තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 08, සඳුදා 13:56

ඉගෙනීමේ වටිනාකම දරුවන්ට ඒත්තු ගන්වන්න

Written by 
අගයන්න
(0 මනාප)
ලැබූ නව වසරේ දැන් හැමෝම තමන්ගේ කටයුතුවල නිරතවෙලා. පාසල් දූ දරුවෝත් නව වසරේ නව පන්තියට ගොඩවැදී ගෙවන දෙවන සතියයි, මේ.

 

අලුත් ඇඳුම්,... අලුත් පොත්,.... අලුත් බෑග්.... අලුත් පාවහන්... පැලඳ අලුතෙන් තීන්ත පිරියම් කළ අලුත් පන්තියට නව සිතිවිලි රැගෙන යන්නත් දූලා, පුතාලා අමතක කරන්න එපා.

“හොඳම දේ දරුවන්ටයි” මේ ප්‍රකට චීන දාර්ශනිකයකු වූ මාඕ සේතුංගේ කියමනකි. එහෙනම් දරුවන්ට දිය හැකි හොඳම දේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය හරහා ගුණයහපත්කම් සහ අනෙකුත් මානවීය ගුණාංග හද තුළ රෝපණය කළ හැකිය. සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම දරුවෙකුට දිය හැකි උතුම්ම.. වටිනාම.. අගනාම.. දායාදය අධ්‍යාපනයයි. දරුවෙකුට දියහැකි ඊට වඩා තිළිණයක් මෙලොව තවත් නැත.

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා..” කියමන අපට බොහෝ දේ පසක් කරදෙයි. භෞතිකව අපට බොහෝ දේ රැස් කළ හැකිය. එහෙත් ඒවා කොයි මොහොතේ අපට අහිමි වේදැයි කිව නොහැක. නමුත් උගත් දේ කිසිවෙකුට අපගෙන් උදුරාගත නොහැක. ජිවිතයේ වැටෙන හැම මොහොතකම නැගී සිටින්නට ඒ උගත්කම ඔබට පිහිට වනවා නොඅනුමාන ය.

අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට උසස් වූ දුවේ... පුතේ... වෙනදාට වඩා මේ වසරේ ඔබ ඔබේ ඉගෙනීමේ කටයුතු සඳහා සිහිය යොදවන්න. එක වසරේ සිට 12 වසර දක්වා ගෙවන මේ පාසල් කාලය ඔබගේ ජීවිතයේ තීරණාත්මක අවධියයි. ඔබේ ජීවිතයේ අනාගතය තීරණය කරනුයේ මේ කාලය තුළයි. ඔබ පොත පතට ඉගෙනුමට යොදන ශක්තිය, කැපවීම සහ අවධානය මතයි. ඔබගේ ප්‍රධාන කැමැත්ත... ආසාව... බලාපොරොත්තුව....

අධිෂ්ඨානය මේ සියල්ල ගැබ් වී තිබිය යුත්තේ එකම අරමුණක් උදෙසායි. ඒ තමන්ගේ ‘ඉගෙනීම’ ගැනය.

හොඳින් ඉගෙනගන්නට නම් කාරණා තුනක් ප්‍රධාන කොටම ඔබ සිතට ගත යුතුය. එනම්, ඉර නැඟ එන්නට පෙර අවදි වීම, පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම සහ පිරිසුදුකම. මේ කාරණා තුනෙන් සමන්විතව දැඩි අදිටනින් පතපොතට නැඹුරු වුවහොත් ඉගෙනීමෙන් ඉහළම ජයග්‍රහණයක් ලබන්නට ඔබට නොඅනුමානයෙන්ම හැකිවේවි.

දෙමාපියන් හරිම පරිස්සමින් දරුවන්ගේ හිත් හඳුනාගෙන ඔවුන්ට සමීප විය යුතුයි. හොඳට ඉගෙන ගැනීමෙන් ලැබෙන ඵල ප්‍රයෝජන ගැන බොහෝම පරිස්සමින් ළමා හිත්වලට ඒත්තු ගැන්විය යුතුය. දරුවෝ හරියට මල් වගෙයි. හරිම සියුමැලියි. දුවෙක් වුණත් පුතෙක් වුණත් එහෙමයි. ලොකු වුණත් පොඩි වුණත් එහෙමයි. ඒ සියුමැලි ආදරණීය හිත් නොරිදවා නොපාරවා ඉගෙනුමෙහි වටිනාකම දෙමාපියන් ආදරයෙන් ඒ හිත්වලට ඇතුළු කරන්න තරම් උපක්‍රමශීලී වෙන්න ඕනේ. අම්මලා, තාත්තලා ආදරයෙන් ළෙංගතුව දෙයක් කිව්වොත් ප්‍රතික්ෂේප කරන්නේ එහෙමත් දරුවෙක්.

හුඟක් දරුවෝ ‘ආදරයට’ ආදරෙයි. (අද දරුවන්ට හුඟක්ම නැත්තේත් එයයි) දරුවාට ආදරේ කරන අම්මලා, තාත්තලාගේ හිත් දරුවෝ රිදවන්නට තරම් අකාරුණික වන්නේ නැහැ. දරුවෝ කැමැතියි දෙමාපියන්ගේ මේ සෙවිල්ලට. සමීපවීමට. ඒත් තරවටු කරනවට බලහත්කාරකමින් කරන අණ කිරීම්වලට දරුවෝ වෛර කරනවා. එනිසා මවුපියෝ හැටියට මේ බව හොඳට තේරුම් බේරුම් ඇතිව දරුවන්ට සමීපවීම අද දවසේ අත්‍යවශ්‍යම කටයුත්තක්.

මවුපියන්ගේ ආදරයෙන් හිස් වූ විට දරුවා සමීප වනුයේ තාක්ෂණික මෙවලම් වෙතය. සමහර මවුපියන් ඔවුන්ගේ ලෝකවල තනිවන්නට සිතා දරුවා අතට ජංගම දුරකථනය, ලැප්ටොප් එක, ටැබ් එක දෙයි.

යහළු, යෙහෙළියන් සමඟ ද දරුවා ඒවායේ කරන හපන්කම් ගැන ද උජාරුවෙන් පවසයි. එහෙත් මෙවැනි තාක්ෂණික මෙවලම් දරුවාට සමීප කරවීම හරහා සිද්ධ වනුයේ යහපතට වඩා අයහපතය. මේවායෙන් බොහෝ යහපත් කටයුතු ඉෂ්ට කරගත හැකි වුවද ළමා මනස පෙලඹෙන්නේ හුදු විනෝදාස්වාදය සඳහා මේවා යොදා ගැනීමටයි. ගේම් ගසන්නට.... චැට් කරන්නට හැර ඉන් තොර ලොවක් දරුවන්ට නැත. මෙවැනි ක්‍රියාකාරකමි දරුවාගේ ඉගෙනීම් මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු කරන්නට ඉවහල් වනු ඇත.දරුවන්ට යහපතක් කරන්නට ඔවුන් අත තබන මේ උපකරණ සමහර දරුවන්ගේ අනාගතයම අඳුරු කරලීමට හේතුවී ඇති බව අප කොතෙක් නම් අසා ඇද්ද? සමහර දූ පුතුන් ජීවිතය පවා අහිමි කර ගැනීමට අම්මා, තාත්තා ආදරේට තිළිණ කළ ජංගම දුරකථනය, ලැප් එක, ටැබ් එක හේතුවීම මොනතරම් නම් අභාග්‍යයක් ද? එබැවින් පාසල් අධ්‍යාපනය ලබන දූපුතුන් සිටින වැඩිහිටියන් දරුවන්ට දෙන මෙවැනි තෑගි ගැන වරක් දෙවරක් නොව කිහිපවතාවක් සිතා බලන්න. දරුවා ගැන නිතරම සැලකිල්ලෙන් විමසිල්ලෙන් සිටින්න.

“දුව/පුතා දැන් ර්‍ණ/ඹ් කරන්නේ. හැමදේම තේරෙනවා. බයවෙන්න දෙයක් නැහැ”

සමහර මවුවරු උජාරුවෙන් පවසති. එහෙත් එලෙස සිතා දරුවෝ ගැන තිබෙන විමසිල්ල අංශු මාත්‍රයකින්වත් අඩු නොකරන්න. අඩුම තරමින් අ.පො.ස. උසස් පෙළ නිමවන තුරුවත් ඔබගේ දැඩි අවධානය දරුවන්ට යොමුකරන්න. මේ විෂම සමාජයේ වැඩිහිටි ඔබෙන් මිදෙන එක ඇසිල්ලකුත් ඇති දරුවාට විශාල අනතුරක් වන්නට. යමක් සිදු වූ විට මවුපියන් හූල්ලමින් කඳුළු වැගිරීමෙන් ඵලක් නැත. දරුවන්ගේ අමතර පන්ති, දරුවෝ ඇසුරු කරන්නන්, යන එන තැන් මේ හැම දෙයක් ගැනම මවුවරුන්ට සේම පියවරුන්ටත් මනා දැනීමක් තිබිය යුතුයි.

සමහර පියවරු හිතන්නේත්, කියන්නේත් දරුවෝ හදා වඩා උගන්වා බලා ගැනීම අම්මලාගේ වගකීමක් විදියටයි. ඒත් එය අද කාලයට ගැළපෙන කියමනක් නොවේ. අතීත සමාජයේ පවා දරුවන්ගේ කටයුතුවලදී ‘පියා’ මඟහැර සිටියේ නැත. දරුවෝ වැදූ තැන සිට සියලු කරුණු කාරණාවලදී වගකීම් යුතුකම් ඉටුකිරීම අම්මාගේ පමණක් නොව තාත්තාගේ ද කාර්යභාරය විය යුතුයි. මවුවරු සේම පියවරුන් ද දරුවන්ගේ පිටුපස සෙවණැල්ල සේ සිටිය යුතුයි.

මේ සියල්ල හිතට ගනිමින් දරුවන්ගේ හිත් අධ්‍යාපනයටම යොමු කරවන්නට හැම වැඩිහිටියෙක්ම කැප වෙමු. ජීවිතයක වටිනාකම වැඩිවන්නට නම් උගත්කමින් පෝෂණය විය යුතුයි. මැණිකක් ඔපමට්ටම් කළ විට බැබලෙන්නේ යම්සේද මනුෂ්‍ය ජීවිතේටත් අධ්‍යාපනයෙන් ලැබෙන බැබැළීම මිල කළ නොහැකි තරමටම වටිනේය.

274 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 08, සඳුදා 13:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න