තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:01

ලැබූ නිදහස හා තිබෙන නිදහස

Written by 
අගයන්න
(0 මනාප)
අප රටට නිදහස ලැබී දැන් හැත්තෑ වසරකි. සුපුරුදු පරිදි මෙම වසරේ දී ද එය අතිශය උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට වූ බව මාධ්‍යවලින් අපට දකින්නට ලැබුණි.

 

සෑම වසරකම අති උත්සවාකාරයෙන් නිදහස සැමරුවත් සැබෑවටම අප නිදහස් ජාතියක් ද?

මෙරට තුළ නිදහස උපරිමයෙන් අපට භුක්ති විඳීමට ඉඩහසර ලැබෙනවා ද? විශේෂයෙන්ම කාන්තා ඔබට මෙන්ම මට ද ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

අතීතයේ, එනම් පෙර රජ දවසේ අප අසා තිබූණේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගැහැනියකට අත, කන රන් ආභරණයෙන් පුරවා ගෙන තනි පංගලමේ යා හැකි වටපිටාවක් තිබූ බව ය.

එතරම්ම එම යුගයේ ගැහැනියගේ ආරක්ෂිත බව සුරක්ෂා කිරීමට තරම් සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වය ප්‍රබල විය.

එහෙත් වර්තමානයේ ගැහැනියකට තනි පංගලමේ තම නිවසේවත් සිටිය හැකි තත්ත්වයක් උදා වී තිබේ ද ? එසේ වූයේ නම් සේයා වැනි සිඟිත්තියන්ට පාපතරයන්ගේ ග්‍රහණයට ලක් වී අකාලයේ ජීවිතයෙන් සමුගන්න සිදුවේද?

පාපතරයන්ගේ මිලේච්ඡ ආසාවන්ට ගොදුරු වෙමින් රත්නපුර කහවත්තේ ප්‍රදේශයේ කාන්තා ඝාතන රැල්ලක්ම සිදු වූ බව අප කෙසේ නම් අමතක කරලන්නේ ද?

මේ බහුතරයක් මරා දමා තිබුණේ තමන්ගේම නිවහන තුළය. ජීවිත කාලය පුරාවට දුක් මහන්සියෙන් ගලෙන් ගල ගොඩ නැඟූ නිදහසේ ජීවත් වන්නට තැනූ කැදැල්ලේ නිදහස අහිමි කළේ කවුරුන් ද? ඔවුන් පිට දේසක්කාරයන් ද? නැත. මේ සියලු ඝාතනයන් හැමදාමත් කළේ මේ මාතෘ භූමියේ උපන් කෲරතර, පාපකාරී, තිරිසන් සතුන්ටත් එහා ගිය මනුෂ්‍යයන් අතිනි. මෙය සමස්ත පුරුෂ ස්වභාවය නොවන බව ද අපි දනිමු.

එහෙත් අද සමාජයේ අහන්නට, දකින්නට ලැබෙන සිදුවීම් සමඟ ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඇත්තේ නොරිස්සුමකි.

වත්මන් සමාජයේ පුරුෂ පාර්ශ්වයෙන් ස්ත්‍රීන් අරඹයා ඇත්තේ අතිශය වේදනාබර කතන්දරයකි.

අතීත සමාජයේ ගැහැනියකට තිබූ රැකවරණය අද දකින්නට තිබේ ද? ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය..... කාන්තා හිංසනය..... අපචාර ක්‍රියා උදෙසා අපේ තරුණ, වැඩිහිටි කතුන් සේම පුංචි දූ සිඟිත්තන් ද දිනපතා කොයිතරම් නම් බඳුන් වේ ද? දිනකට මහ මඟ හා දුම්රියේ ලිංගික හිංසනයට ලක්වන කාන්තාවෝ කොපමණ ද? විශේෂයෙන්ම කාර්යාල තුළ කාන්තාවන් කෙතරම් නම් පීඩනයකට ලක් වේ ද ? මවුවත්කමේ ගුණ සුවඳ පතුරුවන අම්මාවරුන්ට මෙලෙස පහත් ලෙස සැලකීම වටින්නේ ද? කාන්තාව පීඩනයට ලක් වූ විට සමස්ත සමාජයම පිරිහෙන්නට ප්‍රබල හේතුවක් වන බව පුරුෂ පාර්ශ්වය නොවැටහෙන්නේ කිමදැයි අවබෝධ කරගැනීමට අප කවුරුත් අපොහොසත් වී ඇත.

කාන්තාව තාඩනයට, පීඩනයට ලක්කිරීම ජාතියේ අවාසනාවකි. ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන්ට මෙය නොතේරෙන්නේ මන් ද? කාන්තාවට සම තැන නොව හිමි තැන ලබාදෙන්නට මැදිහත් වීම අප කාගේත් යුතුකම වගකීම නොවේ ද ?

අතොරක් නැතිව අහන්නට ලැබෙන කාන්තා හා ළමා හිංසන අතරට පිරිමි හිංසනයක් කලාතුරකින්වත් අසන්නට ලැබේ ද ? කාන්තාවකගෙන් පිරිමියෙකුට යම් හිංසනයක් සිදු වූවා නම් ඒ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා තරම් කලාතුරකිනි.

පුරුෂ පාර්ශ්වය ඔවුන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින කල ගැහැනියට හිමි සියලු වරප්‍රසාද කපා හැරීමට හෝ අහිමි කරලීම සාධාරණ ද? පුරුෂ පාර්ශ්වය තවමත් ස්ත්‍රී පාර්ශ්වය දෙස බලන්නේ හැඳිමිටේ නුවණ තරමින් දෝයි අපට සිතෙයි.

එහෙත් ස්ත්‍රී පාර්ශ්වය වූකලි දුරදක්නා නුවණකින් හෙබි හැඟීම්වලට නොව බුද්ධියට ඉඩදී තීන්දු තීරණ ගන්නා මානව පක්ෂයකි. අද වන විට එය කාන්තාව ක්‍රියාවෙන්ම ඔප්පු කරන්නට සමත් වී ඇත. අ.පො.ස. සා/පෙළ, උ/පෙළ විභාග ප්‍රතිඵල ගත්තත් වැඩි සමතුන් කාන්තාවන්ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය බැලුවත් ස්ත්‍රී නියෝජනය 50% ඉක්මවයි.

රාජ්‍ය සේවය තුළ ද කාන්තා නියෝජනය කැපී පෙනෙයි. පෞද්ගලික අංශයේ රැකියා ක්ෂේත්‍රය තුළ ද කාන්තාව අද පිරිමින් හා කරට කර සිටියි.

මෙරට සංවර්ධනයට ඍජු දායකත්වය ලබා දෙමින් විදේශ විනිමය වැඩිපුරම ගෙන එන්නේ ද මැද පෙරදිග ගෘහසේවිකාවන් ් සහ විදෙස්ගතව දහදිය කඳුළු හෙලන අප සහෝදර කාන්තාවන්ගෙනි.

ඇඟලුම් කර්මාන්තයෙ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන්නේ ද කාන්තාවන් ය. නිවසේ සිට දරුමල්ලන් වදමින්... හදමින්... නැණනුවණ පාදමින් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, ඉංජිනේරුවරු බිහි කරන්නට අප්‍රතිහත කැපවීමක් කරන අම්මාවරුන්ට මෙන්ම තම දායකත්වය නොමසුරුව ලබාදෙන කාන්තා ශ්‍රමයට නිසි ඇගයීමක් ලබා දෙන්නේ ද? එතැන ඇත්තේ ගැටලුවකි.

හැත්තෑ වසරක නිදහස සමරන මේ මොහොතේ ස්ත්‍රීන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අද දවසේ අවධානයට බඳුන් විය යුතු ප්‍රධාන කාරණයක්. පහළ මධ්‍යම පාන්තික සමාජය සහ ඊට පහළ සමාජ ස්තරවල පුරුෂ පාර්ශ්වයට ගැහැනිය දෙස ගරුත්වයෙන් බැලීමට හා ගරුත්වයෙන් සලකන්නට දැනුවත් කිරීම් නිතර නිතර යම් මට්ටමකින් කළ යුතුය.

මාධ්‍යවලට ද මෙහිදී විශාල කාර්යභාරයක් කළ හැකිය. විශේෂයෙන්ම කාන්තා දූෂණ..... හිංසන ආදී ක්‍රියාවන්හිදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය.

දැඩි දඬුවම් ලබා දෙන විට දඬුවමෙහි බරපතළකමට බිය වී හෝ ක්‍රම ක්‍රමයෙන් සමාජය තුළ කාන්තාවට.. දරුවන්ට ඇති හිංසනය අඩු වීමක් දැකිය හැක. නීති පනවමින්... දඬුවම් ලබාදෙමින් හෝ ක්‍රම ක්‍රමයෙන් මානව ගුණාංග හිත් තුළ ඇති කරන්නට හැකිවේ නම් එවැනි දඬුවම්වලට වියතුන් වුවද උරණ නොවනු ඇත.

එමෙන්ම මෙවර පළාත් සභා මැතිවරණයේ දී කාන්තා නියෝජනය දේශපාලනයට එක් කර ගැනීමට යෝජනා කිරීම කාන්තා අප විශේෂයෙන් පැසසිය යුත්තක්. එම අවස්ථාවට නිසි වටිනාකමක් දෙන්නට ඡන්දය ඉල්ලන සහ ඡන්දය දෙන කාන්තා සැම බුද්ධිමත් විය යුතුයි.

පවුල සුරක්ෂිත කරන්නට අවශ්‍ය දේ පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ නිවසේ “අම්මා” ටය. නැතහොත් “ගෘහණියට” ය. ඒ අවබෝධය තුළින් ගම්වාසීන්ගේ සුබ සාධනයට සහ විශාල මෙහෙවරක් කිරීමේ හැකියාව ගැහැනිය සතුවෙයි.

එනිසා ගමට විශාල සේවයක් කිරීමට හෝ වෙනසක් කිරීම ඔබ බලාපොරොත්තු වන්නේ නම් හැමදාමත් ඔබට ලැබුණු බත් පැකට් එක, මත්වතුර බෝතලය, මහන මැෂිම, ගැනම නොසිතා සැබෑ වෙනසක් කරන්නට උත්සාහගන්න.

එළැඹෙන මැතිවරණය ඔබට වැදගත් වන්නේ එහෙයිනි.

800 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න