තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 09, සඳුදා 12:59

අවුරුදු චාරිත්‍රවල ඇති අධ්‍යාත්මික බලය හරිම ප්‍රබලයි

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
සම්ප්‍රදායිකව පවුල කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූ අලුත් අවුරුද්ද වර්තමාන සමාජයෙන් බැහැර වෙමින් පවතී. පීතෘ මූලික සමාජයක් වටා බිහිවූ සිංහල සමාජ සංස්කෘතියේ කාන්තාවට දක්වන ගෞරවය වඩාත් අර්ථවත් කරන උත්සවයක් ලෙසින් අලුත් අවුරුද්ද පිළිගනියි.

 

ආදරණීය මව වටා ගෙතුණු පවුල් කුඩුම්බිය තුළ බැඳීම හා ළෙන්ගතුකම වැඩි දියුණුවන දිනයක් ලෙසින් ද මෙය අපට වඩාත් වැදගත්ය.

මේ මහා සංස්කෘතික බැඳීම වර්තමාන සමාජයට කියාදීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙන යුගයක එය අර්ථාන්විත ලෙසින් විග්‍රහ කිරීම තරමක් අසීරු කටයුත්තකි. මේ මහා අභියෝගය වෙනුවෙන් මහත් මෙහෙවරක් සිදුකරන කෝරළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක, නිට්ටඹුව හා දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපති කොටගම වාචිස්සර හිමියන් දැක්වූයේ වටිනා උපදේශයකි.

“ලෝකයේ ඕනෑම ජාතියකට, ආගමකට තමුන්ට අයත් සමාජය තුළ අවුරුදු කියලා ගොඩනඟා ගත් සංස්කෘයක් තිබෙනවා. මේ අවුරුදු උත්සවය ඒ ඒ ජාතීන්, ආගම් විවිධ අයුරින් සමරනවා.

සමහරු එදින බොහොම සතුටුවන දවසක්. ඇතැමුන් ආගමික චාරිත්‍ර සිදුකරනවා. ලෝකයේ සෑම කෙනෙක්ම මෙලෙසින් විවිධාකාර ලෙස අවුරුද්ද සැමරීමට පෙළ ගැසී සිටිනවා. ඒ අතුරින් අපගේ සිංහල අලුත් අවුරුද්ද මේ සෑම උත්සවයකටම වඩා වෙනස් අර්ථාන්විත උත්සවයක්. මෙය සොබා දහම හා බැඳී සංස්කෘතික උත්සවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බක්මහ ලබනකොට ගස්වැල් මල් පිපිලා. ගෙඩි හැදිලා. මුළු පරිසරයම ඒ සඳහා සූදානම් වෙන්නෙන් හරිම පුදුමාකාර ලෙසින්.

එදා අපේ පැරැන්නෝ අලුත් අවුරුද්ද සැමරුවේ තමුන්ගේ ආගම, දහමට මුල් තැන දෙමින්. දැන් ඒ තත්ත්වය බොහෝ දුරට සමාජයෙන් ඈත්වෙමින් පවතිනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි සමාජය අද ලෞකික පැත්තට නැඹුරුවීම වැඩිවෙලා. ඔවුන් අවුරුද්ද දකින්නෙත් කා බී සතුටුවෙන දවසක් ලෙසයි.

සිංහල අලුත් අවුරුද්දේ විශේෂ කාලයක් තිබෙනවා නැකැත් නොමැති නොනගත කාලය කියලා. මේ නොනැකැත කාලය නිර්මාණය වෙලා තිබෙන්නේ ආගමික චාරිත්‍රවලට යොමුවීමට හොඳම කාලය ලෙසයි. ඒ නැකැත් නොමැති වෙලාවට ආගමික කටයුතුවලට යොමුවීම තුළින් මුළු ජීවිතයටම පුදුම ආශිර්වාදය, පී‍්‍රතියක්, සතුටක් ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි මුළු වසර පුරාම කිසිම කරදරයක්, ගැටලුවක් නොමැතිව වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ආශිර්වාදය ලැබෙනවා. එදා අපේ සමාජයේ මේ ආගමික වත්පිළිවෙත් සම්ප්‍රදායන් තිබුණේ පුදුමාකාර බැඳීමක්. මිනිස්සු තමුන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් බොහෝ දේ කළා.

මෙසේ ආගම දහම හා බැඳීමත් එක්ක මින්සුන්ට ඇතිවන ලෙඩරෝග, උපද්‍රව, කරදර අඩුයි. සොබාදහම විසින් ඔවුන්ට ඇති හිරිහැර බාධක මකා දමමින් ආරක්ෂා කරනවා.

අපේ අම්මලාගේ අවුරුද්දත් එක්ක බැඳුණු විශාල චාරිත්‍ර රාශියක් තිබුණා. අපේ අම්මා නැකැතට කළයක් අරගෙන ළිඳත් එක්ක ගනුදෙනු කළා. ළිඳ තමයි අපේ ගෙවත්තේ තිබුණු වටිනාම සම්පත. අම්මා මුලින්ම මේ ළිඳට මල් මිටක්, අඟුරු කැබැල්ලක් දාලා ළිඳට නමස්කාර කරනවා. ඒත් දැන් සමාජය මේ පිළිවෙත් නිෂ්ඵල දේවල් ලෙසින් බැහැර කරන්න පුළුවන්. නමුත් මේ අහිංසක චාරිත්‍ර වටා විශාල බලවේගයක් තිබෙනවා. තමුන්ට වසර පුරාම අඩුවක් නැතුව වතුර ටික දෙන ළිඳට කෘතගුණ දැක්වීම කොයිතරම් වටිනවාද? ගෙදර නළයෙන් එන වතුර ටික ටැප් එකකින් ගන්න සමාජයක මෙවැනි පිළිවෙත් කිරීම අපහසු වුණත් ජලයේ ඇති වටිනාකම දැනෙන්න මැටි කළයකට වතුර ටිකක් පුරවා තබා ගන්න දන්න ගෘහණියෝවත් අද සමාජයේ අඩුයි.

දැන් මිනිස්සු චාරිත්‍ර කරන්නේ විනෝදයටනේ. නැකැතට හිසතෙල් ගෑම ගැන සලකන්නේ නැති තරම්. බලන්නකෝ දැන් හිසතෙල් ගාන නැකැතට පන්සල එන්නේ කී දෙනා ද? සමහරු එනකොට නැකැත පහුවෙලා.. සමහර අය රූපවාහිනායෙ හිසතෙල් ගානවා බලාගෙන ඉන්නවා. තවත් කාලයක් ගත වෙද්දී රූපවාහිනියේ සංරක්ෂිත දර්ශන ලෙසින් දකින්න ලැබේවි. ඇත්තටම හිසතෙල් ගෑම සිද්ධ කරන්නේ මුළු අවුරුද්ද පුරාම නිරෝගිබව ලැබෙන්න කියන ප්‍රාර්ථනයෙන්.

නමුත් අද වෙනකොට මිනිස්සුන්ට කොච්චර ලෙඩ කන්දරාවක් තියෙනවා ද? මේකට මූලික හේතුව මිනිස්සු සොබා දහමත් සමඟ තිබෙන සැබැඳියාව නැතිකම. හොඳට කාලා මත්වතුර බීලා ඇදගෙන වැටිලා කාණු පල්ලේ ඉන්නවා කියන එක තමයි සමහරුන්ගේ අවුරුද්ද කියන්නේ. මෙයින් එක පැත්තකින් පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. තමුන්ගේ පෞර්ෂය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ විතරක් නොවෙයි තමුන්ගේ ධන සම්පත්, දේපළත් අහිමි කරගන්නාව. සමහර විට සොර සතුරන් පවා ගෙනියන්න පුළුවන්. සමහර තරුණ ජීවිත පවා අහිමි කරගන්නවානේ.

සමහරු මේ කාලයට විවිධ සූදුකෙළිවල යෙදෙනවානේ. ඔහුන්ට ඒකට හොඳ පිළිතුරකුත් තියනවා. මේවා ඉතිං අවුරුදු කාලෙට විතරයි නේ. මේ අවුරුද්දත් එක්ක ප්‍රායෝගාත්මකව කූට අයුරින් මුදල් උපයන ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා. ඒවාටම අනුබල දෙන වාණිජ සමාජයකුත් නිර්මාණය වෙලා. මේ සූදු ක්‍රීඩා කොයි සංස්කෘතියකින්වත් පැමිණි දේවල් නොවෙයි. සුළු පිරිසක් තමුන්ගේ වාසිය වෙනුවෙන් සාදාගත් ක්‍රම.

මෙවැනි සූදු ක්‍රීඩාවන්ට අපේ තරුණ පරපුර යොමු වෙන්නේ නිරායාසයෙන්ම. වැඩිහිටියෝ තමුන්ගේ ලෙන්ගතුකමට ඔවුන්ට මුදල් දෙනවා. ඒ මුදල තවත් වැඩිකර ගන්න ලෙහෙසි ක්‍රම සොයන්න ගිහින් තමුන්ගේ අතේ තිබුණු මුදල නැතිකර ගන්නවා. ඇත්තටම මේ සූදු ක්‍රීඩාවෙන් පොහොසත්වුණු කෙනෙක් නැහැනේ. සමහර විට ක්‍රීඩාව කරවපු මුදලාලි පොහොසත් වෙයි. නමුත් සූදු කෙළියට ගිය කෙනා පරාදයි.

තවත් අපට කිසිම වැදගැම්මකට නැති දෙයක් තමයි රතිඤ්ඤා කියන්නේ. අවුරුද්ද කියන්නේ රතිඤ්ඤා පත්තු කරලා මතක් කළ යුතු දෙයක් නොවෙයිනේ. අවුරුදු නැකැතට පැරැණි සම්ප්‍රදායට අනුව වේලාව සටහන් කරන්නේ පන්සලේ ඝණ්ටාරය ගහලා. පන්සලේ ඝණ්ටාරේ තමයි මුළු පළාතටම නැකැත් මතක් කරලා දෙන්නේ. කො තරම් සුන්දර ද? දැන් කාලේ ඒවා නෑ. පන්සලේ ඝණ්ටාරේ ගැහුවත් ඇහෙන්නේ නෑ. රතිඤ්ඤා පත්තුවෙන වේලාවට තමයි නැකැත් මතක් වෙන්නේ. සමහරුන්ට නම් රාත්‍රී කාලයේ නැකැත් තිබුණොත් ඒකත් ඇසෙන්නේ නැහැ. ඇත්තටම අපි ලෞකික දේවල්වලට කොයිතරම් නැඹුරු වෙලාද කියන්න මේක හොඳම සාක්කියක්. මේ රතිඤඤා නිසා පරිසරය, සතුන් ගහකොළ කොච්චර විනාශ වෙනවාද? කී දෙනෙක් අනතුරුවලට මුහුණ දෙනවාද? මේ රතිඤ්ඤා පත්තු කිරීම මොන සම්ප්‍රදායයකින් ආපු දෙයක් ද කවුරුවත් දන්නේ නැහැ. අනුන් කරන නිසා ඔබත් කරනවා. කිසිම අර්ථයක් නැහැ. මේ වැරැද්ද කරන්නේ අවුරුද්දට විතරක් නොවෙයිනේ. ජනවාරි 01 දා පටන් ගන්නෙම මේ ඵලක් නැති ක්‍රියාවෙන්නේ.

අපි කොච්චර මේ දේවල් ගැන කතා කළත් නිවැරැදි දේට යොමු කිරීම අපහසුයි. මේකට ප්‍රධානම හේතුවක් තමයි මිනිස්සු ආගම, දහම නිවැරැදි ලෙස පිළි නොපැදීම. විශේෂයෙන්ම දැන් තිබෙන්නේ ආර්ථික රටාවක් නොවෙයි. ආර්ථික රැල්ලක්. මේ රැල්ල පසුපස මිනිස්සු හඹාගෙන ගසාගෙන යනවා. අවුරුදු කියපු ගමන්ම ගම්වල සූදානම් වෙන්නේ අවුරුදු උත්සවයට. ඉස්සර අපට අවුරුදු කාලෙට විවිධ ක්‍රීඩා තිබුණා. ඔළිඳ කෙළිය, පංචා දැමීම වගේ. ඒවා හරිම සරල ක්‍රීඩා. එක් පැත්තකින් බුද්ධිය වර්ධනය වෙනවා. ඉවසීම, සාමූහිකත්වය පුරුදු කරන ක්‍රීඩා. එම ක්‍රීඩා වෙනුවෙන් විශේෂ උපකරණ පවා අපේ ගෙවල්වල තිබුණා.

අපට එදා තිබුණේ මුළු ලෝකයේම අවධානයට ලක්වුණු විශිෂ්ට සංස්කෘතියක්. මොකක්දෝ අවාසනාවකට ඒවා ටිකින් ටික අපෙන් ඈත් වෙලා යනවා.

අද අවුරුද්දේ අධ්‍යාත්මික පැත්ත මැකී යමින් ලෞකික පැත්තට ඇදීගෙන යන සමාජයක් තමයි අපි දකින්නේ. ඒක මේ වටිනා අධ්‍යාත්මිකව බැඳුණු ගැඹුරු හරවත් දේවල් අපේ ජීවිතවලට පුදුමාකාර ආශිර්වාදයක් එකතු කරනවා. අපේ අවුරුද්ද ගමේ තවමත් ඉතුරු වෙලා තිබෙනවා.

ඒ ඉතුරු වුණු වටිනා සම්ප්‍රදායයන් දරුවන්ට කියාදීම හරිම වැදගත්. මුහුණු පොතෙන් අවුරුද්දට සුබපැතුම් එක් කරන සමාජයක තම නෑ හිතවතුන් සමඟ දවසක් ගත කරන්න ගමට යන්න. කොයිතරම් රාජකාරී තිබුණත් අම්මට තාත්තට බුලත් හුරුල්ලක් දී වඳින්න. ඒ ආශිර්වාදය මහ මෙරක් තරමට ප්‍රබලව වසර පුරාම ඔබට තිබෙනවා. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා !

 

  කෝරළ තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක නිට්ටඹුව හා දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපති

කොටගම වාචිස්සර හිමි

591 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 09, සඳුදා 13:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න