තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 09, අඟහරුවාදා 12:38

වටිනාම දේ අධ්‍යාපනයයි.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී තිලක් ද සිල්වා   ඕනෑම වෘත්තියක ඉහළට යාමට නම් දක්ෂතාවක්, දැනුමක් තිබිය යුතුම ය. ඒ දැනුම නිසියාකාරයෙන් ලබා ගන්නේ නම් වෘත්තීයමය වටිනාකම ද පුද්ගල වටිනාකම ද ඉහළ යයි. එවැනි පුද්ගලයෝ සෑම වෘත්තියක ම සිටිති. එමෙන් ම මේ වටිනාකම්වලට ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය ද එක් වූ කල සම්පූර්ණ වූ වෘත්තිකයකු නිර්මාණය වේ.

 

එවැන්නකුගේ දුක සැප විමසා බැලීමට අපි ඔහු සොයා ගියෙමු.

ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ ප්‍රවීණ ශිල්පියකු වන තිලක් ද සිල්වා ය. තිලක් කී පමණින් කා අතරත් ජනපි‍්‍රය චරිතයක් වූ ඔහු සමඟින් අපි කතා බහ කළෙමු.

මගේ ගම මාතර. මධ්‍යම පාන්තික දහ දෙනකුගෙන් යුත් පවුලක ඉපදුණු කෙනෙක්. මම පාසල් ගියේ මාතර සෙන්ට් තෝමස් එකට. කැම්පස් යන්න ලකුණු කීපයක් මදි වුණ නිසා පුංචි පුංචි බිස්නස් කළා. මේ අතර ඔබ්සවර් එකේ දැන්වීමක් තිබුණා, විදේශිකයෙක් පවත්වාගෙන යන රූපලාවණ්‍යාගාරයක වැඩ කරන්න අය ගන්නවා කියලා. මමත් ටිකක් ෆැෂන්වලට කැමැත්තක් තිබුණා.. ඒක නිසා මම ඒකට ඇප්ලයි කළා. ඔහු ජර්මන් ජාතිකයෙක්. මාව ඉන්ටර්වීව් කරලා රූපලාවණ්‍යාගාරයේ වැඩ කරන්න බඳවා ගත්තා. මම එතන වැඩ කරන ගමන් කේෂාලංකරණය හා රූපලාවණ්‍ය ගැන ඉගෙන ගත්තා. ඇත්තට ම මම මේ ක්ෂේත්‍රයට ආවේ අහම්බෙන්.

ඔබේම කියලා සැලෝන් එකක් පටන් ගත්තේ මොන කාලෙද?

මගේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පටන් ගැන්ම සිද්ධ වුණේ 1986 කාලෙදි. මෙහෙම වැඩ කරමින් ඉන්න අතරේ තමයි 89-90 ලංකාවේ කලබල ඇති වුණේ.. මේ කාලෙදි මම වැඩ කළ සැලෝන් එකේ ජර්මන් ජාතිකයට ලංකාවේ ඉඳීම එපා වෙලා එයා ජර්මනියට ගියා. පස්සේ එයා දැන්වුවා එයාගේ සැලෝන් එක විකුණනවා.. කැමැති නම් ඒක ගන්න කියලා.. ඇත්තට ම මට ඒක ලොකු අභියෝගයක් වුණා. ඒත් කොහොම හරි මම ඒ සැලෝන් එක සල්ලිවලට අරගත්තා. මම මේ මොන දේ කළත් ඉගෙනීම දිගින් දිගට ම කළා. ජර්මනියට, එංගලන්තයට කිහිප වතාවක් ම ගිහින් රූපලාවණ්‍ය පිළිබඳ ඉගෙන ගත්තා. සිංගප්පූරුවට ගියා. මේ හැම තැනකම උගන්වන දේවල් අපිට හරිම ප්‍රයෝජනවත්. ඇත්තට ම මුල් කාලෙදි මේක මම වෘත්තියක් විදියට කරනවා කියලා අදහසක් තිබුණේ නෑ. අදටත් මම පිටරටවල තියෙන වැඩමුළු, පාඨමාලාවලට සහභාගී වෙලා දැනුම අලුත් කරගන්නවා. ඒක මේ ක්ෂේත්‍රයේ දී ඉතාමත් වැදගත් දෙයක්. මගේ විදේශික ගුරුවරයාගෙන් ඉගෙන ගත්ත හොඳම දේ තමයි වෙලාවට වැඩ කරන එක සහ වැඩක් පරිපූර්ණ ලෙස කිරීම. ඒ කියන්නේ නීට් එක. ඇත්තටම ඒක මට ලැබුණු දායාදයක් වගේ. මගේ සාර්ථකත්වයට ඒක ලොකු හේතුවක්. අදටත් මම ජර්මනියට ගියාම මගේ ගුරුවරයා බලන්න යනවා.. දැන් නම් ඔහු වයසයි. විශ්‍රමික සුවයෙන් ඉන්නවා..

ඔබ ක්ෂේත්‍රයේ නියැලුණේ රූපලාවණ්‍ය ශිල්පියෙක් විදියට විතරක් නෙමෙයි නේද?

ඔව්, කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පියෙක් වීම නිසා ම තවත් දොරටු විවෘත වුණා.. මම වෙළෙඳ ආයතන තුනක පමණ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කළා. මේ ක්ෂේත්‍රයට මම පිවිසෙන කාලේ රූපලාවණ්‍ය ඉගෙන ගන්න පාසලක් හෝ යම් කිසි ආයතනයක් තිබුණේ නෑ. හරි මඟපෙන්වීමක් තිබුණේ නෑ.. ඒ නිසා මම පසුකාලීනව රූපලාවණ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා.. වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවණ්‍ය විෂය මාලාව හදන විට මමත් ඒකට සහභාගී වුණා. මගේ රූපලාවණ්‍ය පුහුණු මධ්‍යස්ථානය හරියට ආරම්භ කළේ 1998 වසරෙදියි. එහි සිංහල හා ඉංගී‍්‍රසි යන මාධ්‍ය දෙකෙන් ම ඉගැන්වීම් කටයුතු කළා. විදෙස් අධ්‍යාපනය සඳහා පහසුකම් ලබා දුන්නා.

මට හොඳ අධ්‍යාපනයක් ලැබුණ නිසා මේ හැමදේම පහසු වුණා.. පාසලේ දි මම කැඩෙටින්, ක්‍රීඩා කළා වගේම විවාද කණ්ඩායමේ නායකයා වුණා, සාහිත්‍ය සංගමයේ සභාපති වුණා. මේ නිසා හොඳ කථන හැකියාවකුත් තිබීම මේ හැම දේකටම පහසුවක් වුණා.

ලංකාවේ ප්‍රථම රූපලාවණ්‍ය සංගමයේ භාණ්ඩාගාරික දෙවනුව උප සභාපති අවසාන වරට සභාපති යන තනතුරු දරන්නත් මට හැකි වුණා.. ඒ කාලෙදි ඒ සංගමය මඟින් පැවැත් වුණු වැඩමුළුවල දී රටපුරා විශේෂයෙන් ම පිට පළාත්වලට රූපලාවණ්‍ය දැනුම ලබා දෙන්නත් මට හැකිවුණා..

තමන්ගේ පුතා රූපලාව්‍ය ශිල්පියෙක් වෙනවට අම්මා තාත්තා කැමැති වුණාද?

ඒ වෙනකොට මගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නෑ. ඒත් ඔහු අපට හොඳ අධ්‍යාපන තත්ත්වයක් ලබා දීලා තිබුණා.. අම්මට නම් මම රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන එක ගැන ලොකු හැඟීමක් තිබුණේ නෑ. මගේ සහෝදරයන්ගේ මුලින් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැති වුණත් අපි අතර තිබුණු බැඳීමත් එකමුතුකමත් නිසා ඔවුන් මේ ගැන වැරැද්දක් හිතුවෙත් නෑ. අනිත් එක ජාත්‍යන්තර සබඳතාත් එක්කම මේ වෘත්තියට පිවිසුණ නිසා ඔවුන් ඒ ගැන පසුව කැමැති වුණා.. මම පවුලේ මැද, මට අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා කියන හැම වර්ගයේ ම සහෝදර සහෝදරියන් ඉන්නවා. ඒ නිසා ඇත්තටම මම වාසනාවන්තයෙක් කියලා හිතෙනවා. ඒ වගේම මම රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්න ගත්ත තීරණේ ගැනත් තියෙන්නේ ලොකු සතුටක්.

පසුගිය දා ලැබුණු කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ජනාධිපති සම්මානය ගැන මොකද හිතෙන්නේ..?

මෙතෙක් අප ආ ගමන ඇගයීමකට ලක් කිරීම ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මේ සම්මානය ලැබීමට තරම් සුදුස්සෙක් වීමත් ආඩම්බරයක්. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ වගේ රූපලාවණ්‍ය ශිල්පීන්ට ඇගයීමක් ලැබුණේ. අපි නිතරම අනිත් අයව ලස්සන කරනවා.. ඒත් අපිට නිසි ඇගයීමක් ලැබිලා නෑ.. ඒ නිසා මේ සම්මාන උළෙල සංවිධානය කළ ප්‍රේමසිරි හේවාවසම් ඇතුළු සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන්.

මේ වෘත්තිය ගැන තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?

රූපලාවණ්‍ය ශිල්පීන් හරිම ලේසියෙන් සල්ලි හම්බකරන බව තමයි ගොඩක් අය හිතන්නේ. ඒත් අපි හරියට මහන්සි වෙනවා. වෙලාවට කන්න වෙන්නේ නෑ.. වෙලාවට නිදා ගන්න වෙන්නේ නෑ.. මහ පාන්දරින් නැගිටලා වැඩ කරන්න වෙනවා.. කාර්යක්ෂම වගේම හරිම කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අපේ පුංචි හරි මිස්ටේක් එකකින් වෙන්න තියෙන හානිය වැඩියි. දොස්තර කෙනකුගෙන් බෙහෙත් ගත්තත් එවෙලේ ලෙඩේ සනීප වෙන්නේ නෑ.. ඒකට බෙහෙත් වේල් කීපයක් ගන්න වෙනවා.. ලෝයර් කෙනෙකුටත් නඩුව දිනන්න නඩු වාර කීපයක් යන්න වෙනවා.. බැංකුවක ලෝන් එකක් පාස් කරලා දෙන්නත් දින කීපයක් යනවා.. ඒත් අපිට අපි ළඟට එන සේවාදායකයා විනාඩි කීපයක් ඇතුළත ලස්සන කරලා ඒකේ ප්‍රතිඵලය දැකලා සතුටු වීමේ අවස්ථාව තියෙනවා. ඒකත් හරි වාසනාවක්.

ඒ වගේම මේ ක්ෂේත්‍රයේ දී හැම තරාතිරමකම පුද්ගලයන් හඳුනාගන්නත් ඔවුන් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලැබෙනවා..

නවකයන්ට දෙන්න පණිවුඩයක් තියෙනවද?

නවකයන්ට කියන්න තියෙන්නේ හොඳට ඉගෙන ගන්න කියන එකයි. දෙයක් යන්තමින් දැනගෙන වැඩි වැඩ කරනවාට වඩා මූලික දැනුම හොඳින් අරගෙන පුහුණුවකුත් ලබාගෙන වැඩේට බහින එක තමයි සාර්ථක. ඒ විතරක් නෙමෙයි නිතරම දැනුම අලුත් කරගන්න එක මේ වෘත්තියේ සාර්ථකත්වයට ලොකු හේතුවක්. නිතර නිතර අභ්‍යාස කිරීමෙන් තමයි නිර්මාණශීලීත්වය ඇති වෙන්නේ. මේ වෘත්තියේ දි ජාත්‍යන්තරය සමඟ දැනුම බෙදාහදා ගත යුතුයි. ඒකට ඉස්සරට වඩා දැන් පහසුකම් වැඩියි. කෝච්චි වෙනස් වුණත් ඒ හැම කෝච්චියක් ම දුවන්නේ මුලින් දාපු රේල් පීලි දෙක උඩමයි. කෝච්චියෙන් කෝච්චියට රේල් පීලි වෙනස් වෙන්නේ නෑ.

ඒ වගේ තමයි, අපි මූලිකව ලබා ගන්නා දැනුමත්. ඒ දැනුම උඩ තමයි අනික් සියල්ල රැඳෙන්නේ.

 

 

 

 ඡායා- ශාන් රඹුක්වැල්ල

2142 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 09, අඟහරුවාදා 12:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න