තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 16, අඟහරුවාදා 13:57

රස වෑහෙන රස කෑම විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
දිනයෙන් දිනය ගෙවී නව වසරක් අපටත් නොදැනීම උදා වෙලා. මේ උදා වූ නව වසරේ සිතුම් පැතුම්වලින් වෙනස් වෙන්න ඔබ හිතන්න ඇති. එහෙනම් නව වසරේ දී අලුත් අලුත් කෑම බීම වර්ග නිවෙසේ දීම තමන්ගේ පවුලේ උදවියට සකසා දීමෙන් පවුලේ කෑම මේසයටත් නවතාවක් ගෙනත් දීමට ඔබට හැකියාව ලැබේවි.

 

ඒ විතරක් ද අවන්හලකින් රස විඳින කෑම නිවෙසේ කෑම මේසයේ තිබීමෙන් ඔබේ අගය පවුලේ අයට තවත් වැඩි වේවි. එය ඔබේ පවුලේ ආර්ථිකයට මෙන්ම සෞඛ්‍යයටත් හොඳ පියවරක් වූ බව ඔබට ම වැටහෙන්නට වැඩි කාලයක් ගතනොවන බව නම් අපි දන්නවා.

පොඩිත්තන් රස විඳින්න කැමැති කෑම වගේම වැඩිහිටියන් රස විඳින්න කැමැති ආහාර වට්ටෝරුත් මේ අතර තියෙන නිසා තෝරා බේරාගෙන කැමැති ලෙසින් මේ ආහාර වර්ග සකසා ගැනීමට ඔබට පුළුවන්.

මේ සඳහා අප සමඟ ප්‍රවීණ සූපවේදිනී ලක්ෂ්මී නාරාහේන්පිට එක්වෙනවා.


 

 

 

අවන්හලේ කෑම නිවෙසේ දී ම... 

පිලව් රයිස්

අපි එදිනෙදා රස විඳින කහ බත්, එළවළු බත් ආදී බත් වර්ග කොතෙකුත් තියෙනවා. දැන් මේවා තරමක් දුරට එකාකාරී වෙලා. ඒ නිසා පුංචි සාදයකදි නැතිනම් ගෙදරට අමුත්තො පැමිණි විටෙක විශේෂ බතක් හදන්න කැමැති ඔබට මේ පිලව් රයිස් එක වැදගත් වේවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

බාස්මතී හෝ සූදුරු සම්බා හාල් කිලෝ 1 ක්

ගී ග්‍රෑම් 100 ක්

සූදුරු ඇට තේ හැඳි 2 ක් (කබලේ බැද කුඩුකර)

කොත්තමල්ලි ඇට මේස හැඳි 2 ක් (කබලේ බැද කුඩුකර)

ස්ටොක් කෝප්ප 8 ක් (මස් තම්බා ගත් වතුර)

ලුණු රස අනුව

බී ලූනු ගෙඩි 2 ක්

සුදු ලූනු බික් 4 ක්

ඉඟුරු පෙත්තක්

තල ඇට මේස හැන්දක්

කහ තේ හැඳි භාගයක්

කරදමුංගු කරල් 5-6 ක්

කරාබු නැටි 5 ක්

ගම්මිරිස් ඇට තේ හැන්දක්

අඹරා ගත් කජු ග්‍රෑම් 50 ක්

කොත්තමල්ලි කොළ ටිකක්

දැන් අපි බත සකසමු

ලූනු හා සුදු ලූනු සිහින්ව කපා ගන්න. හාල් සෝදා ගන්න.

දැන් ළිප තැබූ බඳුනකට ගී දමා රත්වන විට එයට ලූනු, සුදු ලූනු, ඉඟුරු, කරදමුංගු, කරාබු නැටි ආදිය දමා තෙම්පරාදු කර එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ල ද එකතුකර ස්ටොක් වතුර දමා බත පිසගන්න.

ඔබට වෙජිටබල් පිලව් රයිස් සැකසීමට අවශ්‍ය නම් කැරට්, බෝංචි ආදී කැමැති එළවළු කිහිපයක් ගෙන (ග්‍රෑම් 150 බැගින්) ඒවා සිහින්ව කපා හාල් තෙම්පරාදු කරන විට එම එළවළු ද එයට එක්කරන්න.


 

ෆිෂ් වින්ඩලූ

 

වෙනස් රසයකට මාළු රසවිඳින්න කැමැති අයටයි මේ කෑම වට්ටෝරුව. ෆිෂ් වින්ඩලූ ඔබේ බත් පතට වෙනස්ම වූ රසයක් කැන්දන්නට සමත් වේවි. තරමක් රසයෙන් අඩු සුදු මාළු වර්ගවලට රසවත් බවක් එක්කර සකසන මේ ආහාර වට්ටෝරුව ඔබේ නිවෙසේ අයට නැතිවම බැරි වෙනවාට සැක නැහැ.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ

සුදු මාළු ග්‍රෑම් 500 ක් (මලට්, තෝරා, පරා, තලපත්)

කහ තේ හැඳිභාගයක්

ලුණු, ගම්මිරිස් රස අනුව

සුදු ලූනු බික් 4 ක්

ලියාගත් ලූනු මේස හැන්දක්

වියළි මිරිස් කරල් 5-6 ක්

විනාකිරි මේස හැන්දක්

ඉඟුරු පෙත්තක්

අඹරාගත් අබ තේ හැඳිභාගයක්

කුරුඳු පොත්තක්

රම්පා, කරපිංචා, සේර

අමු මිරිස් කරල් 2 ක්

තෙල් මේස හැඳි 2-3 ක්

බැදපු පහේ තේ හැඳි එකහමාරක්

මිරිස් කුඩු තේහැන්දක්

මිටිකිරි කෝප්ප 1 1/2 ක්

තක්කාලි ගෙඩියක්

දෙහි ගෙඩියක්

 

දැන් එය සකසන්නේ මෙලෙසයි

මාළු පෙති ලෙස හෝ අවශ්‍ය ප්‍රමාණයට කැබැලි ලෙස කපා සෝදා දිය බේරෙන්නට තබන්න. එම මාළු කැබැලිවල ලුණු හා දෙහි අත ගා පැය භාගයක් පමණ වේලාවක් තබා සෝදා ගන්න.

දැන් මාළුවලට කහ, ලුණු, ගම්මිරිස් අත ගාගන්න. තෙල් රත්වන්නට ළිප තබා මාළු කැබැලි තෙලට දමා ළා රන්වන් පැහැයට බැදගන්න. ඒවා ළිපෙන් බා තෙල් බේරෙන්නට තබන්න.

තෙල් මේස හැඳි 2-3 ක් රත්කර එයට සිහින්ව ලියා ගත් ලූනු, සුදු ලූනු, ඉඟුරු ඇතුළු අනෙකුත් සියලුම දේ එයට එක්කර බැද ගන්න. පසුව පොල්කිරි එක්කර ගින්දර අඩුකර බැදගත් මාළු එයට එකතුකර ළිප නිවන්න. තක්කාලි ගෙඩිය ද කැබැලිවලට කපා එක්කරන්න. ලුණු, ඇඹුල් රස බලා නිවෙන්නට පෙර මේසයට යවන්න.


   

ටර්කිෂ් පිකල්

 

අච්චාරු, ම්... කටට කෙළ උනනවා නේද? මොන වර්ගයේ අච්චාරුවක් වුණත් දිවගට ගෙන දෙන්නේ වෙනස්ම රසයක්. අච්චාරු වර්ග බොහොමයක් රස විඳ ඇති වුවත් ඔබ මේ ටර්කිෂ් පිකල් එක නම් රස විඳ නැතිව ඇති. එහෙම නම් මේ අච්චාරුව අද හෙටම හදලා රස විඳින්න.

 

මේ ද්‍රව්‍ය ඒ සඳහා අවශ්‍යයි

රට ඉඳී ග්‍රෑම් 50 ක්

සුල්තානා ග්‍රෑම් 50 ක්

කජු ග්‍රෑම් 50 ක්

අඹරාගත් අබ තේ හැන්දක්

අන්නාසි ගෙඩියක්

ලුණුදෙහි ගෙඩියක්

සීනි තේ හැන්දක්

මිරිස් කුඩු තේ හැන්දක්

විනාකිරි මේස හැඳි 1-2 ක්

වතුර මේස හැඳි 1-2 ක්

රතු ලූනු ගෙඩි 10-15 ක්

ලුණු, ගම්මිරිස් රස අනුව

 

එය සාදන්නේ මෙලෙසයි

පළමුවෙන් ම රට ඉඳිවල ඇට ඉවත්කර කුඩා කැබැලිවලට කපා ගන්න(චොප් කරන්න). අන්නාසි ගෙඩිය පොතු ඉවත්කර කුඩා කැබැලිවලට කපාගන්න. දැන් රට ඉඳි, සුල්තානා, කජු, අබ, අන්නාසි, ලුණුදෙහි, සීනි, මිරිස්කුඩු, විනාකිරි, වතුර, රතු ලූනු යන සියල්ල ම මැටි බඳුනකට දමා මිශ්‍රකරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් ද මෙයට එකතු කරන්න. දැන් මෙම මිශ්‍රණය විනාඩි පහක පමණ වේලාවක් රත්වන්නට ළිප තබන්න.

කෑම මේසයට යවන විට නැවතත් රත් කිරීමෙන් නැවුම් බවක් ලැබේවි.


 

එග් ඔම්ලට් කරි

 

බිත්තර කන්න සමහර අය දක්වන්නේ අකැමැත්තක්. මෙය ඇතැම් කුඩා දරුවන්ටත් පවතින තත්ත්වයක්. ඒත් බිත්තර ඔම්ලට් කරියක් නම් ඔවුන්ට ඒ තත්ත්වය මඟ හරවන්න සමත් වේවි. මෙය සාමාන්‍ය ලෙස බිත්තර කනවාට වඩා වෙනස් බවක් කාටත් ගෙනදීමට සමත්.

 

ඔම්ලට් සඳහා අවශ්‍ය වෙන්නේ

බිත්තර 5-6 ක්

ලූනු ග්‍රෑම් 100 ක්

අමු මිරිස් කරල් 5 ක්

කරපිංචා

ලුණු, ගම්මිරිස් රස අනුව

කෑලි මිරිස් ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

උම්බලකඩ කුඩු මේස හැන්දක් 2-3 ක්

 

ඔම්ලට් හදමු

ලූනු සිහින්ව ලියා ගන්න. කරපිංචා හා අමු මිරිස් කරල් ද සිහින්ව ලියා ගන්න.

දැන් ඉහත සඳහන් සියලු ම දේවල් එකට මිශ්‍රකර හොඳින් ගසා ගන්න.

ළපටි කැන්ද කොළවලට දමා වාෂ්පයෙන් තම්බා ගන්න. (වණ්ඩු ආප්ප තම්බන ආකාරයට) මේ ආකාරයට ඔම්ලට් සැකසීමෙන් වැඩි රසයක් එක්කර ගත හැකියි.

නැතිනම් ඔබට සුපුරුදු ආකාරයට ද ඔම්ලට් සකසා ගත හැකියි.

 

දැන් අපි ඔම්ලට් කරිය හදමු

මිටිකිරි කෝප්ප 1 1/2 ක්

දියකිරි කෝප්පයක්

අමු තුනපහ තේ හැන්දක්

ලියාගත් ලූනු මේස හැන්දක්

අමු මිරිස් කරල් 2 ක්

කහ, ගම්මිරිස්,

ස් කුඩු තේ හැන්දක්

තක්කාලි ගෙඩියක්

රම්ප, කරපිංචා

බැදපු උළුහාල්

තේ හැඳි 1/2 ක්

බඳුනක් ළිප තබා ඉහත සඳහන් කළ සියලු ම ද්‍රව්‍ය එයට දමන්න. මිශ්‍රණය උතුරන විට කලින් සකසා ස්ටීම් කරගත් ඔම්ලට් කැබැලිවලට කපා එයට දමා පිසගන්න.

මඳක් හොදි තිබෙන පදමට ළිපෙන් බාගන්න.


 

 කැරමල් පුඩිං

 

හොඳ ආහාර වේලක් සම්පූර්ණ වෙන්න නම් රසවත් අතුරුපසකුත් අනිවාර්යයි. කිරි රසයට වැඩි කැමැත්තක් දක්වන අයට කැරමල් පුඩිමක් තරම් රසවත් අතුරුපසක් තවත් නැති තරම්. ඒ වගේම ඉතාමත් පහසුවෙන් සෑදිය හැකි නිසාම තරමක් ජනපි‍්‍රය අතුරුපසක් විදියටත් කැරමල් පුඩිම හඳුන්වන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ

බිත්තර 10 ක්

ලොකු ටින්කිරි ටින් 1 ක්

ටින්කිරි ටින් එකෙන් ම වතුර ටින් 1 ක්

සීනි ග්‍රෑම් 100 ක්

වැනිලා ස්වල්පයක්

 

දැන් අපි රසවත්ව පුඩිම හදමු

මුලින් ම බඳුනක් ළිප තබා එයට සීනි දමා වතුර මේස හැඳි 2 ක් ද දාන්න. මෙය මඳ ගින්නේ කැරමල් කරගන්න. මේ කැරමල් එක ළා රන්වන් පැහැ වන විට ළිපෙන් ඉවත් කළ යුතුයි. තද පැහැ වුවහොත් තිත්ත රසයක් එන නිසා සීනි කැරමල් කිරීම හොඳ අවධානයකින් කළ යුතුයි.

 

බිත්තර 10 වෙනම එකින් එක කඩා බඳුනකට දමන්න. දැන් මඳක් එම බිත්තර ටික ගසා ගන්න. දැන් මෙයට ටින්කිරි, වතුර සමඟ වැනිලා බින්දුවක් දෙකක් පමණ දමා ගසා ගන්න. මෙය බීට් නොකර අතින් ම තට්ටු කරගත යුතුයි. පසුව වාෂ්පයෙන් තම්බා ගැනීම සඳහා බඳුනකට කැරමල් එක දමා පසුව මෙම මිශ්‍රණය දමා ගන්න. දැන් ෆොයිල් පේපර් එකකින් වසා පුඩිම ස්ටීම් කරන්න.

නුගේගොඩ ලක්ෂ්මී කුකරි ස්කූල්හි ප්‍රවීණ සූපවේදිනී

ලක්ෂ්මී නාරාහේන්පිට

2590 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 16, අඟහරුවාදා 14:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න