තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 02, අඟහරුවාදා 15:03

කරදර අවම කරන වැඩ පහසුකරන පුංචි පුංචි උපදෙස්

Written by 
අගයන්න
(0 මනාප)
ගෘහණියන්ට එදිනෙදා කටයුතු කිරීමේදී විවිධ ගැටලු පැන නගී. ආහාර පිසීමේදී, නිවෙසේදී විවිධ කටයුතු කිරීමේදී ඇතිවන එවැනි සුළු ප්‍රශ්න නිසා බොහෝ කරදර ඇතිවන අවස්ථා එමටය. ඒ සඳහා යොදාගත හැකි සරල සහ පහසු ක්‍රම පිළිබඳව මෙන්ම අරපිරිමැස්ම පිළිබඳව අද දැනුවත් වෙමු.

 

ශීතකරණයේ අධිශීත කොටසේ ඇති අයිස් කැට තැටිය හෝ අයිස්ක්‍රීම් භාජනය වැනි ඒවා පිටතට ගැනීමට අපහසුවන්නේ එය ශීතකරණයට ඇලී තිබීම නිසයි. එය වළක්වා ගැනීම සඳහා ශීතකරණයේ එම කොටසට ප්ලාස්ටික් කවරයක් අතුරා ඒ මත අයිස් කැට තැටිය ආදිය තබන්න. පහසුවෙන් පිටතට ගැනීමට හැකිවේවි. එසේම ශීතකරණයේ දුගඳ හැමීම ද ගෘහණියට කරදරයකි. එය වළක්වා ගැනීමට බේකිං සෝඩා ටිකක් පීරිසියකට දමා ශීතකරණයේ තබන්න. දුගඳ හැමීම නවතීවි.

සීනි බෝතලයට කූඹි එන එකත් ගෘහණියට හරිම කරදරයක්නෙ. ඒකට කරන්න ඕනෙ සීනි බෝතලයේ වටේ පොල්තෙල් ටිකක් ගෑමයි.

කතුරුමුරුංගා කොළ, මුරුංගා කොළ, රණවරා කොළ වගේ පුංචි කොළ මැල්ලුම් හදන්න ලියාගන්න අමාරුයිනෙ. ඒකට කරන්න ඕනෙ මැල්ලුම් හදන්න ගන්න වෙනත් කොළ වර්ගයක ලොකු කොළයක් අරගෙන ඒකෙ ඔතල ලියාගන්න එකයි. වට්ටක්කා කොළ, කෝප්ප කොළ, ලොකු පැෂන් කොළයක්, ලොකු කෝවක්කා කොළයක් වගේ දෙයක් හොඳයි. නොදැනීම කලවම් පලා මැල්ලුමක් හැදෙනවා. වැඩි පෝෂණයක් ආහාර වේලට එකතු කරගන්නත් පුළුවන්.

නිවසේ භාවිතයට වතුරගන්න ලිඳක් තියෙනවනම් එහි වතුර පිරිසුදු කරගන්න පොල්කටු අඟුරු සෑහෙන පමණ ළිඳට දමන්න. ළිංපත්ලේ මේ අඟුරු තියෙනවිට වතුර පිරිසිදුවෙනවා.

මාසෙකට අවශ්‍ය වන තේකොළ නිවසට එක සැරේ අරගෙන එන්නෙ බොහෝ කාර්යබහුල බව නිසා. ඉතිං සමහර වෙලාවට තේකොළ පුස්කනවා. එයට විසඳුමක් තමා හොඳින් වියළි සීනි කැට ටිකක් තේ කුඩුවලට කලවම් කර තැබීම. එවිට තේ කුඩු පුස්කන එක වළකිනවා.

රෙදි හෝදල ඉතුරුවෙන සබන් පොතු ඉවත දාන්න එපා. එකතු කරන්න. සෑහෙන ප්‍රමාණයක් එකතු වුණාම පැහෙන උණුවතුර ටිකක් දමා පොගවාගෙන සබන් ටික එකට ගුළිකර සබන් බෝලයක් සාදාගන්න. නැතිනම් පරණ මේස් එකක් තුළට දාන්නත් පුළුවන්. ලේන්සුවක් වගේ දෙයක දවටල ගන්නත් පුළුවන්. ඉන්පසු වතුරේ පොඟවල ආපහු රෙදි හෝදන්න කදිමයි. අරපිරිමැස්මයි, මුදල් ඉතිරියයි.

ඒ වගේම දත්මදින්න ගන්න දත් බෙහෙත් ටියුබ් එකත් අරගෙන ඉවර වුණාම වීසිකරන්න ඉක්මන් වෙන්න එපා. කතුරක් අරගෙන ටියුබ් එකේ යටි පැත්තේ කැපුමක් දාන්න. තවත් ටික දවසක් යනකම් අවශ්‍ය දත් බෙහෙත් ලබාගන්න පුළුවන්. අරපිරිමැස්ම අගයන ගෘහණියන්ට මේ වගේ නිවෙසේ අපතේ යන දේවල්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථා පිළිබඳව විමසිලිමත් වුවහොත් ලොකු ආර්ථික වාසියක් ලබා ගැනීමට හැකිවේවි. පොල්කුඩු ටික පිරිසුදුව වියළා තෙල් සිඳ ගැනීමටත් හැකියි.

මාළු බදිනවිට අඩිය අල්ලන එක වළක්වා ගැනීමට පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මාළු බදින්න කලින් තාච්චියේ අඩියට ලුණු කුඩු ටිකක් ඉසීම. ඉන්පසු මාළු බදින්න. අඩිය අල්ලන්නෙ නැතිව මාළු බැදගැනීමට හැකිවේවි.

කෙසෙල්මුහ ව්‍යාංජනය වඩාත් රසවත් සහ ගුණවත් කර ගැනීමට එයට පරිප්පු, මුංඇට, කොස් ඇට, කව්පි, හාල්මැස්සන්, කජුමද වැනි දෙයක් එකතු කර පිසගන්න.

පසුදා උදේට පිළියෙල කරගැනීම සඳහා පහසුවක් වීමට පෙරදා රාත්‍රියේ පලා වර්ග කපා තබා ගැනීම කළහැකිය. නමුත් වර්ණයේ වෙනස්වීමක් දුඹුරුපැහැය හැරීමක් එහිදී සිදුවන නිසා පලා මැල්ලුම අවපැහැ වේ. ඒ සඳහා පිළියමක් ලෙසට කැපූ පලා ටික සුදු පැහැ පත්තර කොළයක ඔතා ප්ලාස්ටික් භාජනයක දමා පියන වසා ශීතකරණයේ තබන්න. දින 2 - 3 ක් වුවත් පැහැය වෙනස් නොවී පවතීවි. කාර්යබහුල ගෘහණියන්ට මෙය කදිම උපකාරයකි.

පොඩිවුණ හෝ තැලුන මාලු යථා තත්ත්වයට පත්කර ගැනීමට ඒවා ලුණු සහ විනාකිරි ටිකක් මිශ්‍රකර මද වේලාවක් තබන්න.

කොළ පැහැ එළවලු පිසීමෙන් පසු දුඹුරු පැහැවීම වළක්වා ගැනීමට ඒවා පිසගත් විගස දෙහි ඇඹුල් ටිකක් මිශ්‍රකරන්න. නැතිනම් සෝඩා ස්වල්පයක් එක් කරන්න. දුඹුරු පැහැවීම වැළකීයාවි.

ලුණු වැඩිවූ ව්‍යාංජනයකට සෝදා පොතුහැර පිරිසිදු කළ අර්තාපල් අලයක් ගෑරුප්පුවකින් ඇණ පළුදුකර එම ව්‍යාංජන බඳුනට බහා තබන්න. වැඩිපුර ඇති ලුණු අර්තාපල් අලයට උරාගනියි.

එළවළු තැම්බීමේදී වැඩිපුර ජලය නොදමා අවශ්‍ය පමණට යොදන්න. එවිට එළවළුවල රසය සහ විටමින් වර්ග ද ආරක්ෂා කර ගැනීමට හැකිවේ.

අමු මිරිස් කල්තබා ගැනීමට ශීතකරණයක් නොමැතිවිට ලුණු මිශ්‍ර වතුරේ දමා තබන්න.

තේ කෝප්පය රසවත්ව සකස්කර ගැනීමට නැවුම් රසයක් ලබාගැනීමට ඔබ කැමැති ඇති. එසේ නම් කළයුත්තේ සුළු දෙයයි. තේ සෑදීම සඳහා උණුකරන වතුර කේතලයට නැවුම් දොඩම් ලෙලි කැබැල්ලක් එකතු කරන්න.

මස් ව්‍යංජනය රසවත් කර ගැනීමට ඔබට අවශ්‍ය නම් මස් පිසින විට පැණි ටිකක් එයට එකතුකර බලන්න.

චීස් කැබලි නරක්වීම හරිම කරදරයක්නෙ. එම චීස් කැබලි නරක් නොවී තබාගන්න. කරන්න ඕනෙ වුණේ පුංචි දෙයයි. සීනි කැට මත චීස් කැබලි තබන්න

බිත්තර තැම්බීමේදී එම වතුරට ලුණු ටිකක් එකතු කරන්න. බිත්තර පුපුරායාම වළකී. එසේම බිත්තර තැම්බීමට පෙර වතුර භාජනය උතුරවා එයට බිත්තර එකතුකර තම්බා ගන්න. එවිට කහමදය කලු පැහැවීම වළකි. බිත්තර ආහාරයට ගැනීමෙන් සිදුවන ආබාධ වළක්වා ගැනීමට ද හැකි වේ.

අල තැම්බීම සිදුකරන විටද එම වතුරට ලුණු ටිකක් එකතුකරන්න. එවිට පොතු හැරීම පහසු වේ.

බිත්තර කල්තබා ගැනීමට ශීතකරණය බහුලව භාවිත කරයි. නමුත් ශීතකරණයක් නැතිව බිත්තර කල්තබා ගැනීමට නම් දෙහියුෂ මිශ්‍රකළ ජලබඳුනක බිත්තර බහා තැබිය යුතුය.

වියළිව තිබිය යුතු කෑම වර්ග එම තත්ත්වයෙන්ම තබා ගැනීමට එම කෑම වර්ග දමා ඇති භාජනයට තීන්ත පොවන කඩදාසියක් බහා තබන්න. බිස්කට් ටින් එකට බැදපු කඩල භාජනයට, පපඩම් බහා තබන ටින් එකට ආදී කෑම බහාලුම් තුළට තීන්ත පොවන කඩදාසි බහාලීම නිසා ඒවායේ අඩංගු ආහාර වියළිව පවත්ව ගත හැකිය.

ලුණු වතුරේ පොඟවාගත් කොස් සිවිඩි සහ මඤ්ඤොක්කා පොත්ත (දුඹුරු පැහැ සිවිය ඉවත් කළ) හොඳින් වේලා තබාගෙන ගැඹුරු තෙලේ බැදගත් විට පපඩම් මෙන් ආහාරවේලට එකතුකරගත හැකිය.

 

ඉදිරිපත් කිරීම

එච්. එම්. ඉන්ද්‍රානි විජයබණ්ඩාර

ගෘහ ආර්ථික විද්‍යා හා උපදේශන හා මාර්ගෝපදේශන ආචාරිනී

(ශාස්ත්‍රවේදී උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපනපති පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

1396 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 15:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න