තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 29, සඳුදා 11:21

කරන අකුසල් වැඩි වන තරමට ලෙඩ ද වැඩි වෙයි

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
“ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ඡත්තං මහත්තං විය වස්ස කාලේ”

 

 

ධර්මයෙහි හැසිරෙන ධම්මචාරී පුද්ගලයා ඒකාන්තයෙන් ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරන්නේ ය. වැස්සෙන් තෙමෙන්නට නොදී රක්නා කුඩයක් මෙන් තමා යහපත් සේ පුරුදු කළ ධර්මය විසින් දෙලොවින්ම රැකගන්නේ ය.

‘ධම්ම’ යන්නට ආරක්ෂා කිරීම, සත්‍ය, නිවැරැදිතාව, යහගුණය, නිවැරැදි මාර්ගය හා ස්වභාවය ආදී අර්ථ රැසක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

“යෝ පටිච්ච සමුප්පාද පස්සති සෝ ධම්මං පස්සති” යම් කෙනෙකු බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් පෙර නොඇසූ විරූ පටිච්ච සමුප්පාදය නිවැරැදිව දකින්නේ ද ඔහු ධර්මය දකින්නේ ය.

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් නිවැරැදිව ධර්මය දකී ද ඔහු බුදුරජාණන් වහන්සේ දකින්නේය. බුදු රජාණන් වහන්සේ දකින පුද්ගලයා නිවුණු සැනසුණු පුද්ගලයකු වන්නේ ය. මෙය හරිහැටි අවබෝධකරගත් තැනැත්තා සිතින්, කයින් නීරෝගීය.

කෙනෙකුට නීරෝගීභාවය ලැබෙනවා කියන්නේ ඉතාම වාසනා ගුණයක්. එහෙත් නිරෝගී මදයෙනුත් මත්වන්නට සුදුසු නොවේ. ඒ මක්නිසාද යත් ඕනෑම අවස්ථාවක මේ ජීවිතය වෙනස් වන්නට පුළුවන් නිසයි.

ගරු ස්වාමීන් වහන්ස,

අද ගිලනුන් වන පිරිස් වැඩියි. ඒ අයගෙනුත් සුව කළ නොහැකි දරුණු පිළිකා රෝගීන් වගේම වෙනත් රෝගීන් බොහෝයි. මෙහෙම වෙන්නෙ ඇයි?

සීලය දිවිහිමියෙන් රකින, අනෙක් අය ගැන හිතන, නිතර කුසල් රැස්කරන පිරිසට මෙවැනි රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩුයි ද? මේ පිළිබඳ ධර්මානුකූල අවබෝධයක් ලබාදෙනු මැනවි.

පිනවත් දරුවනේ, අද කෙනෙක් අසනීප වෙලා කියලා දැනගත්තාම පරීක්ෂණවලින් තහවුරු වෙනවා පිළිකාවක් කියලා. එහෙම නැතිනම් මළගෙදරකට ගියොත් පිළිකාවකිනුයි නැතිවුණේ කියනවා. මේ විදියට අහන දකින බොහෝ මරණයන්ට හේතුව මේ පිළිකාවයි. නැත්නම් හෘදයාබාධයි. බොහෝ දුරට මේ රෝග සම්බන්ධවන්නේ ද්වේෂය කියන කාරණාව මතයි. නමුත් ඒ ද්වේෂය මේ ජීවිතයේ වැඩුවා වූ දෙයක් නොවෙන්නට පුළුවන්. සංසාරේ පුහුණු කළාවූ, අපි අතීතයේ වැඩුවා වූ අකුසල් හේතු වෙන්න පුළුවන්. ඒ අකුසල්වලට අදාළව තමයි එවැනි දරුණු ගණයේ රෝග වැළඳෙන්නේ. උපන්නා වු මේ ජීවිතයේ ද්වේෂය කියන පවුකාර සිතිවිල්ල නැති කරගන්නට.. හීන කරගන්නට ඔබ දක්ෂ විය යුතුයි. හරියටම කියනවා නම් ඔබ ද්වේෂය පුරුදු පුහුණු කරගන්නේ මවුකුස තුළදීමයි.

එනම් දරුවා මවුකුස මගේ කරගෙනයි එතුළ රැඳී සිටින්නේ. අම්මා ඉඳගන්න, හිටගන්න, නැවෙන, අධික සීතල, උණුසුම් ආහාරයක් ගන්නා වාරයක් පාසා මවුකුස සිටින දරුවා ද්වේෂය ඇතිකර ගන්නවා. එතනදී වේදනාවට අදාළ පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ද්වේෂයේ ආරම්භය එයයි. ඒ දරුවා ලෝකයට බිහිවෙන්නේ මරලතෝනි දෙමින්. එනම්, සාංසාරිකව පුරුදු පුහුණු කළා වූ ද්වේෂයයි. අපි කතාවට කියනවා කිරි දරුවාගේ හිත

ප්‍රභාෂ්වරයි කියා. එහෙත් එය නිවැරැදි නොවේ. හිතක් ප්‍රභාෂ්වර වන්නේ රහතන් වහන්සේ නමකගේ පමණයි. අලුත උපදින දරුවා කියන්නේ බරපතළ වූ අකුසලයක් දරා ලෝකයට පිවිසෙන කෙනෙක්.

මවගේ කුසයෙන් එළියට ගන්නා මොහොතේ කෙතරම් කෑගසනවා ද? ඒ සෑම දෙයකින්ම ද්වේෂය ගොඩනැගෙනවා. මේ දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්වීමේ දී පාසල් අධ්‍යාපනය පටන් ගන්නවා. අන්න එතැනදී තව තවත් ද්වේෂ සිතුවිල්ලට ආයු උපදිනවා. පන්ති කාමරයේ තමන්ට වඩා තව කෙනෙක් ලකුණු ගන්නවා නම්, පළමුවැනියා වෙනවානම් ඒ ගැන තරහක් උපදිනවා. මේ සෑම තැනකදීම ද්වේෂය හටගන්නවා. මේ ද්වේෂය පියවරෙන් පියවරට පුරුදු පුහුණු වී වැඩිකර ගැනීමක් තමයි සිදුවන්නේ.

පින්වත් ඔබට මා මේ දේශනා කළේ ද්වේෂයේ ආරම්භයේ සැබෑ ස්වරූපයයි. එසේ නොවී දරුවකු ද්වේෂයෙන් පිරි අයෙක් බව මතුකර දැක්වීමට නොවෙයි.

ඔබ මෙය හරි හැටි අවබෝධ කරගන්න. ඒ ධර්මානුකූල අවබෝධය නොදරුවාගේ ඉදිරි ජීවිතය සුඛිත මුදිතකර ගැනීමට මහත් ආශිර්වාදයක් කරගන්න. උත්පත්තියෙන්ම ස්වභාවිකවම ගෙන එන්නා වූ ද්වේෂසහගත සිතිවිලි එවිට මුලිනු’පුටා දමන්නට හැකියාව ඔබ සතුයි. දරුවකු යහමඟට ගැනීමේ හැකියාව මාපිය වැඩිහිටියා සතුයි. එවන් දරුවකු වැඩිහිටියකු වූ කල සිත ප්‍රබෝධමත් වෙනවා. පිරිසුදු වෙනවා. එවන් වූ අයට කායිකව මානසිකව නීරෝගී සම්පත්තියක් හිමි වෙනවා.

එසේම අප ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළ තව දෙයක් තමයි මේ රූපය කායනානුපස්සනාවෙන් දකින ලෙස. එනම්, අනිත්‍යභාවයට පත්වන දෙයක් බව මෙනෙහි කිරීමයි. එහෙත් ඔබ කරන්නේ කුමක් ද? රූපය අපට අනිත්‍ය පෙන්වා දෙද්දී ඔබ රූපලාවණ්‍ය ක්‍රම උපයෝගී කරගනිමින් තව තවත් රූපය ඉස්මතු කරගන්නවා. මේ සංසාරයේ රූපය නිරතුරුවම ඉස්මතුකර දැක්වීමෙන් ඔබ තුළ වැඩෙන්නේ අකුසල් සිතක්. යම් කාන්තාවක්, යම් පිරිමියෙක් තමන් අඳින, පලඳින ඇඳුම තුළින් තමන්ගේ ශරීරය උලුප්පවා පෙන්වා යම් කෙනෙක්ගේ සිත තුළ කාමයක් ජනිත කරන්නේ නම් ඔහු හෝ ඇය නිරතුරුවම අකුසලයක් රැස්කර ගන්නා බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. හිතන්න කෙනෙක් තම ශරීරය නිරාවරණය වන පරිදි ඇඳුමකින් සැරසී පාරේ යනවා කියා. ඇය එලෙස හැසිරෙන්නේ තම රූපය ඉස්මතුකර පෙන්වීමේ ම සිතකිනුයි.

එවිට මගේ රූපය ලස්සනයි කියන තෘෂ්ණාව ඈ සතුªයි. ශරීරය හිරවෙන, ශරීරයට ඔරොත්තු නොදෙන ඇඳුම් පැලඳුම්වලින් හැඩවීමෙන් ලේ ධාතුව, මාංශ ධාතුව කැටි වෙනවා. මෙන්න මේ හේතුවෙන් පිළිකාව ඇති වෙන්නත් පුළුවන්. බලන්න, දැන් ඔබට වැටහෙනවා නේද පිළිකාව හටගන්න හේතුඵල දහම බලපෑ අයුරු රූපය අයුතු ආකාරයෙන් ලෝකයට පෙන්වන්නට යන බොහෝ දෙනෙකුට සිදුවන්නේ මේ විනාශයයි.

දරුවනේ, අනුන්ගේම වරද දකින්නා ද රෝගියෙකි. දවේෂය, කෝපය, ඊර්ෂ්‍යාව මුල්බැස ගෙන සිටින එවැනි අයට ද පිළිකාව කියන රෝගය ආගන්තුක වන්නේ නැහැ.

අනුන්ගේ වරද දැකීම ලෙහෙසියි. තමන්ගේ වරද දැකීම අපහසුය. අනුන්ගේ වරද සොයන්නා ඒ වරද දහයියා මෙන් පොළ පොළා පෙන්වයි. හෙතෙම තම සිරුර සඟවන කපටි ලිහිණි වැද්දකු මෙන් තමාගේ වරද සඟවා ගනී.”

මේ මොන දේ වුණත් තමන්ගේ දොස් නොසොයා අනුන්ගේ දොස් සොයන්නා තුළ කිසියම් අඩු පාඩුවක් තිබිය යුතුමයි. ඔවුන් ඒ අඩුව මකාලන්නට දරන වෑයමකි අනුන්ගේ දොස් දැකීම. මේ ආකාරයෙන් අනුන් විවේචනය කරන්නාට සංසාර ගමන දිගුය. මක්නිසා ද යත් අනුන් ගැන සොයන්නට අධ්‍යාත්මික ගුණ ධර්ම ඇති කරගත නොහැකිය.

පිරිපුන් බහුශ්‍රැත අය අනුන්ගේ දොස් කෙසේවත් නොසොයති. මේ නිසාම දැන උගත්, විචාරශීලී, ධාර්මිෂ්ටක මනුෂ්‍යයන් රෝගයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාවය අඩුයි.

සසර නමැති ගං තෙරෙන් නික්මීමට නීරෝගී කයක්, නිරෝගී මනසක් අවැසියි. එසේ නම් ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කිරීමට හැමෝම හැමවිටම උත්සාහ ගන්න. එවිට පින්වත් ඔබ සැම සියලු ලෙඩ දුක්වලින් අත්මිදෙනු ඇත.

මිනිසත්බව ලැබීම ඉතාම දුෂ්කරය. එය ලබා දිගුකලක් නීරෝගීව ජීවත්වීම අතිශයම දුෂ්කරය. එබැවින් මිනිස් ආත්මයක ආයු ප්‍රමාණය වින්දනය කොට නිදුක් නීරෝගීව ජීවත්වීමට උත්තම පියවර අදම ගන්න.

පුද්ගලයාගේ ජීවිතය නිරෝගීවීමට, යහපත්වීමට තමා කළ කී දෙය ඍජුවම බලපානු ඇත. අනාදිමත් කාලයක සිට අප මේ සසර සැරිසරනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

 

 

පූජ්‍ය

රාජගිරියේ අරියඥාන

ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරිනි.

310 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 11:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න