තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 29, සඳුදා 11:44

කාන්තා ඔබේ ඡන්දයට නිසි වටිනාකමක් දෙන්න වෙලාවි එළැඹිලා

ලිව්වේ  ජනප්‍රිය ජයසිංහ
අගයන්න
(0 මනාප)
බලය හැම දෙයකටම සාධකය බව අද ලෝකයේ ජීවත්වන කාන්තාවන්ට අමුතුවෙන් කියන්න ඇවැසි නැහැනේ. ඒත් තමන් සතුව ඇති බලයෙන් ප්‍රයෝජන නොගත් පිරිසක් ලෙස අපේ රටේ කාන්තාව හඳුන්වන්න පුළුවන්.

 

ඇයි එහෙම කියන්නේ? ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ. මැතිවරණයෙන් ඡන්දය ප්‍රකාශ කරන ඡන්දදායකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ. ඒක 56% ක් තරම්. ඒත් ඡන්දයකින් පස්සේ හැමදාම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ජයග්‍රාහි කණ්ඩායම්වල මන්ත්‍රි මන්ත්‍රිවරියන් අතර කාන්තා ප්‍රතිශතය මොන තරම් අල්ප ද? අවම ද? අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4% ක් තරම්. පළාත් සභාවල තත්ත්වය තියෙන්නේ ඊටත් පහළින්. කාන්තා නියෝජනය 3.40% ක් තරම්. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දෙකක්වත් නැහැ. මෙතරම් අවම කාන්තා නියෝජනයක් තුළ අයිතිවාසිකම් රැක ගැනීමට නොහැකි බව කාන්තා ඔබට තේරුම් ගැනීම දුෂ්කර එකක් නොවෙයි.

අපේ රටේ මිනිස්සු සර්වජන ඡන්දබලය ඉල්ලා සටන් කරන්නේ මීට අවුරුදු සිය වසකට පමණ කලින්. ඒක එක්දහස් නවසිය තිස් එක අවුරුද්දේදි දිනා ගන්නවා. එහෙම දිනාගත්ත බලයෙන් මෙරට කාන්තාවන්ට රාජ්‍ය පාලනයේ දොරගුළු විවර කරගන්න තිබුණු අවස්ථාවන් අන්තිම අවම බව තේරම් ගන්නටත් තව වසර ගණනාවක් ගතවෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රටෙන් බිහිවුණත්, ජනාධිපති සහ ඉහළ හා මධ්‍යම මට්ටම්වල ඇමතිධූර ප්‍රමුඛ ස්ථානවල කාන්තාවන් අසුන්ගත්තත් අපේ රටේ දේශපාලනයේ නියුතු කාන්තා ප්‍රතිශතය තිබුණේ ඉතාම අඩු මට්ටමක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව ස්ත්‍රී පුරුෂ සමානත්මතාව හා මානව අයිතිවාසිකම් තහවුරු කරලා තියෙද්දීත් ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතීන්වලදී ස්ත්‍රී පුරුෂ සමානත්වය තහවුරු කරලා තියෙද්දීත්, කාන්තා ප්‍රඥප්තියේත් රටේ පවතින ජාතික හා පළාත් පාලන මැතිවරණයන්වලදී සාධාරණ නියෝජනයක් කාන්තාවන්ට ලබාදිය යුතුයැයි කියා තියෙද්දීත් අපේ රටේ කාන්තාවන්ට පාලකයන් තෝරා ගැනීමට කාන්තාවන්ට ඇති අයිතිය නාම යෝජනා ලබාදීමේදී දක්නට ලැබුණේ නැහැ. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන්ට තිබුණ අවකාශය ඉතා සීමාසහිත එකක්. නමුත් ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවල නම් ලස්සන අකුරුවලින් මුද්‍රණය කරලා තිබුණේ මැතිවරණවලදී කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බවය. කාන්තාවන්ට නිසි තැන ලබාදිය යුතුයි කියලයි. හැබැයි අපේ රටේ කාන්තාවෝ බලය පාවිච්චි කරලා කාන්තාවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගත්තේ නැති වුණාට ලෝකයේ හුඟක් රටවල කාන්තාවෝ තමන්ට හිමි තැන වෙනුවෙන් පෙරට ඇවිත් තියෙනවා.

මෑතකදී ලෝකයේ රටවල් එකසිය අසූ හතක පාර්ලිමේන්තුවල කාන්තා නියෝජන තත්ත්වයන් ගැන සමීක්ෂණයක් කරලා තිබුණා. එහි දී පළමු ස්ථානය හිමිකරගෙන තිබුණේ රැවන්ඩාව. එහි පාර්ලිමේන්තුවේ 48.80% ක ප්‍රතිශතයක කාන්තා නියෝජනයක් තියෙනවා. ස්වීඩනය (45.3%), නොර්වේ (37.9%), පින්ලන්තය (37.5%), ඩෙන්මාර්කය (36.9%), නෙදර්ලන්තය (36.7%) පිළිවෙළින් මුල් ස්ථාන ලබලා තියෙනවා. අපේ රට ඉන්නේ මේ ලැයිස්තුවේ හුඟක් පහළින්. එකසිය විසි තුන්වන ස්ථානයේ. ස්ථානය දැන කියාගත්තහම අපේ රටේ කාන්තාවන්ගේ මුහුණ ලජ්ජාවෙන් රතුවනවාට සැකයක් නැහැ.

අපේ රටේ වසර අසූවකට වැඩි මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් යුත් කාන්තා නියෝජනයක් තිබුණේ පහළොස්වන පාර්ලිමේන්තුවේ. ඒ 6.2% ක්. ඒත් දහසයවන පාර්ලිමේන්තුවේ එය 5.7% ක් දක්වා පහළ බසිනවා.

යහපාලනය යනු කාන්තා සම සහභාගිත්වයෙන් තීන්දු තීරණ ගැනීම. යහපාලන ආණ්ඩුවෙ අඩු පාඩු තිබුණත් ඒ ආණ්ඩුව මැදිහත්වෙලා දේශපාලන තීන්දු තීරණ ගැනීමට, ක්‍රියාකාරි දේශපාලනයෙන් පෙරට යන්නට මෙරට කාන්තාවන්ට ලබාදුන් ඉඩකඩ ගැන නම් සුළුකොට තකන්න බැහැ. එළඹෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සෑම දේශපාලන පක්ෂයටම කාන්තා නියෝජනය 25% දක්වා අනිවාර්ය කිරීම, අපේ රටේ කාන්තාව සර්ව ජන ඡන්ද බලයෙන් පසු ලැබූ විශාල ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය අනගිභවනීය එකක් කර ගැනීමට මේ රටේ කාන්තාවන් හැම දෙනාම සිතට ගත යුතුයි. කාන්තාවන් සියලු දෙනාම තමන්ගේ ඡන්දයට වටිනාකමක් දෙන්න හැකි සෑමවිටම අපේක්ෂිකාවකට ඡන්දය දීම කළ හැකියි. අඩු ගණනේ කාන්තා අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයෙකුටවත් ඡන්දය ලබා දෙන්න. දේශපාලනයට සම්බන්ධවන කාන්තාවන්ට පුරුෂ මූලික මේ සමාජයේ ඉඩක් තිබුණේ නැහැ. මේ ලැබුණු අනිවාර්යය කෝටාවෙන් කාන්තා දේශපාලනයට ඇති වැඩි ඉඩකඩ තහවුරු කර ගැනීම ඡන්දදායකයනගෙන් බහුතරයක් වන කාන්තා ඔබගේ වගකීමක්.

මෙවර පළාත් පාලන මැතිවරණය කාන්තා නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරන්න අපේ කාන්තාවන්ට ලැබුණු හොඳ වරමක්. ග්‍රාමීය මට්ටමේ තිබෙන මරණාධාර, අන්‍යොන්‍යාධාර, ආගමික සමිතිවල සාමාජිකත්වය වගේම නිලතල වැඩිපුර දරන්නේ කාන්තාවෝ. ඉතිං ඉන් ඔබ්බට ගිය පළාත් පාලන ආයතනයටත් ඇගේ දායකත්වය එක්වුණොත් මොනතරම් අගේද?

නගර සභා ප්‍රාදේශීය සභා මගින් ආවරණය කෙරෙන සෑම විෂයක්ම අපේ කාන්තාවන්ට ඉතාමත් සමීපයි. කසළ කළමනාකරණය, සනීපාරක්ෂාව, නගර ගම් අලංකරණය, වසංගත රෝග මර්දනය, දාරකාභිවෘද්ධි මධ්‍යස්ථාන නඩත්තුව, පුස්තකාල සේවා, ගමේ පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළට නැංවීම, දරුවන්ගේ අඩුපාඩුකම් සොයා බැලීම වගේ කාරණාවලදී පිරිමින්ට වඩා කාන්තාවන්ට සංවේදීවීමේ හැකියාව වැඩියි. ඒවාට උත්තර සේවීමේ හැඟීමත් හැකියාවත් පිරිමින්ට වඩා කාන්තාවන් සතුයි කීවොත් වරදක් නැහැ. පාලන කටයුතුවල නිරතවන කාන්තාවන්, දූෂණය වංචාවට යොමුවන අවස්ථාත් පිරිමින්ට සාපේක්ෂව ඇත්තෙම නැති තරම්. වඩා වැඩි කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තු සහිත රටවල දූෂණ වංචා අඩු බවත් වාර්තාවෙලා තියෙනවා. ඒ පැත්තෙත් හොරු - මේ පැත්තෙත් හොරු කියමින් එකිනෙකාට චෝදනා කරන පුරුෂ මූලික දේශපාලනය පිරිසිදු කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමෙන් පමණයි. මේ තත්ත්වය තේරුම් අරගෙන ගෑනු පිරිමි හැම දෙනාම ඡන්දය පාවිච්චි කළොත් අපේ රට ඉහළට ගෙන එන්න අපහසුවක් නැහැ. එහෙම වුණොත් යහපත් හෙට දවසක් ඉක්මනට උදාකරන්න පුළුවන්. තොටිල්ල පදවන අත රට පාලනය කරන එකත් අපිට කාටවත් නතර කරන්න බැරිවේවි.

  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1148 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 11:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න