තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 12, සඳුදා 15:13

අවස්ථා ඔබ වෙත එන්නේ වෙස් වළාගෙනයි

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
හඳුනා නො ගත්තොත් ඔබ හැමදාමත් පරාදයි     සාර්ථකත්‍වය ගැන කතා කරද්දී කතා නොකරම බැරි ඉතා වැදගත් කරුණක් වන්නේ “අවස්ථාව” හඳුනා ගැනීමයි. ලෝකයේ සිටින ඉතා සුළු පිරිසක් සාර්ථකත්‍වයේ හිනි පෙත්තටම පිවිසෙද්දී බහුතරයක් දෙනා අසාර්ථකත්‍වයේ ප‍‍්‍රතිමූර්තීන් බවට පත්වී සිටින්නේ මෙම අවස්ථාව හරිහැටි හඳුනා ගැනීමට නො හැකිවීම නිසාවෙනි.

 

බොහෝ දෙනා කරන්නේ මෙම අවස්ථාව නමැති ශ‍‍්‍රියා කාන්තාව තමන් වෙතට එනතුරු බලා සිටීමයි. නමුත් කිසිදා එසේ සිදුවන්නේ නැත. අප විසින්ම අවස්ථාව හඳුනාගත යුතුයි. අප වටා ඕනෑතරම් අවස්ථා තිබේ. නමුත්, අවාසනාවක මහත වන්නේ අපි එම අවස්ථාවන් හඳුනා නොගැනීමයි. වරෙක ජෝර්ජ් එලියට් නම් වූ මහා ගත්කරු මෙසේ පවසා ඇත. “ජීවන ගංගාවේ රන්වන් අවස්ථා අප පසුකර ඉදිරියට ඇදී යයි. නමුත්, වැලි හැර අන් කිසිවක් අපි නො දනිමු. දේවදූතයෝ අප කරා එති. නමුත්, අප ඔවුන් දකින්නේ ඔවුන් පිටත්ව ගිය පසුවය. විසිවැනි සියවසේ අමෙරිකානුවන් පවසන පරිදි ජයකණුවට යන මඟ දෙපස අත්හැරුණු අවස්ථාවලින් හැඩි වී ඇත.”

 

මාජරීගේ කතාව

 

මේ සඳහා කදිම උදාහරණයක්  Denis Waitley  හා Reni L. Witley  විසින් රචිත The Joy of Working  නමැති ග‍‍්‍රන්ථයේ සඳහන් වේ. ඇය මාජරී එස්. නම් වූවාය. කුඩා නිෂ්පාදන සමාගමක ඉතා හොඳ රැකියාවක් ඇයට ලැබුණි. කෙසේ වෙතත් දිනක් සිය රාජකාරී සීමාවෙන් බාහිර වූ යම් කටයුත්තක් කරන ලෙස අධීක්‍ෂණ නිලධාරියා විසින් ඇයට නියම කරන ලදී. නමුත්, ඇය එම කටයුත්ත ඉටු කිරීම ප‍‍්‍රතික්‍ෂේප කළාය.

ටික දිනකට පසුව වෙනත් දෙපාර්තමේන්තුවක වැඩ කළ සහෝදර සේවකයෙක් තමා වැඩ කරන තැන වැඩ කරන්නට කැමැතිදැයි මාජරීගෙන් ඇසුවේය. ඇය එය ද ප‍‍්‍රතික්‍ෂ්ප කළාය. වැටුප් වැඩිවීමක් හා නව තනතුරක් ලැබෙන තෙක් තමාට නියමිත කාර්යය හැර වෙනත් කිසිවක් කිරීමට ඈ අකැමැති වූවාය. තමාට ලැබෙන අවස්ථා ඈ හඳුනා ගත්තේ නැත. නව කාර්යයන් භාරගෙන ඒවා හොඳීන් ඉටු කළේ නම් වැටුප් වැඩිවීම් හා වඩා හොඳ තනතුරක් ඉල්ලා සිටීමට සුදුසු තත්ත්වයක ඇය සිටියාය. නමුත්, ඈ එසේ සිදුකළේ නැත.

මේ අනුව කළමනාකාරීත්‍වයට පෙනී ගියේ ඇය කිසි කාර්යයකට උද්‍යෝගය නො දක්වන හා කැමැති නොවන කෙනකු ලෙසිනි. බොහෝ දෙනෙක්ට මෙම අවස්ථාව හඳුනා ගැනීමට නො හැකිව තිබෙන්නේ බොහෝවිට එය අප වෙත පැමිණෙන්නේ අවාසනාවක්, පරාජයක් හෝ ප‍‍්‍රතික්ෂේප වීමක් ලෙස වෙස් වළාගෙන වීමයි. එනම් අවස්ථාව යනු වෙස් වළාගත් ආශීර්වාදයකි.

 

එඩ්වින් බාර්න්ස්ගේ කතාව

 මේ සඳහා තවත් කදිම නිදසුනක් ලෙස එඩ්වින් සී. බාර්න්ස්ගේ කතාව ගත හැකියි. එවකට බාර්ස්න්ගේ එකම අරමුණ වුණේ කවදාහරි දවසක ලෝකයේ මහා නිර්මාණකරු ලෙස සලකන තෝමස් අල්වා එඩිසන් සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනංවා ගැනීමයි.

තවද, ඔහුට අවශ්‍ය වුණේ එඩිසන් වෙනුවෙන් නොව එඩිසන් සමඟ වැඩ කිරීමටයි. කෙසේ හෝ එඩිසන්ගේ රසායනාගාරයේ රැකියාවක් ලබා ගැනීමට එඩ්වින් බාර්න්ස් සමත් වෙනවා. බාර්න්ස්ට ලැබෙන්නේ අවම වැටුපක් සහිත කාර්යාල සේවකයකුගේ තනතුරයි. නමුත්, එඩිසන් සමඟ ව්‍යාපාරික සබඳතා ගොඩනංවා ගැනීමට මෙය කිසිසේත් ප‍‍්‍රමාණවත් වන්නේ නෑ. එය එඩිසන් හා සසඳන විට අහසට පොළොව මෙන් විය. නමුත්, බාර්න්ස් නොවේ කිසිවිටෙකත් අධෛර්යයට පත්වූයේ. ඔහු නිතරම සිතුවේ කෙසේ හෝ තම අරමුණ කරා ළඟාවිය හැකි බවයි.

බාර්න්ස් තමාගේ අරමුණ කරා ළඟා වීමට කරුණු තුනක් කෙරෙහි සිය අවධානය යොමු කරනවා. ඉන් එකක් වන්නේ තම කාර්යාල සගයින් සමඟ කරට කර වැඩ කරමින් එම කාර්යයන් වඩා කාර්යක්‍ෂම ලෙස සිදුකරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමයි. දෙවැනි කරුණ වන්නේ එඩිසන්ගේ යන්ත‍‍්‍රාගාරයේ ඇති විවිධ වූ රැකියාවන්ට අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. තෙවැනි කරුණ නම් බාර්න්ස් තම ඉලක්කය වන එඩිසන්ගේ ව්‍යාපාරයට සම්බන්ධවීම පිළිබඳ සෑම දිනකම සිය මනසින් සටහන් කරමින් චිත්තරූප මැවීමයි. කෙසේ හෝ එඩිසන්ගේ වෙළෙඳ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් බාර්න්ස්ට අවස්ථාව උදා වෙනවා. “එඩිසන් ඩික්ටේටින් මැෂින්” නමින් එඩිසන් මහතා විසින් නවමු ආකාරයේ කාර්යාල උපකරණයක් නිර්මාණය කරන්නේ මේ අවධියේය. නමුත් එඩිසන්ගේ වෙළෙඳ කාර්ය මණ්ඩලයේ විශ්වාසය වූයේ මෙම උපකරණය කිසිසේත් අලෙවි කළ නොහැකි එකක් ලෙසයි.

මෙම මෙවලම අලෙවි කිරීමට ඉඩ ප‍‍්‍රස්ථා ඇති බවට විශ්වාස කළ එඩිසන්ගේ කාර්ය මණ්ඩලයේ සිටි එකම සේවකයා වූයේ බාර්න්ස් පමණි. අවසානයේ සිදුවූයේ කුමක් ද? මෙම මෙවලම විකිණීමේ පූර්ණ අධිකාරිය බාර්න්ස් වෙතට පැවරීමට එඩිසන් කටයුතු කිරීමයි. බාර්න්ස් සාර්ථක විය. ඔහු කෙතරම් හොඳීන් එම උපකරණය විකිණීමේ කටයුත්ත කළේදැයි පවසනවා නම් මුළු අමෙරිකාව පුරාම එම භාණ්ඩය බෙදා හැරීමේ හා අලෙවි කිරීමේ තනි අයිතිය එඩිසන් විසින් බාර්න්ස්ට පවරනවා. බාර්න්ස් තම ඉලක්කය ජය ගන්නවා. ඔහු එඩිසන්ගේ ව්‍යාපාරයේ කොටස් කරුවකු බවට පත්වෙනවා.

දැන් ඔබට වැටහෙනවා නේද අවස්ථා කියන දේ කිසිවිටෙකත් රත්තරන් බන්දේසියක තබා ඔබ වෙත නො පැමිණෙන බව. තවද, එම අවස්ථා අප වෙත පැමිණෙන්නේ වෙස් වළාගෙන බව. එබැවින් ඔබත් ඔබ වටා ඇති අවස්ථාවන් පිළිබඳ සාවධානව සිටින්න. එම අවස්ථා අල්ලා ගන්න. එවිට ඔබගේ සාර්ථකත්‍වය වැළැක්වීමට කිසිවකුට නොහැකියි. ඔබට ජය නියතයි!

 (පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

556 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න