තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 12, සඳුදා 11:16

ප්‍රඥාාවෙන්, නුවණින්, අවබෝධයෙන් ගළපාගන්න දෙලොවම ජයගත හැකියි

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
අපේ හාමුදුරුවනේ, මේ සමාජය හරිම විෂමයි. විවිධ මානසික තත්ත්වයක් තිබෙන, විවිධ ආකාරයේ කුසල කර්මයන්වල නිරත වන, විවිධාකාරයෙන් සිල් රකින, සිල් නොරකින පුද්ගලයන් ඉන්න සමාජයක්.

 

බුදු දහමේ සඳහන් වෙනවා මොහොතක් මෛත්‍රී වඩන්න. මොහොතක් අනිත්‍ය මෙනෙහි කරන්න. එය සුගතිගාමී වීමට හේතුවක් කියලා. එලෙසින් සමාජයේ සිටින විවිධාකාරයේ පුද්ගලයන්ට මේ කියන කාරණය පොදු ද? මොහොතක් මෛතී‍්‍ර වඩා මෙලෙස සුගතිගාමී විය හැකි ද? මේ තත්ත්වය පහදා දෙනු මැනවි.

පින්වතුනි,

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඇසුරු සැණයක් මෛත්‍රී වැඩුවොත් බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්න හැකියි. ඔබ ඇසුරු සැණින් අනිත්‍ය වැඩුවහොත් ඊළඟ ජීවිතයේ දී මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්න හැකියි කියලා. නැවත බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ මිය යන සත්ත්වයන්ගෙන් නියසිලට ගන්නා පස් ප්‍රමාණයක තරම් ප්‍රමාණයකුයි සුගතිගාමී වන්නේ කියලා. එසේ නම් දැන් ඔබ සිතයි මේ කියමන් පරස්පර විරෝධීයි කියලා. නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිදු විටෙක පරස්පර විරෝධී නැත. එය අප වටහාගත යුත්තේ අවබෝධයෙනි. නුවෙණිනි. ප්‍රඥාවෙනි.

යමෙක් සුළු මොහොතකට මෛත්‍රිය වැඩූ පමණින් කිසිසේත්ම සුගතිගාමී වන්නේ නැත. මොකද මේ ලෝකයේ ඇසුරු සැණින් මෛත්‍රී වඩන අය ඕනෑ තරම් ඉන්නවා. එසේ නම් මෙය ප්‍රායෝගික නොවන බව ඔබටම දැන් වැටහෙනවා නේද? බුදු රජාණන් වහන්සේ මෙතනදී ඇසුරු සැණක් යනුවෙන් දේශනාකර ඇත්තේ අවසාන චුති සිතයි. අවසාන චුති සිත පහළ වන මොහොතේ ඔබ මෛත්‍රී වඩන්න දක්ෂවන්නේ නම් බ්‍රහ්ම ලෝකයේ උපදී. අනිත්‍ය වඩන්නට දක්ෂවූයේ නම් අනිවාර්යයෙන්ම ඔබ මාර්ගඵලලාභීයකුව උපත ලබයි.

මෙලෙස අවසාන චුති සිතේ දී ඔබ මෛත්‍රිය වඩන්නට නම් දීර්ඝ කාලයක් මෛත්‍රිය වඩා පුරුදු පුහුණු වන්නට ඕනේ. අවසාන චුති සිතේ දී අනිත්‍ය මෙනෙහි කරගන්නට නම් ඔබ දීර්ඝ කාලයක් අනිත්‍ය වඩා පුරුදු පුහුණු වන්නට අවශ්‍යයයි. බුද්ධ දේශනාව අන්ධභාවයෙන් තොරව අප අවබෝධකර ගතයුතු වේ.

නිතරම කුසල් රැස්කළ පුද්ගලයකුට අවසාන මොහොතේ දී නොසන්සුන් සිතිවිලි පැමිණියහොත් කුමන තත්ත්වයක් උදාවේ ද?

මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේගේ ගිහි කල ළඟම ඥාතියෙකි. සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රණීතම දන් දෙන්නන් අතර අග්‍ර ශාවක තනතුරු ලැබුවේ මහානාම ශාක්‍යයයි. එතුමන් තරම් ප්‍රණීතව දන් පිරිනමන්නට අනේ පිඬු සිටුතුමාටත් නොහැකියි. විශාකාවටත් නොහැකියි. සමස්ත ශාසනයේ උපාසක උපාසිකා අතරින් මෙලෙස ප්‍රණීත ලෙස දන් පිරි නමනුයේ මහානාම ශාක්‍යය පමණි.

 නොසන්සුන් මොහොතක මිය ගියොත්

 දිනක් මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසනවා.

“මම උදේ ඉඳන් සවස් වනතුරු ධර්මය තුළ ජීවත් වෙනවා. සවස කිඹුල්වත්පුරයට ගමන් කරද්දී නොසන්සුන් මිනිසුන්, නොසන්සුන් අශ්වයන්, අලි දකිනවා. ඒ අවස්ථාවේදී මගේ හිතත් නොසන්සුන්. එවැනි මොහොතක මා මිය ගියහොත් මගේ ඊළඟ ජීවිතය කුමක් වේ ද?

මහානාම ඔබ බිය නොවන්න. ඔබ නොසන්සුන් සිතෙන් මිය ගියත් කිසිදාක ඔබ දුගතියට යන්නේ නැහැ. මෙලෙස බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යයන්ට විශ්වසනීය සහතිකයක් ලබා දෙනවා. මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේව පළමු දැක්මෙන්ම සෝවාන් පලයට පත්වූවෙකි.

සෝවාන් වූවකු තුළත් කාම, රාග, පටිඝ තිබෙනවා. එබැවින් නොසන්සුන් පිරිසක් අතර ඔහුත් සන්සුන් නොවන්නට පුළුවන්. එහෙත් හිත නොසන්සුන් වූවත් මිය යන වෙලාවේ පංච උපාදානස්කන්ධය, අනිත්‍යභාවය දැක තිබෙන අයෙක් නිසා නොසන්සුන් සිත තුළින් අනිත්‍ය සංඥාව මතුකර ගන්නට හැකියි.

 බලන්න, මේ නිදසුන දෙස

 සමතලා එක් ක්‍රීඩාංගණයක් තිබෙනවා. යමෙක් එහි තිරිවානා ගල් අතුරා එහි මැද නිල් මැණිකක් තබනවා. කිසිවකුගේ ඇස් බැඳ මෙතනට ගෙන ඇවිත් ඇස් බැන්ඳුම දිග හරී නම් පළමුවෙන්ම ඔහු දකිනුයේ අර නිල් මාණික්‍යයයි.

මේ ක්‍රීඩාංගනයටම සිරකරුවන් දහසක් ගෙන එනවා. ඔටුණු පැලඳි රාජ ආභරණවලින් සැරසූ රාජ කුමාරයෙකුත් මෙතනට ගෙන එනවා. දැන් ක්‍රීඩාංගණයට එන ඇස් ඇති පුද්ගලයන් මුලින්ම දකින්නේ සිරකරුවෝ නොව රාජකුමාරයායි.

මේ කතාවේ ඇස් ඇති පුද්ගලයා ලෙස නම් කරන්නේ ප්‍රඥාවේ ඇස ඇති පුද්ගලයායි.

ප්‍රඥාවේ ඇස ඇත්තේ සෝවාන් ඵලයට පත්වූවන්වයි.

 සුගතිගාමී වන්නට නම්

 බුදුරජාණන් වහ්නසේ මේ උපමා කතාවෙන් අපට ලබාදුන් උපදෙස නම් ධර්මය දෙස අන්ධභාවයෙන් නොබලන ලෙසටත්, ධර්මය හරිහැටි අවබෝධ කරගත් තැනැත්තා එලොවත්, මෙලොවත් සුගතිගාමී වන බවත් ය.

සම්මා සම්බුදු ශාසනයේ විශේෂිතම වූ පුණ්‍ය කර්මය සිදු කරන්නේ කොසොල් රජතුමන්ගේ බිරිය මල්ලිකා දේවියයි. අසි දිසි දානය පිරිනමන්නේ ඇයයි. අසි දිසි දානයට බුදුරජාණන් වහන්සේ ඇතුªළු රහතුන් වහන්සේලා පන්සියයක් වැඩ සිටී. ඇතුන් පන්සීයයයි. රාජ්‍ය කන්‍යාවියන් පන්සීයයයි. මුතු කුඩ පන්සීයයක් පූජා කරයි. එදා භාරතයේ ධනය කෝටි ගණනක් මේ දානය සඳහා වැයවූවා. මෙලෙස මහා අසි දිසි දානයක් පූජා කළ මල්ලිකා දේවියගේ සිතත් මිය යන මොහොතේ දී නොසන්සුන් වූවා. එතුමිය සෝවාන් ඵලයට පත් නොවූයෙන් තිරිසන් කුලයක උපත ලැබුවා.

සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයාට පමණයි අවසන් මොහොතේ දී කුමන සිතක් පහළ වූවත් සුගතිගාමී විය හැකි වන්නේ.

තැවෙන සිතෙන් මියැදුණොත් භයානකයි

 දිනක් දඹදිව දෙසට ගමන් කළ බුදුරජාණන් වහන්සේ සර්පයකු දැක ආනන්ද තෙරුන්ට කියා සිටියේ ආනන්ද මේ සර්පයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූ අදක්ෂ භික්ෂුවක් . එකල පරමායුෂ අවුරුදු විසිදාහයි. මේ අවුරුදු විසිදාහ තුළම මේ හාමුදුරුවෝ උපසම්පදා භික්ෂුවක් ලෙස ප්‍රාතිමෝක්ෂ සීලය ඇස් දෙකට වඩා ආරක්ෂා කළ අයෙක්. එහෙත් දිනක් බෝට්ටුවකින් ගමන් කළ උන්වහන්සේ අනතුරකට ලක්වන්නට යාමේ දී ගසක අත්තක එල්ලීමෙන් එහි කොළයක් කැඩුණි. උපසම්පදා භික්ෂුවට එය මහා වරදකි. තවත් උපසම්පදා භික්ෂුවක වෙත ගොස් එය කමා කරගත යුතුයි. නමුත් එවැනි භික්ෂුවක් හමු නොවුණු නිසා.

තැවෙන නොසන්සුන් සිතෙන් රාත්‍රිය ගත කළ මේ භික්ෂුව එදින අපවත් වන්නට වූහ. අවුරුදු විසිදාහක් සීලය රැකි මුත් සෝවාන් ඵලයට පත්නොවී සිටි බැවින් එම භික්ෂුව සතර අපායේ උපත ලැබීය.

පින්වතුනි, අපි නිතරම තමන් තමන් ගැන අවබෝධයෙන් ජීවත් වන්නට ඕනේ. තමන්ගේ වටපිටාව, තත්ත්වය මේ සියල්ලෙහි අවබෝධය ඕනෑම තැනක ජීවත්වන්නට පහසුකරනවා. මෙලොව පමණක් නොව පරලොව සුගතිගාමී වන්නට ද එය ප්‍රයෝජනවත්.

ධර්මය දෙස ප්‍රඥාවෙන් බලන තැනැත්තාට මේ සියල්ල මැනවින් වැටහෙනවා.

ධර්මය ධර්මානුකූලව වටහා ගන්න. පින්වත් ඔබට සමාජය මොන දේ කළත්, කීවත් ඔබ සිහිනුවණින් නම් සියල්ල ජයගත හැකියි.

  

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරිනි.

798 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 12, සඳුදා 11:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න