තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 12, සඳුදා 15:23

සංහිඳියාවේ ගුණ සුවඳ මතු දිනටත්...

Written by 
අගයන්න
(1 මනාපය)
තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් අවසන් විය. කාන්තාවන්ගේ විමුක්තිය සැමරෙන මෙවර කාන්තා දිනය ලංකාව පුරාම ජයට පවත්වන්නට ලකලැහැස්ති වුවත් රටේ පැවැති කලහකාරී තත්ත්වය නිසාවෙන් පැවැත්වීමට නියමිතව තිබූ බොහෝ උත්සව යටපත් වී ගියේ ය. එක්තරා සිදුවීමක් නිසාවෙන් නොවිය යුත්තක් රටේ සිදු වී තිබුණි.

 

 

ශ්‍රී ලාංකිකයන් වන අප ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියූවද ඒ සුන්දර අතීත කතාවේ අඳුරෙන් ලියැවුණු පරිච්ඡේද බොහෝය.

විවිධ විදේශීය ආක්‍රමණ, දුටුගැමුණු එළාර යුද්ධය, 1818 උඩරට කැරැල්ල සහ තිස් අවුරුද්දක් පුරා පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදී අරගලය සිහිපත් කරද්දි අප හදවතට දැනුදු නැඟෙන්නේ සංවේග ජනක හැඟීමකි.

1818 උඩරට කැරැල්ලේදී අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්නට වූයේ කාන්තාවන්ට බව අපි දනිමු.

තම ඇකයේ කිරි උරා බොමින් සිටි බිළිඳා ඇද දමා මවුවරු ඝාතනය කරද්දී, ගෙවල් දොරවල් ගිනිබත් කරමින් සියලු දේපල විනාශ කරද්දී, මහකැලේ සැඟවී ජීවිත බේරාගැනීමට සටන් කරද්දී මහමෙර මෙන් දරා සිටි ශක්තිය ඇයයි.

අපට ආසන්නතම බිහිසුණු යුදමය මතකය ත්‍රස්තවාදී අරගලයයි. තිස් වසරක් පුරා ජීවිත දස දහස් ගණනක් අහිමි කරමින් අපට ඉතිරි වූයේ කඳුළක්ම පමණක් නොවේද? ත්‍රස්තවාදී යුද්ධයෙන් සිංහල, දමිළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව ලාංකික සියලුම අම්මාවරුන්, බිරින්ඳෑවරුන්, දියණියන්, සොහොයුරියන්, මිතුරියන් හැඬූ කඳුළෙන් ගතකළ යුගයක් විය. අම්මාවරුන්ට අහිමි වූයේ පුතුන්ය.

බිරින්ඳෑවරුන්ට සැමියන්ය. සොහොයුරියන්ට සොහොයුරන්ය.

මිතුරියන්ට මිතුරන්ය. බහුතර කාන්තාවන් වැන්ඳඹු කරමින් මිනිස් දූ පුතුන් රටට අහිමි කළ ඒ මහා අරගලය නිසා තවමත් හඬා වැළපෙන, කඳුළු බොන පිරිස මොනතරම් නම් වේද?

අප දෙකොපුල්වල ඒ කඳුළු වියැකෙන්නටත් පෙරම තවත් කඳුළු කතාවකට පාර කපන්නට අරඅඳින වර්තමානයේ ඇතැම් පිරිස් දෙස අප කෙසේ බලාසිටින්න ද? මෙය ජාතියේම අවාසානාවකි.

සිංහල, දමිළ, මුස්ලිම්, මේ අප කොයි කවුරුත් උපන් නිජබිම ශ්‍රී ලංකාවයි. මේ මහ පොළොවේ ඉපදී හැදී වැඩුණ අපි එක ලක්මවකගේ දරුවෝ වෙමු. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සැවොම සමගියෙන් සහජීවනයෙන් එක්ව ජීවත් විය යුතුය. අතීතය පුරා විවිධ ගැටුම් ඇති වුවද රට වැසියන් ලෙස අපි සැමදා එකට සිටි බව ඔබට අමතක ද? ඉතිහාසය පුරාම අප රටක් ලෙස අයිතිවාසිකම් දිනාගත්තේ අනෙක් ජාතීන් සමඟ සහෝදරත්වයෙන් බව කෙසේ අමතක කරලන්නද? තිස් වසරක යුද්ධය නිම වූ පසු බයෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය හිමි වූයේ සිංහල ජාතියට පමණක් ද ? නැත සොහොයුරනි, මේ රට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදීමේ නිදහස ජාති භේදයකින් තොරව ලක්වැසි සැවොම භුක්ති වින්ඳහ.

ශ්‍රී ලාංකිකයන් ලෙස මේ රටේ සියලුම වරප්‍රසාද ලබමින් සතුටෙන් සැපෙන් ජීවත්වීමේ අයිතිය අප සැමටම සමසේ ලැබුණි. අපේ ක්‍රිකට් කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළ විට සිංහල, මුස්ලිම්, දමිළ භේදයකින් තොරව අප සැවොම සතුටු වන්නේ හදවතින්ම අපි ශ්‍රී ලාංකිකයන් වන නිසාය. විවිධ කාලවලදී රටේ ඇතිවන විපත්වලදී පිහිටට ඉදිරිපත්වන්නේ ජාති, ආගම් කුල භේද නොසලකමිනි.

සාමලා, අමරලා, ෆාතිමාලා, මොහොමඩ්ලා, වගේම පාර්වතීලා, මහේන්ද්‍රන්ලාත් සමගියෙන්, සහජීවනයෙන් හිටි හැටි පුංචි කාලයේ මවුබස පෙළ පොතේ තිබූ හැටි තවමත් අපට මතකය. මේ පුංචි මුතුකැටය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ජාතීන් අතර සහෝදරත්වයෙන් ජීවත් වන්නේ අප සැවොම ශ්‍රී ලාංකිකයන් නිසාය.

පෙරදා සවස් යාමයේ ආගිය විස්තර කතා කරමින් එක තේ කෝප්පය බෙදා බිවු සිරිමල්ටත්, අහමඩ්ටත් සිදුවූයේ කුමක් ද? දෙදෙනාට දෙදෙනා එරෙහි වන්නට තරම් කුරිරු සිත් පහළ වූයේ දැයි ප්‍රශ්නාර්ථයකි.

සිංහල අලුත් අවුරුද්දට සිරිමල්ගේ නිවෙසින් අහමඩ්ගේ නිවෙසට කැවිලි පිඟානක් රැගෙන ගියේත්, මුස්ලිම් අවුරුදු දා අහමඩ්ගේ නිවෙසින් සිරිමල්ගේ නිවෙසට සවානක් සමඟ වටලප්පන් පංගුව ලැබුණේත් ඒ තිබූ සහෝදරත්වයට නොවේද? මේ සා බැඳීමක් මේ එක් සිදුවීමක් නිසා බිඳදැමිය හැකිද?

ජාතියේ නාමයෙන්, අම්මාවරුන්ගේ නාමයෙන් මේ ගැටුම දුරදිග ගෙනියන්නට එපා. එකිනෙකා දෙස සහෝදරත්වයේ දෑස් දල්වා ගනිමු.

මේ විනාශ වන්නේ අපේ සමාජයයි. අප ජීවත්වන සමාජයයි. මේ ගැටුම් දුරදිග යෑමෙන් සිදුවන්නේ අපේ අනාගත පරපුරට ද මේ වෛරය, ගැටුම පැතිරී යාමයි. ගැටුම්වලින් ලැබෙන දෙයක් නැත.

ලබාගත් දෙයක් ද නැත. එනිසා අපගේ මනුස්සකම් විනාශ කර දෙන පසුබිමක් ඇති නොවන්නට සියලුම දෙනා ජාති ආගම් භේදයකින් තොරව එකට එක්වෙමු.

වර්ග වාදී හැඟීම්, වෛරී සිතුවිලිවලින් කා දෙසවත් නොබලන්න.

සිත් තුළ තිබෙන වෛරී සිතිවිලි විසිකර දමන්න.

අප සැමටම ඇත්තේ එකම සිහින සහ බලාපොරොත්තුය. ඒ සිහින, බලාපොරොත්තුවලට ජාති, වර්ණ, කුල භේදයක් නැත.

ඒ සිහින, බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්වන්නේ එකම ආකාරයටය. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ සඳහා එකට අත්වැල් බැඳගනිමු.

මේ මොහොතේ දී ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත අම්මාවරුන්ට, බිරින්ඳෑවරුන්ට, සහෝදරියන්ට, මිතුරියන්ට විශාල කාර්යභාරයක් කළහැකිය. ඔබ ඔබේ සමීපතමයන්ට මේ තත්ත්වය කාරුණිකව, හදවතට දැනෙන අයුරින් පහදා දෙන්න.

මේ මුල පුරන්නට සූදැනම් වන්නේ මවුවරුන්ට පුතුන්ද, බිරින්ඳෑවරුන්ට සැමියන් ද සහෝදරියන්ට සහෝදරයන්ද, දූ පුතුන්ට පියවරුන්ද අහිමි කිරීමේ ගැටුමකටය. මල් වැනි දරුපැටවුන් අපට පණ හා සමානය.

අවසානයේ පීඩා විඳින්නේ මේ පුංචි මල් කැකුළුය.

වැන්ඳඹු වන්නේ ස්ත්‍රීන්මය. එනිසා මේ මොහොතේ හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්න. දරුවන්ට සාමයෙන් පිරි සමාජයක් සාදා දීම වැඩිහිටි ඔබ අපගේ පරම වගකීමකි.

ජාතික සමගිය වනසන ජාතිවාදී ගැටුමකට අර අඳින වටපිටාවක් සකස් නොවන සේ හැසිරීමට වගබලාගැනීම අද දවසේ අප සැමගේ යුතුකමය.

ලක්මව් පොළොවේ ඉපදී හැදී වැඩුණු සිංහල, දමිළ, මුස්ලිම් අප සැමගේ සහෝදර බැම්ම පළුදු වන්නට මෙවැනි පුංචි ආරෝවකට කෙසේවත් ඉඩ නොතබමු.

තරුණී පුවත්පත මුද්‍රණයෙන් පිටව ඔබ අතට පත්වන දිනය වන විට මෙම ගැටුම නිමවී මහනුවර දිස්ත්‍රික්කයේ වැසියන් පමණක් නොව ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි හැම මුහුණකම සිනහරැලි දක්නට ලැබීම අපගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.

1217 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න