තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 12, සඳුදා 11:19

ආදරවන්තයන්ගේ දිනය කාමාස්වාදය ලබන්නට නොවේ

Written by 
අගයන්න
(1 මනාපය)
අද පෙබරවාරි 14 වැනිදා ය. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනයයි. මේ දිනය සමරන්න පෙම්වතුන්.. පෙම්වතියන් නොතිත් ආසාවෙන් පෙරමඟ බලා සිටින බව අපි දනිමු.

 

 

ජීවිතයේ විවිධ අවස්ථාවන් සැමරීමේ වරදක් නැත. වැඩිහිටි දිනය, ළමා දිනය, මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, සුදු සැරයටි දිනය, ඒඩ්ස් දිනය, දියවැඩියා දිනය මේ ආදී වශයෙන් එකී මෙකී නොකී විශේෂ දින අතරට වර්ෂ කිහිපයකට පෙර එක් වූ මේ ආදරවන්තයින්ගේ දිනය වර්තමානයේ දී අතිශය වෙළෙඳ ආකර්ෂණයක් දිනා ගත් සැමරුම් අතර සුවිශේෂීම දිනය බවට පත්ව හමාරය.

දිනයෙහි වරදක් නැතත් සමහරු එය සමරන ආකාරය අහන, දකින විට වැඩිහිටි අපට දැනෙන්නේ නම් මහත් අපුලයකි.

මක් නිසා ද දෙමාපිය සෙවණේ හිඳිමින් ඔවුන්ගෙන් යැපෙන පාසල් වියේ පසුවන යොවුන් දරුවන් මේ අතරින් කැපී පෙනේ.

එදිනට කොළඹ විහාර මහාදේවි උද්‍යානයට, චිත්‍රපට ශාලාවට, මුහුදු වෙරළෙහි අතිනත පටලවා ගෙන පෙමින් වෙළී සිටිනා සමහර පෙම්වතුන්ගේ කටේ කිරි සුවඳවත් ගිලිහී නොගිය තරමටම ළාබාල වියේ පසුවන්නන් බව දකින විට හදවත දවාලනු දැනේ.

අනේ අපොයි කියා සිතෙන වාර අනන්තය.

 

“ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
ඔබ දුන්නු දුක හොඳටම ඇති”

 

ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේගේ හඬින් ගැයෙන ඉහත ගීතය ඔබට සුපුරුදු උසස් රසවින්දනයකින් යුත් ගී පද මාලාවකි.

පේ‍්‍රම කරන්නන් වාලේ ප්‍රේම කරන්නට යන හැමට අත්වන ඛේදනීය ඉරණම මේ පැදි පෙළෙන් කදිමට ඉස්මතු වෙයි.

හැම කෙනෙකුටම හැම දෙයක්ම කරන්නට කාලයක් ඇත. ඒ ඒ දේවල් ඒ ඒ කාලයට කියලා කියමනක් ඔබත් අහල ඇති.

බිළිඳු, ළමා අවදියේ දී මවුපියන්ගෙන් පෝෂණය වන දරුවන් දෙවනුව ඉගෙනුම කෙරෙහි සිත වඩාත් නැඹුරු කළයුතුය. ඉගෙනගන්න කාලයට ඉගෙන නොගෙන පෙම් කරන්නට යෑමෙන් “ආදරය සුන්දර වරදක්” ලෙස ඔබට යම් දිනෙක දැනෙන හැඟීම නොවැළැක්විය හැක්කකි.

එවිට සියල්ල සිදු වී හමාරය. පාසල් වියේ ප්‍රේමයට ඉඩදීම නැතිනම් පළමු තැන ලබාදීම නිසා කෙතෙකුත් නම් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වී ඇද්ද? සුදුසු

කල්හී පෙම් කිරීම වරදක් නොවේ.

එහෙත් එයට කාලයක් ඇත. පාසල් වියේ අමතර පන්ති යනවා කියා පෙම් කරන්නට යෑමෙන් සිදුවන්නේ ජීවිතය අඳුරට වැටීමට ය. විශේෂයෙන්ම අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උසස් පෙළ ඉගෙනුම ලබන දුවල, පුතාලා මේ බව හොඳින්ම සිතට ගතයුතුය. ප්‍රේම කරන්නට ඕනෑතරම් කාලයක් ඇත.

පෙම්වතකුගේ, පෙම්වතියකගේ අති’නත පටලාගෙන යාමට තුරුළුව ආදර බස් දොඩන්නට කාලය ඕනෑ තරම් තිබේ. එහෙත් පාසල් අධ්‍යාපනය ලබන්නට ඇත්තේ සීමා සහිත කාලයකි.

ඒ කාලය ජීවිතයේ අතිශයින්ම වැදගත් කාලයකි.

කිසිදු වගකීමක් වටිනාකමක් නොමැති ක්‍රියා වෙනුවෙන් තත්පරයක්වත් වෙන් නොකිරීමට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දූලා පුතාලා හිතට ගතයුතුම වෙනවා.

මවුපියන් ද දරුවන් ඇසුරු කරන්නේ කවුරුන් ද ඔවුන් කරන්නේ කුමක් ද යන්න විශේෂ අවධානයකින් සිටිය යුතුමයි. විශේෂයෙන්ම යොවුන් වියේ දරුවෝ සිටින මවුවරුන්. පෙබරවාරි 14 වැනිදාට තමන්ගේ දුව, පුතා ඉන්නේ කොහෙද? කවුරුන් සමඟ ද ? මොනවා ද කරන්නේ? යන්න ගැන හොඳින් සොයා බැලිය යුතුය.

මක් නිසාද අමතර පන්ති මහා පරිමාණයෙන් පැවැත්වෙන ජනාකීර්ණ ප්‍රදේශවල ඇති හෝටල් කාමර එකක්වත් හිස් නොමැති තරමටම ජ්භතත වන දිනය බවට ආදරවන්තයින්ගේ දිනය පත්වී ඇති හෙයිනි.

පෙර දවසේ අති’නත පටලවා ගෙන මුහුදු වෙරළේ... උද්‍යානයේ.. පෙම්බස් දොඩවමින් ගතකළ සුන්දර අතීතය වෙනුවට අද දකින්නේ ඇටෙන් පොත්තෙන් යන්නටත් පෙරම පෙම්බස් දොඩන්නට හෝටල් කාමරයකට රිංගාගැනීමය.

ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඒවායේ නිතර දකින අසැබි වීඩියෝ නරඹා, ඔද්දල් වූ මනසින් සිටිනා ඔහුට ආදරවන්තයන්ගේ දිනය යනු සුන්දරතම දිනය වියහැකියි.

තම පෙම්වතිය සමඟ ඒ සියල්ල ප්‍රායෝගිකව අත්හදා බලන්නට මේ දිනය තරම් දිනයක් තවත් නැතැයි ඔවුනට සිතිය හැකිය.

එහෙත් දුවේ, පුතේ පුංචි වුණත්... ලොකු වුණත් තවත් කෙනෙකුගේ ජීවිතය අඳුරට ඇද දමන දෙයක් කිසිම මොහොතක නොකරන්නට අදිටන් කරගන්න.

වරදක් වූ විට එය නිවැරැදි කරන්න තරමක් අසීරුය.

නොතේරෙන කාලයේ පෙම් කරන්නට ගොස් ජීවිතය වරද්දා ගත් කල මවුපියන්ට, ගුරුවරුන්ට දොස් කීමෙන් ඵලක් නැත.

තමන්ගේ ජීවිතය අන් කවරෙකුටත් වඩා වටින්නේ ඔබටය.

නැතිනම් තමාටමය. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට ඉඩදී තීන්දු තීරණ ගතයුතුම වේ.

පසුගිය දවසක අප කළ සමීක්ෂණයකදී හෙළි වූයේ මහමඟට ඇද වැටුණු බොහෝ ළඳුන්ගේ කතාන්දරයේ සැඟවී තිබූ කාරණයක් වූයේ පාසල් වියේ පෙම්වතුන් ඇසුරු කරන්නට යාමෙන් තාරුණ්‍ය විනාශයට ලක්වීමට විශාල හේතුවක් වූ බවයි. නොතේරෙන වයසේ ආදරය කරන්නට යාමෙන් ජීවිතය වරද්දාගත් බවය.

 

 එනිසා දුවේ, පුතේ මේ වැරදුණු ජීවිත කතාවලින් අපි අපගේ ජීවිත හරි පාරට දමාගන්න පාලමක් කරගනිමු. මෙවර ආදරවන්තයින්ගේ දිනයේ දී ඔබට ඔබේ පෙම්වතා හෝටල් කාමරයක තනිවෙන්නට ආරාධනා කළහොත් හදවතින් නොව බුද්ධියෙන් තීරණයක් ගෙන එය ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔබ ඥානාන්විත විය යුතුය. ඔබ එසේ ගන්නා තීරණය අනාගතය ඒකාලෝක කරන්නට වැදගත් වනු ඇත.

1759 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 12, සඳුදා 11:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න