තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 11, සඳුදා 15:25

යටි සිතේ අසීමිත බලය හඳුනා ගන්න සාර්ථක වෙන්න ඕනෙ

Written by 
අගයන්න
(0 මනාප)
නම් ලොකුවට සිතන්න පුරුදු වෙන්න ඕනෙ කියලා අපගේ පසුගිය කලාපයෙන් ඔබව දැනුවත් කරන්නට යෙදුණා ඔබට මතක ඇති. ඉතිං අද අපි සාකච්ඡා කරන්නට යන්නේ සාර්ථකත්වය කරා පිය නගන අප සැමටම බෙහෙවින් වැදගත් වන දෙයක් පිළිබඳ යි.

 

ඒ තමා අපට සිතූ පැතූ දේ ලබාදෙන අප තුළ සිටින අප නොදන්නා අපගේ විස්මිත මෙහෙකරුවා ගැනයි. ඔබ දැන් සිතනවා ඇති ඇත්තටම කවුද මේ අපට සිතූ පැතූ දේ ලබාදෙන අප තුළ සිටින අපගේ විස්මිත මෙහෙකරුවා කියලා. ඒ අන් කිසිවෙක් නොවේ. ඒ අපගේම යටි සිතයි.

යටි සිත

සිත ගැන කතා කිරීමේදී මනෝ විද්‍යාඥයන් විසින් එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනු ලබනවා. එනම් සවිඥානික මනස හෙවත් උඩු සිත හා උපවිඥානික මනස හෙවත් යටි සිත ලෙසයි. ඉතිං අද අපි කතා කරන්නේ අපගේ යටි සිත සතු වූ විස්මිත බලය පිළිබඳයි. අපි මුලින්ම බලමු අපගේ සිත ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඇත්තටම අපගේ සවිඥානික මනස හෙවත් උඩු සිත ක්‍රියා කරන්නේ හරියට ස්වාමියා වගේ. එමෙන්ම උපවිඥාානික මනස හෙවත් යටි සිත ක්‍රියා කරන්නේ හරියට මෙහෙකරුවෙක් වගේ. සාමාන්‍යයෙන් ඕනෑම මෙහෙකරුවෙක් තම ස්වාමියා විසින් පවසන, අණ කරන දෑ කිසිදු වග විභාගයකින් තොරව සිදු කරන බව අප කවුරුත් දන්නා කරුණකි. ඉතිං අපගේ මෙම යටි සිත ද උඩු සිත විසින් ලබාදෙන ඕනෑම අදහසක් ඒ ආකාරයෙන්ම සිදුකර දීමට සැදී පැහැදී සිටී. එය ධනාත්මක හෝ සෘණත්මක විය හැකියි. අප සාමාන්‍යයෙන් සිතන්නේ අපගේ උඩු සිත මඟිනි. අප නිතර නිතර සුපුරුදු පරිදි උඩු සිතින් සිතන දෑ ක්‍රමයෙන් අපගේ යටි සිතට කාන්දු වේ. ඉතිං අපි යහපත් දේ සිතුවහොත් ලැබෙන ප්‍රතිඵලය ද යහපත් වන අතර, අයහපත් නැතිනම් විනාශකාරී දේ සිතුවහොත් ලැබෙන ප්‍රතිඵලය ද අයහපත් හෝ විනාශකාරී වේ. මන්ද, අපි කලින් සඳහන් කළාක් මෙන් යටි සිත යනු උඩු සිතෙහි මෙහෙකරුවා බැවින් උඩු සිත පවසන ඕනෑම දෙයක් ඉටුකර දීමට යටි සිත සැදී පැහැදී සිටින බැවිනි.

මෙහෙය විශාලයි

අපගේ මෙම උපවිඥානික මනස හෙවත් යටි සිත කවදාවත් නිදා ගන්නේවත් විවේක ගන්නේවත් නෑ. අපි නිදාගත් විට අප සමඟ නිදා ගන්නේ අපගේ සවිඥාානික මනස හෙවත් උඩු සිත පමණි. මිනිස් සිරුර යනු පද්ධතියකි. එය රුධිර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය හා බහිස්‍රාවීය පද්ධතිය ආදී ලෙස උප පද්ධතිවලින් සමන්විත වූවකි. ඉතිං අපගේ ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට බෙහෙවින්ම වැදගත්වන ඉහත පද්ධතීන් සියල්ල පාලනය කරනු ලබන්නේ අපගේ යටි සිත මඟිනි. අප නිදාගෙන සිටින විට මෙන්ම අවදිවී සිටින විට ද අපගේ සිරුරේ අතිශයින් වැදගත් වන ක්‍රියාවලීන් සියල්ල අකුරටම ඉටු කිරීමට යටි සිත වග බලා ගනී. එබැවින් යටි සිත විසින් සිදු කරන මෙහෙය සුළු පටු එකක් නොවේ. නමුත්, මෙම යටි සිතේ ඇති විස්්මිත හැකියාව, එහි වටිනාකම බොහෝ දෙනෙක් හඳුනාගෙන ඇති ආකාරයක් දක්නට නොලැබේ. මන්ද, එසේ හඳුනා ගත්තා නම් අපේ මේ පුංචි රට මේ වන විට ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යය බවට පත් වී හමාරය.

ස්වයං යෝජනා

 

දැන් අපි බලමු මෙතරම් බලවත් අපගේ යටි සිතෙන් වැඩ ගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ සඳහා “ස්වයං යෝජනා” භාවිත කළ යුතුයි. මොනවාද මේ ස්වයං යෝජනා කියන්නේ? ස්වයං යෝජනා යනුවෙන් අදහස් කරන්නේ නිශ්චිත හා සුවිශේෂී වූ යමක් තමා විසින් තමාටම යෝජනා කර ගැනීමයි. නමුත්, මෙය ඉතා ප්‍රවේශමෙන් භාවිත කළ යුතු දෙයකි. මන්ද, එය වැරැදි ආකාරයට භාවිත කළහොත් ඔබට විනාශය පවා ගෙනෙනු ඇත. එහෙත් නියම ආකාරයට භාවිත කරන්නේ නම්, එය අතිශයින් ඵලදායක වනු නොඅනුමානය. මේ සඳහා කදිම උදාහරණයක් සුප්‍රකට මනෝ විද්‍යාඥ ආචාර්ය ජෝසප් මර්ෆි විසින් රචිත ඊඩඥ ර්‍ථධඹඥප ධට ඉභඡජධදඵජඪධභඵ ර්ඪදඤ නම් කෘතියේ සඳහන් වේ. මෙම කෘතිය ප්‍රවීණ ලේඛක ලීලානන්ද ගමාච්චි මහතා විසින් “යටිසිත : ඔබේ විස්මිත මෙහෙකරු” හිසින් යුතුව සිංහලයට ද පරිවර්තනය කර ඇත. දැන් අපි ඒ කතාව දෙසට හැරෙමු. එක් කාලයක ජැනට් නමින් තරුණ ගායිකාවක් වුවාය. ඇයට ගීත නාට්‍යයක වැදගත් චරිතයක් රඟපාන්නට ආරාධනාවක් ලැබී තිබුණා. ඒ සඳහා ඇයට ශ්‍රවණ පරීක්ෂණයට යොමුවීමට සිදු වුවද එයට මුහුණ දීමට ඇය දැඩි ලෙස බිය වුවාය. අධ්‍යක්ෂවරුන් ඉදිරියේ තෙවරක්ම ඒ සඳහා පෙනී සිටිය ද ඇය අතිශයින්ම අසාර්ථක වුවාය. එයට හේතු වුයේ, අසාර්ථක වීමට ඇයට තුළ තිබූ අධික බියයි. ඇය සතුව විස්මිත කටහඬක් තිබුණත් ඇය නිතරම මෙලෙස තමන්ටම කියා ගත්තාය. “ගායනා කරන්න වෙලාව ආවාම මට ලොකු බයක් දැනෙනවා. මට කොහොමටවත් මේ චරිතය රඟපාන්න පුළුවන් කමක් නෑ. එයාලා මට කැමැති වෙන එකක් නෑ. මම කොච්චර කලබල ද කියලා එයාලට පෙනේවි. මම යන්න ඕනෑ. මේක හරියන වැඩක් නෙවේ.”

යටි සිතේ පිළිගැනීම

 

අපි කලිනුත් කිව්වනේ යටි සිත කියන්නේ උඩු සිතේ සේවකයා කියලා. ඉතිං ජැනට් උඩු සිතෙන් නිතර සිතපු මෙම ඝෘණාත්මක සිතුවිල්ල යටි සිත පිළිගත්තේ සැබෑ ඉල්ලීමක් වශයෙනි. ඒ අනුව ඇයගේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කිරීමට යටි සිත අවස්ථාව සලසා දුන්නේය. එනම් ඇගේ අසාර්ථකත්වයට මූලිකම හේතුව වූයේ ඇය නොදැනුවත්වම ඇය විසින් සිදු කරන ලද මෙම ඝෘණ ඇඟැවියාවන්ය. නමුත්, අවසානයේදී මෙම ඝෘණ ඇඟැවියාව ජය ගන්නට ජැනට්ට හැකි විය. ඒ සඳහා ඇය විසින් සිදු කරන ලද්දේ ඉතා සුළු දෙයකි. එනම් ඝෘණාත්මක ස්වයං යෝජනා වෙනුවට ධනාත්මක ස්වයං යෝජනා ඇතිකර ගැනීමයි. බිය ඇති කරන ස්වයං යෝජනාව ඉවත් කිරීම සඳහා ඇය නිතරම තමාටම මෙසේ කියා ගත්තාය. “මම හරිම ලස්සනට ගායනා කරනවා. හරිම ශාන්ත විදියට, සන්සුන් විදියට, තැන්පත් විදියට, විශ්වාසයෙන් ගායනා කරනවා.” නිහඬ කාමරයක හිඳගෙන දවසකට තුන් වාරයක් බැඟින් ද දවස අවසානයේ නින්දට යන්නට පෙරාතුව ද ඇය ඉහත ස්වයං යෝජනාව සිදු කරන්නට වුවාය. ගතවූයේ සතියක පමණ කාලයකි. විස්මයකි. ඇය ඉතා සන්සුන්ව ආත්ම විශ්වාසයෙන් යුතුව ගායනා කරන්නට සමත් වූවාය. තවද, නියමිත දින පැමිණි පසු ශ්‍රවණ පරීක්ෂාවට පෙනී සිට ඉන් සමත්වී නියමිත චරිතය භාර ගැනීමට ද ඇයට හැකිවුයේ ඇය විසින් සිදු කළ මෙම ධනාත්මක ස්වයං යෝජනාව හේතුවෙනි.

ඉතිං ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ කළ යුත්තේ ඔබගේ යටි සිතේ ඇති අසීමිත බලය හඳුනාගෙන එයින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීමයි. ඔබට සිතූ පැතූ දේ ලබාදීමට ඔබ සතු උපවිඥානික මනස හෙවත් යටි සිත එහෙමත් නැතිනම් ඔබේ විස්මිත මෙහෙකරු ඔබට මඟ පෙන්වනු නොඅනුමානය. ඔබට ජය නියතයි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

3275 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 11, සඳුදා 15:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න