තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 29, සඳුදා 11:27

රුපියල් සත ළඟ විකිණෙන ගත සිත

Written by 
අගයන්න
(0 මනාප)
    කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් සමඟ ඇගේ පර්යේෂණ කටයුත්තකට සහභාගී වන්නට පසුගිය දිනක මට ද අවස්ථාව ලැබුණි. ඒ ඇගේ නවතම පර්යේෂණය වී තිබුණු ගණිකා වෘත්තිය අලළාය. එහිදී ඇයට ගණිකා වෘත්තියේ නියැළෙන කිහිප දෙනෙකු සමඟ ඍජුව කතා කරන්නට අවස්ථාව උදාවිය.

 

 

එම වෘත්තිය සාධාරණීය කොට සලකන්නට මා කිසිසේත්ම එකඟ වන්නේ නැත. පිරිමි හිඟමන් යදිනවා සේම ගැහැනු ගණිකා වෘත්තියේ නියැළීම ද කිසිම විටෙක අනුමත කළ නොහැක.

එය යහපත් මුදල් උපයන මාර්ගයක් නොවන බව යහපත් සමාජයක් අගය කරන සැමගේ අදහස වනු ඇත.

එහෙත් ඔවුන් එම වෘත්තියේ යෙදීම පිළිබඳ දැනුවත් බවක් හා අවබෝධයක් තිබීම අනාගත දරු පරපුර එවැනි තත්ත්වයන්ට ගොදුරු වීම වැළැක්වීමේ මඟක් වනු ඇත. එම කතාබහ ප්‍රයෝජනවත් බව හැඟුණේ ඒ හරහා සමාජය දැනුවත් කළ හැකි නිසාවෙනි.

සමීක්ෂණයට බඳුන් වූ හැම ගැහැනියකගේම ළමා කාලය අතිශය ඛේදනීය එකකි.

සමහරුන්ගේ මව ඉතා කුඩා කාලයේදී ම මිය ගොසින්ය. පියා වෙනත් විවාහයක් කරගැනීම නිසා ඔවුන්ගේ ජීවිත බාරවී තිබුණේ වියපත් ආච්චි අම්මාවරුන්ට ය. අතළොස්සක් දෙනෙක් 2 හෝ 3 පන්තියට අකුරු ඉගෙන ගත්තත් බහුතරය වැස්සකටවත් පාසලකට ගොස් නැත.

ඔවුන්ට මවුපිය සෙනෙහස සිහිනෙන් ගෑ සුවඳක් සේය.

ජීවිතයේ කිසිදු හවුහරණක් නොමැතිව යන එන මං කියන්නට, සොයන්නට, බලන්නට, අසන්නට කෙනෙක් නොමැති ඔවුන් අවසානයේ ඇද වැටුණේ මහමඟට ය. එතැන් පටන් ඔවුන්ගේ ජීවිතයේ තනිකම පාළුව, කාංසිය, බඩගින්න අකා මකා දැමූ හොඳම මිතුරා වී ඇත්තේ මත් කුඩුය. ජීවනෝපාය මාර්ගය වන්නේ පිරිමින් සමඟ යහන්ගත වී මුදල් ඉපයීමය.

සැබැවින්ම මෙය රැකියාවක් ද? ජීවත් වීමේ මාර්ගයක් ද? දුප්පත්කමට හෝ අසරණකමට මුවාවී මෙවැනි වෘත්තීන්වල නියැළීම කිසිවිටෙකත් සාධාරණීකරණය කළ නොහැකිය.

කෙතරම් නූගත් වුවත් මුදල් ඉපයීමට මීට වඩා වැදගත්, යහපත් ආදායම් මාර්ග කෙතරම් තිබේ ද? මහමඟ තාර දමන්නියන්, කුලී වාහන ටිකට් කඩන්නියන්, ස්වීප් ටිකට් විකුණන්නියන් ජීවත්වීමට දරන මහන්සිය අප කෙතරම් අගය කළ යුතු ද? ඔවුන් සමඟ බලන කල ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් දෙස අප අනුකම්පාවෙන් බැලිය යුතු ද? සිඟමන් යදින පිරිමින් ගැන සානුකම්පිත විය යුතු ද?

මිනිස් ආත්මයක් ලබන්නට වාසනාවන්ත වූ ඇත්තන් ගෙවන පාපකාරී මේ ජීවිතය මරණින් මතු කොයිබට ද? සීතිම ඔබට බාරය.

අප ජීවත්විය යුත්තේ මෙලොවට මෙන්ම එලොවට ද වැඩදායක ලෙස ජීවිතය තේරුම්ගෙන ය. මෙලොව ගැනම පමණක් සිතීම යුතුකමක් නොවේ.

මෙලොවට සැනසීමක් ගෙනෙන යාන වාහන, ගෙවල් දොරවල් එකතු කරන්නා සේම අපට මරණය ද හිමිවන බව මතක තබාගත යුතුය. මරණ මංචකයේ දී අපට සිහියට නැගෙන්නට යහපත් ජීවිතයක් අප ගතකර සිටිය යුතුය.

එසේ නොවුණහොත් සිදුවන්නේ ඔවුන් මේ ගෙවන ජීවිතවලටත් වඩා අන්ත ජීවිතයක් උරුමවිය හැකි බව නේද?මෙවැනි පව්කාර වෘත්තීන්වල නියැළීම අවීචි මහා නරකාදිවල උපත ලබන්නට හේතුවන බව බුද්ධ දේශනයේ ද සඳහන් වේ.

අප උත්සාහ කළ යුතුවන්නේ අපේ අතින් වරදක් සිදුවේ නම් එය අවබෝධ වූ විටවත් ඉන් මිදීමට උත්සාහ කිරීමයි.

දැනුම් තේරුම් නැති කාලයේ කළ කී දේවල්, දැනුම් තේරුම් ඇති කාලයේ නොකළ යුතුයි.

අකුරක්වත් ලියන්නට, කියන්නට බැරි වුවත් ජීවත්වීමෙන් ලැබූ අත්දැකීම් හෝ අසා දැක ඇති ජීවිතවලින් අපට පාඩම් ඉගෙනගත නොහැකි ද? හරි දේ කුමක් ද? වැරැදි දේ කුමක්ද? වැඩුණු අපට තේරුම් ගත නොහැකි ද? මෙම පර්යේෂණ කතාබහේදී අවුරුදු 50 ක පමණ ගැහැනියක් අපට හමුවිය. ඇයට දියණියන් දෙදෙනකු සහ ලොකු පුතෙක් සිටි අතර තිදෙනාම විවාහකය. ඔවුන්ට දරුවන් ද සිටී. ඔවුන් ඇයගෙන් ඉල්ලන්නේ මහපාරේ රස්සාව නවතා දමා නිවසට පැමිණෙන ලෙසයි.

නමුත් ඇය ඊට සූදානම් නැත. කුඩු බීම නතර කිරීම හෝ මෙම සල්ලාල ජීවිතයෙන් මීදීමට ඇයට කොහෙත්ම උවමනාවක් නැත. ඇගේම වචනයෙන් කිවහොත්

“ඇත්ත නේන්නම් නෝනා. අපි මේ කරන රස්සාවේ හැටියට ගෙදරකට වද්දගන්නවත් පුළුවන් ද?”

මේ වචනයෙන්ම පැහැදිලි වන්නේ ඔවුන් කරන කටයුත්තේ වරදක් ඇතිබව ඔවුන්ට ද හොඳහැටි වැටහෙන බවය.

තමන් කරන්නේ සමාජ විරෝධී කටයුත්තක් බව මේ හැම කාන්තාවක්ම දැනසිටි බව අපට ඔවුන්ගේ කතාබහෙන්ම හොඳටම වැටහුණි.

බොහෝ වේලාවට විසුරුණු පවුල්වලින් බිහිවන දරුවන් අපචාරී දරුවන් වෙතැයි සමාජයේ මතයක් ඇත.

යහපත් පවුල් සබඳකම් පවතින පවුල්වල දරුවන් මහමගට, හිඟමනට, හොරකමට, මතට ඇබ්බැහි වන්නේ කලාතුරකිනි.

මෙයින් පෙනී යන්නේ මවුවරුන්ට, පියවරුන්ට, ගුරුවරුන්ට යහමග නිවැරැදිව පෙන්වීමේදී විශාල වගකීමක් ඇතිබව නොවේද? මේ මහපාරට වැටී වල්මත් ජීවිත ගතකරන චරිත හරහා වැඩිහිටි අපට උගත හැකි අගනා පාඩමක් ඇත.

එනම් දරුවන්ට හොඳින් උගන්වමින් නැණ පාදනවා සේම ගුණ යහපත්කම්වල අගනාකම්, වටිනාකම් ජීවිතයට බද්ධ කරමින් දෙන්න දෙමහල්ලන් ඔවුන්ගේ ජීවිත ආදරයෙන් පුරවන්නට ක්‍රියාවෙන්ම ඔවුන්ට සමීප විය යුතුය.

දෙමාපිය විරසක වීම් ඇතිබව දරුවන්ට දැණුනහොත් ඔවුන්ගේ ජීවිත ද කඩා කප්පල් වීම ඇරඹෙනු ඇත.

දෙන්න දෙමහල්ලෝ දරුවන් ඉදිරියේ නිතර නිතර රණ්ඩු සරුවල් කරමින් එකිනෙකාට ගරහා ගන්නා විට තැලෙන්නේ දරුවන්ගේ පුංචි හිත්ය.

සසලවන පුංචි හිත ඉගෙනුමට නැඹුරු නොවේ.

තාත්තලා අම්මලාට ගහන විට රිදෙන්නේ පුංචි හිත්වලටයි. මෙසේ තැලෙන්නේ පුංචි මල් කැකුළුය.

කාලයාගේ ඇවෑමෙන් මේ දරුවන් යොවුන් වියට පත්වද්දී ජීවත්වීමට ඔවුන් තෝරාගන්නේ මහමගය. අම්මා තාත්තාගෙන් හෝ තාත්තා අම්මාගෙන් පළිගන්න කරන මේ කෲරකම්වලට අවසානයේ නොදැනුවත්වම බිලිවී ඇත්තේ තමන්ගේම දරුවන් බව කතා කළ බොහෝ ගණිකාවන්ගේ අතීත කතාවයි. එබැවින් හෙට දවසේදී මෙවැනි පහත් වෘත්තීන්ගෙන් දරුවන් බේරාගැනීමට නම් අද සිටම හැම අම්මා තාත්තා කෙනෙකුම තමන්ගේ දරුවන් වඩ වඩාත් සැලකිල්ලට, අවධානයට, ආදරයට ලක්කළ යුතුය. දෙන්න දෙමහල්ලෝ ආදරයෙන් ජීවත්වීමේ කලාව ක්‍රියාවෙන්ම දරුවන්ට හැඟෙන්නට ඉඩ හැරිය යුතුය.

මවුපියන්ගේ ඒ අසීමිත බැඳීම දරුවන්ගේ අනාගතය යහපත් කරයි. ආදරයෙන් පිරුණු නිවහනක හැදෙන, වැඩෙන දරුවන් හැම අතින්ම සුරක්ෂිතයි.

 

 එවැනි ආරක්ෂිත වටපිටාවක හැදෙන හැම දරුවෙකු ම රටට වැඩදායි යහපත් පුරවැසියෙකු වනු නොඅනුමානයි.

1012 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 11:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න