටි රෙද්දක් වැනි යමක් ගහ වටේට බිම අතුරන්න. හවසට මෙසේකර පසුවදා පාන්දරින්ම ගහ යටට ගොස් බලන්න. ඇතිරිල්ල පුරා සියඹලා මල් වැටී ඇති දසුන ඔබ නෙත ගැටේවි. මේ මල් එකතුකරගෙන හොඳින් සෝදා ගන්න. එයට මිරිස්කුඩු, කහකුඩු, තුනපහ කුඩු, ලුණු රස අනුව යොදන්න. රතුලූනු, රම්පෙ, කරපිංචා, අබ, උම්බලකඩ කුඩු අවශ්‍ය පමණ රත්වූ තෙල් ඇතිලියට දමා, ඒවා රන්වන් පැහැයට හැරුණ විට සකස්කරගත් සියඹලා මල්ටික එකතුකර සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2, 3 ක් ද එකතුකර හොඳින් පිසගන්න. කදිම කටගැස්මක් ඔබට ලැබේවි.

කරපිංචා මල්

කරපිංචා මල් ලුණු මිරිස ද අජීර්ණ ආබාධ, උදරාබාධ, ආහාර අරුචිය ඇතිවිට ගුණ දෙන ආහාරයක්. කොලෙස්ටරෝල් රෝගීන්ටත් ගුණදායකයි. ශරීරයේ විස නැසීම සඳහාත් කදිමයි. අවශ්‍ය වන්නේ කරපිංචා මල් කිනිති 5 - 6 ක්, රතුලුනු, අමුමිරිස් හෝ කොච්චි මිරිස්, ගම්මිරිස් ඇට කීපයක්, ලුණු කැට රස පදමට, උම්බලකඩ කුඩු සහ දෙහි ඇඹුල් ස්වල්පයක් පමණයි. මේවා සියල්ල මිරිස්ගලේ දමා හොඳින් අඹරාගන්න. පසුව දෙහි ඇඹුල් ස්වල්පයක් එකතුකරන්න. බත්වලට වගේම රොටි, තෝසෙ, කිරිබත් ආදිය සමගත් තැම්බූ මඤ්ඤොක්කා සමගත් හරිම රසවත් බවක් ඔබට ගෙන දේවි.

ලූනු මල්

ලූනු මල් ද විවිධ ක්‍රමවලට පිසගත හැකි අපූරු රසවත් ආහාරයක්. සිහින්ව ලියා තෙල් දමා සකස් කරගන්නත් පුළුවන්. පොල් සම්බෝලයට එකතුකර මලවා ගන්නත් පුළුවන්. බිත්තර සමග එකතුකර ඔම්ලට් එකක් විදිහට සකස්කර ගන්නත් පුළුවන්.

බලන්න, දේශීය ආහාර වර්ග මඟින් අපේ ආහාර වේලට කොතරම් විවිධත්වයක් එකතුකරගන්න පුළුවන්ද කියල. සුපර්මාර්කට්වල ඇති සුපිරි ගණන් ගෙවල ගේන වස විස සහිත එළවළුවලින් පමණයි අපේ ගෘහණියන් විවිධ කෑම හදන්න දන්නෙ. නමුත් බලන්නකො අපි අවට පරිසරයෙන් ලබාගන්න දේවල්වලින් කොතරම් දේවල් අපට කරන්න පුළුවන් ද කියලා. ගුණදායි පෝෂ්‍යාදිය දේවල් අපේ අතේ දුරින් තියෙනවා. නමුත් ඒවා පිළිබඳ තැකීමක් නැතුව රැල්ලට ගිහින් අතේ ඇති මුදලත් නාස්ති කරගන්නවා. වස විස කාල ලෙඩ රෝගත් බෝ කරගන්නවා. තමනුත් ලෙඩ වෙනව. පවුලේ අයත් ලෙඩ්ඩු කරවනවා. ගෘහණියනි, කාලීන අවශ්‍යතාව වී ඇත්තේ දැයේ පෝෂණයයි. බෝනොවන රෝග සීඝ්‍රයෙන් පැතිරෙන මේ කාලයේ වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ අපේ ආහාර පාන පිළිබඳයි. වසවිස නැති ආහාර ලබාගැනීම හරිම දුෂ්කරයි තමයි. නමුත් ඔබ දැනුවත් නම් එය හරිම පහසුයි. කාබනික වගාවට ඔබත් යොමු වන්න. ගෙවත්තේ සුළුවෙන් හරි ආහාර භෝග වගා කරගන්න. පිරිසුදු විශ්වාදායී පෝෂණ ගුණයෙන් අනූන, නැවුම් ආහාර පාන පවුලේ අවශ්‍යතා අනුව සපයා ගැනීමට ඔබට හැකිවේවි.

 

 

ඉදිරිපත් කිරීම

එච්. එම්. ඉන්ද්‍රානි විජයබණ්ඩාර

ගෘහ ආර්ථික විද්‍යා හා උපදේශන හා මාර්ගෝපදේශන ආචාරිනී

(ශාස්ත්‍රවේදී උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපනපති පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

587 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 05, අඟහරුවාදා 13:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න